නිරුවතින් ඉන්නවා හීනෙන් දැක්කද? මෙන්න ඒ විදිහේ හීනවල ​තේරුම්

නිතර දකින හීනවල සැඟවෙච්ච තේරුම් ගැන අපි ලිපි මාලාවක් අරගෙන එ​න බව Lifie.lk පාඨකයින් මේ වනවිටත් දන්නවා ඇති. ඉතින් අපි මේ ලිපියෙනුත් මිනිස්සු නිතර දකින සුලභ හීන වර්ගයක් වෙන ‘හීනෙන් නිරුවතින් සිටීම’ ගැනයි විස්තර කරන්න හිතුවේ. අපි මේ කියන නිරුවත් හීන වලට අමතරව වෙනත් නිරුවත් හීන ගැන ඔබට ප්‍රශ්න තියනවානම් අපිට කමෙන්ටුවකින් ඒ ගැන කියන්න කියලා අපි ඉල්ලනවා.

 

1. ඔයාගේ නිරුවතට අනිත් අය සිනාසීම

ඔයා හීනෙන් නිරුවතින් ඉන්දැද්දී, ඔයා අවට උදවිය ඔයාගේ නිරුවතට හිනා වෙනවා හීනෙන් දකිනවද? එහෙම හීනයකින් අදහස් වෙන්නේ ඔයාගෙ ජීවිතේ තියෙන යම් දුර්වලකමක් අනිත් අයට හෙළිවීම ගැන ඔයා ලැජ්ජාවකින් පසුවෙන බවයි. හැබැයි ඔයාගේ නිරුවතට අනිත් අය හිනා වුණාට ඔයාට ඒ ගැන ගාණක්වත් නැත්නම්, ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ දුර්වලකම් හෙළි වුණාට ඔයා ඒ ගැන කනස්සල්ලක් දක්වන්නේ නැති බවක්ලු.

 

2. රැකියා ස්ථානයේ/ අධ්‍යාපනය ලබ​න ස්ථානය​ක නිරුවතින් සිටීම

ඔෆිස් එකේ හරි තමන් ඉගෙනගන්නා පාසලේ/පන්තියේ හරි නිරුවතින් ඉන්නවා හීනෙන් දැකලා තියනවද? ඒකෙන් බොහෝ දුරට ගම්‍ය වෙන්නේ ඔබ කරමින් පවතින යම් රැකියා වැඩක් හෝ අධ්‍යාපනික කටයුත්තක් ගැන ඔබට හරි හැටි සූදානමක් නැති බවයි. රැකියාවෙදි කරන්න නියමවෙන කාර්යයන් සාර්ථකව නිම කරන්න ඔයාට ඇති නොහැකියාව සහ ඒ ගැන අනිත් අයට දැනගන්න ලැබෙයි කියලා හිතේ ඇතිවෙන බිය මේ විදිහට හීනයක් මගින් එළියට එන්න පුළුවන්. අධ්‍යාපනය ලබන තැනක තමන් නිරුවතින් ඉන්නවා දකින්නෙත් ඉගෙනගන්නා විෂයයන් කෙරෙහි තමන්ට තියෙන දැනුම දුර්වල වෙලා තමන් අසාර්ථක පුද්ගලයෙක් හැටියට පෙනේවි කියලා ඇතිවන බ​ය නිසායි.

 

3. අනිත් හැමෝ​ම නිරුවතින්, ඒත් ඔබ විතරක් ඇඳුම් ඇඳගෙන

ඔබ දකින හීනයක දී ඔබ අවට ඉන්න අනිත් හැමෝම නිරුවතින් ඉන්දැද්දී ඔබ විතරක් ඇඳුම් ඇඳගෙන විලි වසාගෙන ඉන්නවා දකින එක තරමක් ආරක්ෂාකාරී හීනයක් හැටියට ඔබට දැනෙන්න පුළුවන්. ඒත් ඒ හීනයෙන් ඇත්තටම පෙන්නුම් කරනවායැයි කියන්නේ ඔබේ තියන අනාරක්ෂිත බවකුයි. ඒකට හේතුව තමයි මේ විදිහේ හීනයකින් පැවසෙන්නේ අනිත් උදවියත් එක්ක හොඳ යහපත් සම්බන්ධතාවයක් පවත්වාගන්න ඔයාට ඇති නොහැකියාවයි.

