ට්‍රැෆික් කියන්නේ නගරයකට ලෙඩක් නෙමෙයි. ඒක රෝග ලක්ෂණයක්. ඒ කියන්නේ ලෙඩක් නිසා මතුවෙන ගැටළුවක්. ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ නාගරික ප්‍රවාහනයේ. නගරයේ එහා මෙහා යන මගීන්ට ඒ වැඩේ වේගවත්ව කාර්යක්ෂමව කරගන්න බැරි වෙද්දි මුලු නගරයම හිර වෙනවා. නාගරික ප්‍රවාහනය කාර්යක්ෂම කරන්න විවිධ උපක්‍රම තියෙනවා. අවාසනාවකට ලංකාවේ හැමදාම වෙන්නේ නාගරික ප්‍රවාහනය ගැන කතා කරනවාට වඩා ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්නට මහන්සි වීම. කොහොම වුණත් පහුගිය කාලේ මේ නාගරික ප්‍රවාහනය වැඩිදියුණු කරන්න ලයිට් රේල් එකක් ආවත් ඒක ලත් තැනම ලොප් වුණා.
1. කොළඹ මෙට්‍රො එක ඇනහිටියේ ඇයි?
කොළඹ මෙට්‍රො එකට වියදම ඩොලර් මිලියන 2200 ක්. මේ මුදල අවිවාදයෙන්ම විශාල අගයක්. හරස් මාර්ග 18ක්, පාලම් 12ක්, බෝක්කු 49ක්, දුම්රිය ස්ථාන 6ක් ඇතුළත් බෙලිඅත්ත මාතර දුම්රිය මග ඉදිකරන්නට ඇස්තමේන්තුගත මුදල වූයේ ඩොලර් මිලියන 278.2ක් පමණයි. ඇස්තමේන්තුගත වියදම් දත්ත අනුව මුළු ලංකාව වටා කිලෝමීටර 605ක අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට වියදම් වන්නේද ඩොලර් මිලියන 4350ක මුදලක් පමණයි. ඒ අනුව මාලඹේ සිට කොටුව කොටසට ඩොලර් මිලියන 2200ක් යනු සැබැවින්ම විශාලතර අගයක්. ජාත්‍යන්තර දත්ත වාර්තා සැලකුවද මෙට්‍රො දුම්රිය කිලෝමීටරයක් සඳහා ඩොලර් මිලියන 143ක් වැයවන මෙය කලාපයේ මිල අධිකම මෙට්‍රො වලින් එකක් බවට පත් වේ. මෑතකදී ඉදිකළ බංග්ලාදේශයේ ධකා අගනුවර ඉදිකර ඇති මෙට්‍රො දුම්රිය සේවාවට කිලෝමීටරයක් සඳහා ඩොලර් මිලියන 140කට වඩා වැඩි වාර්තාගත මුදලක් වියදම් වී තිබේ. පුදුමයකට මෙන් එහිද සම්පත් දායකයා වන්නේ ජපානයයි. එයද ලංකාවට ලයිට් රේල් සඳහා ලැබෙන ණය මුදල මෙන් සහන ණය මුදලකි.
2. අනෙක් විසඳුම් සහ මෙට්‍රො
නාගරික ප්‍රවාහන කටයුතු සඳහා තායිලන්තයේ බැංකොක් නුවර ඇලමාර්ග හරහා බෝට්ටු සේවාවන් යොදා ගනී. තායිලන්තය අතීතයේ පටන්ම ඇලමාර්ග හරහා ගමන් පහසුව සලසාගත් දේශයක් බැවින් ඔවුන්ට ඒ සඳහා පහසුකම් තිබේ. අපේ රටේද විවිධ අවස්ථාවල නාගරික ඇලමාර්ග පාවිච්චි කළ මුත් ඒවා සාර්ථක වූයේ නැත. නාගරික ප්‍රවාහනයේදී බස් රැපිඩ් ට්‍රාන්සිට්, මොනොරේල්, බස් සේවාවන්, දුම්රිය, සැහැල්ලු දුම්රිය, මෙට්‍රො දුම්රිය ආදී විසඳුම් රැසක් වේ. ඒ අතරින් මෙට්‍රො සහ ලයිට්රේල් වියදම් අධිකම විසඳුමකි. එහෙත් වෙනත් විසඳුම් වලට වඩා නාගරික ප්‍රවාහන ගැටළුවට ලයිට් රේල් හරහා ඉක්මනින් විසඳුම් ලබාගත හැකිය.
3. ආසියාවේ සාර්ථක මෙට්‍රො
ආසියාවේ චීනයේ ගුවාංශු, ශැන්හයි, බීජින් ආදී නගරවල සාර්ථක මෙට්‍රො සේවාවන් පවතී. සිංගප්පූරුවේ සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් වලද මෙට්‍රො දුම්රයි සේවාවක් තිබේ. වසර 2000න් පසු මෙට්‍රො ගැන සිතූ ඉන්දියාවේ දැන් දිල්ලි, චෙන්නයි, ලක්නව්, කොචින්, බැංගලෝර් ආදී නගර කිහිපයකම මෙට්‍රො දුම්රිය ඇති වී තිබේ. ඉන්දියාවේ දිල්ලි මෙට්‍රො ඇතිවු පසු දිල්ලි නගරයේ ප්‍රවාහනය මහජනතාවට වඩාත් සුවදායී අත්දැකීමක් විය. බැංකොක් නගරයේ ඇති සුවිසල් ට්‍රැෆික් තත්ත්වය නිසා බැංකොක්හි ද භූගත සහ ඒරියල් යන දෙයාකාරයෙන්ම මෙට්‍රො දුම්රිය සේවාවන් කිහිපයක් ආරම්භ විය. ඒ දුම්රිය කොතෙක් සංචාරකයින් අතර ජනප්‍රිය වූයේද යත් නව මෙට්‍රො දුම්රිය ස්ථාන යාබදව නව සංචාරක නවාතැන් සහ සංචාරක ස්ථාන බිහිවිය.
4. පරිසර හිතකාමී බව
මෙට්‍රො දුම්රියක නම් වරකට මගීන් තුන් හාරසීයක් ප්‍රවාහනය කළ හැක. විනාඩි තුනෙන් තුනට පැමිණෙන මෙට්‍රො දුම්රිය මගින් පැයකදී මගීන් හය හත්දාහකට ප්‍රවාහන පහසුව සැලසිය හැකිය. මේ මගීන් පිරිසම පුද්ගලික කාර් රිය, බයික් වලින් ගමන් පහසුව ලබාගන්නට ගියේ නම් මාර්ග හිර වී පැය ගාණක් නාගරික වාතයට ඩීසල් පෙට්‍රල් දුම එකතු කළ යුතුය. මේ මෙට්‍රො දුම්රිය ධාවනය වන්නේ විදුලිය බලයෙනි. එම නිසා දුම නැති, පෙට්‍රෝලියම් දහනය නැති මාධ්‍යයක් ලෙස මෙට්‍රො දැක්විය හැකිය. දැනට කොළඹට වායු දූෂණය සම්බන්ධ නරකම දත්ත නැතත්, දිල්ලි, ෂැංහයි වැනි නගර දැනටම වායු දූෂණයෙන් දැඩිව බැට කයි. ඒ අනුව පරිසරයේ ආරක්ෂාව ගැන බැලීමේදී මෙට්‍රො දුම්රිය නැණවත් තෝරාගැනීමකි.
5. නව ව්‍යාපාරික වටපිටාවන් ඇති වීම
ලංකාවේ දුම්රිය සේවාව මගින් දුම්රිය ස්ථාන යාබදව වෙනමම ජනාවාස ඇතිවුණි. කොළඹ රාජකාරි වලට පැමිණෙන අය ගම්පහ සිට කොළඹ දක්වා ද, කොළඹ සිට පානදුර දක්වාද දුම්රිය ස්ථාන අවට තාවකාලිකව පදිංචි වී සිටින්නේ ඔවුන්ට දුම්රිය වඩාත් පහසු මාධ්‍යයක් වන හෙයිනි. එසේම ගම්පහ හෝ පානදුර වැනි නගරයක් ගතහොත් එම නගර වල බහුතරයක් දෙනා අගනුවර වන කොළඹට ඒමට පාවිච්චි කරන්නේ දුම්රිය වේ. මෙට්‍රො දුම්රියද ඇති වූ පසු ඒ දුම්රිය ස්ථාන යාබද ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු වේ. ඒ තුළින් එක් එක් නැවතුම හරහා ඒ ඒ කලාපයේ ආර්ථික කටයුතු වල පිබිදීමක් ඇති වේ.
6. මගීන්ට සැප පහසුව
දුම්රිය ලාභදායී, වේගවත් පිවිසුමක් වුවද දුම්රියෙන් කොළඹ වැඩට එන අයට නම් එය සුන්දර අත්දැකීමක් නොවේ. මෙට්‍රො දුම්රිය බොහෝවිට වායුසමනය කරන ලද දුම්රිය වේ. කාර්යබහුල වෙලාවේදී විනාඩි තුන හතරකට වරක් දුම්රියක් ඇදෙන බැවින් එකක තෙරපී ගෙන යෑමේ අවශ්‍යතාවයක් ඇති නොවේ. මෙට්‍රො දුම්රිය වල සාමාන්‍යයෙන් වාඩි වී යෑමට ඇති ඉඩකඩ අඩු වුවත් සිටගෙන යන මගීන්ට වායුසමන පද්ධතිය නිසා අප වැනි ඌෂ්ණ කාලගුණය ඇති නගරයකදී තැනකින් තැනකට යෑම වඩාත් සෞම්‍ය අත්දැකීමක් වේ.
7. ටිකට් ලාබ වෙයිද?
මෙට්‍රො දුම්රිය දියුණු රටවලදී නම් ලාභදායී ගමන් මාර්ගයකි. එහෙත් ආසියාතික රටවල ගතහොත් බොහෝවිට මෙට්‍රො තරමක් මිල අධික විසඳුමකි. සාමාන්‍ය බස් දුම්රිය වලට වඩා වැඩි රුපියල් ගණනක් මෙට්‍රො හෝ ලයිට් රේල් දුම්රියක ගමන් කිරීමට මිනිසුන්ට වියදම් වේ. ඒ හරහා ලැබෙන වාසිය හේතුවෙන් බැංකොක්, දිල්ලි වැනි නගරවලදී මෙට්‍රො වලට මගීන්ගෙන් අඩුපාඩුවක් නැත. මෙය දුප්පත් මහජනතාවට ගමන් පහසුව සලසන ඉන්ද්‍රජාලික විසඳුමක් නොවන නමුත් එක්තරා ඇති හැකි සහ වටිනාකම ගෙවිය හැකි පිරිසකට සිය ගමන් පහසුව සලසාගත හැකි කදිම උපායක් වේ.
ජපාන ණය ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන්නට තිබූ දැනට අහෝසි වූ සැහැල්ලු දුම්රියට ඒසා විශාල මුදලක් වියදම් කිරීම සැබැවින්ම රජයට ගැටළුවක් වන්නට ඇත. කෙසේ වෙතත් මෙට්‍රො හෝ සැහැල්ලු දුම්රිය සේවාවක අවශ්‍යතාවය තවමත් කොළඹ නගරයට තිබේ. ආසියානු නගර වල නගරය තුළට බස් මගින්, දුම්රිය මගින්, ගුවනින් පිවිසුන විට නගරය හරහා ඉක්මනින් යෑමට මෙට්‍රො තිබීම නගරය කරා සංචාරකයින්, ව්‍යාපාරිකයින් ආකර්ෂණය වීමට එක් හේතුවක් වී තිබේ. අපේ නාගරික ප්‍රවාහනය ඉතාම සෙමෙන් ඉදිරියට ඇදෙන නොනවතින ට්‍රැෆික් එකකින් අකර්මණ්‍ය වී තිබේ. එහෙත් තවමත් ඒ සඳහා දිගුකාලීන විශ්වාසනීය විසඳුම් කරා යන බවක් පෙනෛන්නට නැත.
Leave a Reply