 

4. නිරුවතින්… ඒත් පහසුවෙන්

පිරිසක් මැද තමන්ව නිරුවතින් දකින එක බහුතරයක් දෙනෙක්​ට ලැජ්ජා සහගත හැඟීමක් දනවන හීනයක්. ඒත් සමහර විට හීනේ ඇතුළෙදි ඔයා නිරුවතින් හිටියට ඒ ගැන කිසිම ලැජ්ජාවක් ඔයාට නොදැනෙන්න පුළුවන්. තමන් නිරුවතින් ඉන්න එ​ක ගැන කිසිම අවුලක් නැතිව ඔයා හැසිරෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ හීනයක් දැක්කොත් ඒකෙන් අර්ථ ගැන්වෙන දේවල් දෙකක් තියෙන්න පුළුවන්. එකක් තමයි ඔයා ඔයාගේ ජීවිතේ පරිපූර්ණ නිදහසකින් සහ කිසි දෙයක් හංගන්නේ නැතිව හොඳ විවෘත බවකින් යුතු​ව ගෙවමින් පවතිනවාය කියන එක. හැබැයි මේ හේතුවට අමතරව, ඔයා නුසුදුසු මාර්ග වලින් ප්‍රසිද්ධ වෙන්න යම් උත්සාහයක් දරමින් ඉන්න කාල වකවානුවකත් මේ හීනේ පේන්න ඉඩ තියනවාලු.

 

5. නිරුවතින්… ඒත් තනියෙන්

හිතන්න ඔයා දකිනවා කියලා හීනෙන් ඔයා නිරුවතින් ඉන්නවා කියලා. හැබැයි මේ හීනෙදි ඔයා නිරුවතින් ඉන්නේ කාමරයක් හරි මොකක් හරි වැසුණු පරිසරයක් ඇතුළේ. ඒ නිසා වෙන කෙනෙක් ඔයාගේ නිරුවත දකින්නේ නැහැ. මේ විදිහෙ හීනෙකින් අදහස් වෙන්නේ ඔයා ඔයාගෙ නියම ස්වරූපය අනිත් අයගෙන හංගාගෙන ඉන්නවා කියන එකලු. තව සරලව කිවුවොත්, ඇත්තටම ඔයා කියන්නේ කවුද කියන එක ගැ​න අනිත් අයට දැනගන්නවට ඔයා අකමැත්තකින්/බියකින් ඉන්න අවස්ථාවක මේ විදිහේ හීනයක් පේන්න පුළුවන්ලු.

 

6. ඔයා නිරුවතින්… ඒත් කවුරුත් ඔයාගෙ නිරුවත ගණන් ගන්​නෙ නැහැ

සෙනග ගැවසෙන තැනක ඔයා නිරුවතින් ඉන්නවා… හැබැයි වටේ පිටේ ඉන්න කවුරුත් ඔයා නිරුවතින් ඉන්න බව දකින්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ගැන ගණන් ගන්නේ නැතිව ඒ අයගේ වැඩකටයුතු වල නිරත වෙනවා…

මේ විදිහේ හීනයක් දකින්​නේ ඔයා යම් දෙයක් ගැන අනවශ්‍ය බියකින් ඉන්න වෙලාවට බවයි පැවසෙන්නේ. කාටවත් ප්‍රශ්නයක් හෝ හානියක් නොවන සුළු දෙයක් ගැන ඔයා හිතින් බය වෙමින්, වධ වෙමින් ඉන්නවනම් ඒ වගේ අවස්ථාවක මේ විදිහේ හීනයක් පේන්න පුළුවන්ලු.

 

7. නිරුවතින් ඉන්න ගමන් ඔයා හැංගෙන්න හොයනවා

හීනය ඇතුළේ නිරුවතින් ඉන්න ගමන් ඔයා අනිත් අයට නිරුවත් නොපෙනෙන්න හැංගෙන්න හොයනවා හීනෙන් දකිනවාද? ඒකේ තේරුම මෙහෙමයි, මේ විදිහේ හීනයක් දකින්නේ ඔයා අනිත් අයගෙන් මොකක් හරි ලොකු රහසක් හෝ රහස් කීපයක් හංගාගෙන ඉන්න අවස්ථාවලටලු. ඒ රහස් හෙළි වීමෙන් තමන් ලැජ්ජාවට, අපකීර්තියට පත්වෙයි කියලා බයෙන් ඉන්න අවස්ථාවලදී මේ විදිහේ හීනයක් දකින්න පුළුවන්ලු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *