ඉන්ට්‍රොවර්ට් පුද්ගලයෙක් එක්ක එදිනෙදා ජීවිතේදී කටයුතු කරන්නේ කොහොමද?

 

කවුද මේ ඇත්තටම ඉන්ට්‍රොවර්ට් කෙනෙක් නැතිනම් ඇතුළු හදට නැඹුරු වුණු පුද්ගලයෙක් කියන්නේ? මතක ඇති අපි Lifie.lk එකේ එක පාරක් ඒ ගැන කතා කළා. එතනදිත් අපි කිව්වා ඉන්ට්‍රොවර්ට් කෙනෙක් කියන්නේ තමන්ගේ හැඟීම් එක්ක වඩාත් ස්පර්ෂයෙන් ඉන්න, කල්පනාකාරී, නිහඬ සහ ගොඩක් වෙලාවට තමන්ටම සීමා වෙලා ඉන්න කෙනෙක්. ඉන්ට්‍රොවර්ට් කෙනෙක් සමාජ ආශ්‍රය ඒ තරම් හොයන්නෙ නෑ. එයාට ගොඩක් වෙලාවට තනියෙන් ඉන්න තිබ්බනම් ඇති. හැබැයි ඒකෙන් කියන්නේ ඉන්ට්‍රොවර්ට් කෙනෙක් කුලෑටි සහ ලැජ්ජාශීලී කියන එක නෙවෙයි. එහෙම නෑ.

 

දැන් ඕකේ අනික් පැත්ත එක්ස්ට්‍රොවර්ට්. ඒ අය සමාජශීලී සත්වයෝ. ඉතින් ඉන්ට්‍රොවර්ට් නොවෙන අය ගොඩක් වෙලාවට සම්පූර්ණයෙන්ම ඉන්ට්‍රොවර්ට් කෙනෙක්ව තේරුම් ගන්නවා හොරයි. පවුලේ අය, ජොබ් එකක් කරනකොට එතන ඉන්න අය විතරක් නෙවෙයි, ආදරෙන් බැඳෙන අය පවා සමහර වෙලාවට ඉන්ට්‍රොවර්ට් කෙනෙක්ගේ විදිය තේරුම් ගන්නෙ නෑ. ආන්න ඒ නිසා අපි හිතුවා, ඉන්ට්‍රොවර්ට් කෙනෙක් එක්ක එදිනෙදා ජීවිතේදී ගනුදෙනු කිරීම ගැන අනික් අයට පොඩි මාර්ගෝපදේශනයක් ඉදිරිපත් කරන්න.

 

1. පිළිගැනීම පළමු කාරණයයි

අපිට අපිත් එක්ක එකට ජීවත් වෙන, අපිත් එක්ක එකට වැඩ කරන ඉන්ට්‍රොවර්ට් මනුස්සයෙක්ව තේරුම් නොයන්න පුළුවන්. අපිට හිතෙන්න පුළුවන් ඇයි මේ මනුස්සයට අපි වගේ සමාජ ආශ්‍රයක් ඇතුව, තනියෙන් ඉන්නෙ නැතුව ජීවත් වෙන්න බැරි කියලා. හැබැයි අපිට ඒ කෙනාව තේරුම් ගන්න බැරි වුණත්, අඩුම ගාණේ එයාගේ විදිය ඒකයි කියන එක, ඒ විදිය වුනත් තවත් විදියක් කියන එක පිළිගන්න පුළුවන් වෙන්න ඕන. අපිට ඉන්ට්‍රොවර්ට් කෙනෙක් කියන්නේ කොයි වගේ පුද්ගලයෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඉතා හොඳයි. හැබැයි එහෙම බැරි වුනත්, ඉන්ට්‍රොවර්ට් කෙනෙක් කියන්නේ අරුමයක් නෙවෙයි, එයා අමුතු සතෙක් නෙවෙයි කියලා පිළිගන්න එක තමයි පළමුවෙනි පියවර.

 

2. මුවින් නොබැණ දෙන ඉඟි

සාමාන්‍යයෙන් ඉන්ට්‍රොවර්ට් කෙනෙක් බොහොම අඩුවෙන් කතාබහ කරන කෙනෙක්නේ. ඒ නිසාම විශේෂයෙන්ම ඔය ආදර සම්බන්ධතා වලදී එහෙම ඉන්ට්‍රොවර්ට් කෙනෙක්ව ඩේට් කරන එක්ස්ට්‍රොවර්ට් කෙනෙක් වෙහෙසට පත් වෙන්න පුළුවන්. එහෙම වෙන්න එපා. යන්න පළවෙනි කාරණාවට. දැන් තේරුම් ගන්න, ඉන්ට්‍රොවර්ට් ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි අඩුවෙන් කතා කරන්නේ අපිත් එක්ක තරහ වෙලා හරි, වෙන ඒ වගේ දෙයක් හරි නිසා නොවෙන වග. එයා ගොඩක් වෙලාවට කියන්න අවශ්‍යම දෙයක් අපිත් එක්ක කියයි. එහෙම නොකියන වෙලාවට එයාගේ ශරීර භාෂාව, බලන විදිය පවා තේරුම් ගන්න එක වැදගත්.

 

3. නිරීක්ෂණය

අපි ඉන්ට්‍රොවර්ට් කෙනෙක් එක්ක ජීවත් වෙනකොට හරි වැඩ කරනකොට හරි ආදරය කරනකොට හරි වැදගත්ම කාරණයක් තමයි හොඳින් ඒ අයව නිරීක්ෂණය කිරීම. එහෙම හොඳින් නිරීක්ෂණය කරනකොට අපිට ඒ අයව තේරුම් ගන්න එක ගොඩක් පහසු වෙනවා. ඉන්ට්‍රොවර්ට් කෙනෙක් තමන්ටම සීමා වෙලා ගොඩක් වෙලාවට ඉන්නේ අනික් අය එක්ක අප්සට් එකකින් හෝ සමාජය අප්‍රිය කරන නිසා හෝ නොවෙන වග අපිට තේරෙන්න පටන් ගන්නවා. එතකොට, ඒ අයගේ ශරීර භාෂාව, ඉඟි බිඟි පවා ක්‍රමයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. අන්න එතකොට අපිට ඉන්ට්‍රොවර්ට් කෙනෙක් එක්ක ඉන්න අසීරුයි කියලා දැනෙන හැඟීම නැතිවෙලා යන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට ගත්තොත්, ඉන්ට්‍රොවර්ට් කෙනෙක් අපේ අත ආදරෙන් පිරිමදින එක, එහෙම නැතිනම් අපේ ලඟට වෙලා පොතක් කියවන එක තමයි එයාලා අපිට ආදරෙයි කියලා කරන සලකුණ. හොඳින් නිරීක්ෂණය කළොත් අපිට ඒ සලකුණු, අභිනයන් අඳුනගන්න පුළුවන්. 

 

4. එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්

මේක අපි විවාහ ජීවිතයට උපදෙසක් විදියට කොච්චරවාත් කියනවා. හැබැයි මේ උපදෙස ඉන්ට්‍රොවර්ට් කෙනෙක් සම්බන්ධයෙන් නම් හරියටම හරි. වෙනත් විදියකට කිවුවොත්, ඉන්ට්‍රොවර්ට් කෙනෙක් එක්ක ජීවත් වෙනකොට දෙන්නා එක්කෙනෙක් වෙන්න යන්න හොඳ නෑ. ඒ කියන්නේ එකිනෙකාගේ අවකාශය ආක්‍රමණය කරන්න යන්න හොඳ නෑ. ඒක ඉන්ට්‍රොවර්ට් කෙනෙක්ට විශේෂයෙන්ම අමාරුයි. අන්න ඒ නිසා, ඉන්ට්‍රොවර්ට් කෙනෙක් එක්ක වුනත්, එහෙම නැති කෙනෙක් එක්ක වුනත් ජීවත් වෙනකොට දෙන්නට දෙන්නගේ පුද්ගලික අවකාශයකුත් පවත්වා ගන්න ඕන. උදාහරණයක් විදියට කිවුවොත්, ඉන්ට්‍රොවර්ට් කෙනෙක් තනියම ඇවිදින්න යන්න ආස වෙන්න පුළුවන්. එතකොට බලෙන් ගිහින් ඒකට ප්ලග් වෙන්න එපා.

 

5. හුදෙකලා විරාමයක් 

තනියම ඇවිදින්න යන්න ඉන්ට්‍රොවර්ට් කෙනෙක් ආස වෙන්න පුළුවන් කිව්වනේ. දෙන්නෙක් විවාහ වෙලා හරි ආදරෙන් බැඳිලා හරි නම් ඉන්නේ, එක්කෙනෙක් කැමතියි අනික් එක්කෙනා එක්ක විවිධ ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන්න, ඒක හරි. එතකොට එයා තනියෙන් ඇවිදින්න යන එකට, අපි එයත් එක්ක එනවට අකමැති වෙන එකට සමහර වෙලාවට ඉන්ට්‍රොවර්ට් නොවෙන කෙනාට දුක හිතෙන්න පුළුවන්. ආන්න ඒ නිසා, දෙන්නත් එක්කම කතාබහ කරලා තමන්ගේ රූටීන් එකක් හදාගන්න. ඒ රූටීන් එකේදී ඉන්ට්‍රොවර්ට් කෙනාට තනියෙන් ඉන්නත් වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. හැබැයි එයා අනික් කෙනා එක්ක කාලය ගත කරන්නත් වෙලාව තෝරගන්න ඕන. එතකොට ඉන්ට්‍රොවර්ට් නොවෙන කෙනා හැම මොහොතෙම එකට ඉන්න ඕන කියලා ඩිමාන්ඩ් කරන එකෙන් සහ හිතන එකෙන් වළකින්න ඕන. 

 

6. ක්‍රමයක් හදාගන්න

මෙන්න මේ රූටීන් කියන එක ඉතාම වැදගත්. ඒක හදාගන්න හොඳ සන්නිවේදනයක් ඕන. ඒ කියන්නේ, අපි මුලින්ම කියපු විදියට ඉන්ට්‍රොවර්ට් කෙනෙක් එක්ක ජීවත් වෙන්න නම් අපි පිළිගන්න ඕනනේ එයා ඉන්ට්‍රොවර්ට් කෙනෙක් කියලා. තේරුම් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. දැන් දෙන්නට පෑහෙන්නේ නැති කරුණු කාරණා ගැන දෙන්නම කතාබස් කරලා සමථයකට එන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් එක්කෙනෙක් කැමතියි පාටි කරන්න. හැබැයි ඉන්ට්‍රොවර්ට් සහකරු හෝ සහකාරිය කොහොමත් පාටි වල නටලා ගයලා දඟලලා ඉන්න ඒ තරම් කැමැත්තක් නෑ. දැන් මොකද කරන්නේ? දෙන්නටම පාටියට යන්න පුළුවන්. හැබැයි ඉන්ට්‍රොවර්ට් කෙනාගේ කැමැත්ත පැත්තකට වෙලා වාඩි වෙලා පාටි එකේ අය දිහා බලාගෙන ඉන්න නම්, අපිට ඒක පිළිගන්න පුළුවන්. අනික් අතට, අපි පාටියේ නටලා ගයලා විනෝද වෙන එකට ඒක බාධාවක් නෙවෙයි කියලා කතා බහ කරගෙන තේරුම් කරගන්න පුළුවන්. විඩින් විඩේ ඇවිත් පැත්තක වාඩි වෙලා ඉන්න අපේ ඉන්ට්‍රොවර්ට් සහකරු හෝ සහකාරිය ගැන හොයලා බලන්න පුළුවන්. එතකොට මෙතනදී වැදගත්ම දේ වෙන්නේ එයා පැත්තකට වෙලා ඉන්නේ කම්මැලි කමෙන් නෙවෙයි කියන එක, එයාගේ විදියට එයා පාටිය එන්ජෝයි කරනවා කියන එක තේරුම් ගැනීම. ඔන්න ඔය විදියට අවබෝධයෙන් සහ සන්නිවේදනයෙන් දෙන්නට දෙන්නගේ ජීවිත වලට බාධාවක් නොවෙන රූටීන් එකක් හදාගන්න පුළුවන්.

 

7. බල කරන්න එපා

ඉන්ට්‍රොවර්ට් කෙනෙක් එක්ක ජීවත් වෙනකොට, වැඩ කරනකොට හෝ ආදරය කරනකොට මෙන්න මේ පොයින්ට් එක ඉතාම වැදගත්. ඉන්ට්‍රොවර්ට් කෙනෙක් අපි කරන සමහර ක්‍රියාකාරකම් වලට ආස නැති වෙන්න පුළුවන්. එතකොට උඩින් කිවුවා වගේ, අපිට පුළුවන් සන්නිවේදනය හරහා දෙන්නටම අවබෝධයෙන් මැද තැනකට එන්න. හැබැයි එතනින් එහාට, එයා අකමැති සමාජ උත්සව, මිතුරු මුණගැසීම් වලට එන්න කියලා, පාටියක නටන්න, සිංදු කියන්න වගේ දේවල් කරන්න කියලා බල කරන්න එපා. ඔය අකමැති දේවල් කරන්න බල කිරීම කියන්නේ එයත් එක්ක තියෙන සම්බන්ධතාවය ඉවර වෙන තැන වෙන්න පුළුවන්. අන්න ඒ නිසා, එයා ආස විදියට එයාට ජීවත් වෙන්න ඉඩ දෙනවා සහ තමන්ගෙ ජීවිතේ එයා කොටස්කාරයෙක් වෙනකොට එයාගේ ඉන්ට්‍රොවර්ට් ගතිලක්ෂණ ඒකට පුරුද්දාගන්නේ කොහොමද කියන එක හදාගන්නවා මිසක්, අපිට ඕන විදියට දේවල් කරන්න එයාට බල කරන්න යන්න එපා.

 

8. අවංක වෙන්න

මේ කාරණාව ඉන්ට්‍රොවර්ට්, එක්ස්ට්‍රොවර්ට් ඕනම කෙනෙක්ට පොදුයි. ඒ තමයි අවංක වෙන එක. තවත් විදියකට කිවුවොත් හැඟීම් වලට අවංක වෙන එක. විශේෂයෙන්ම අපි උඩින් කතා කරපු ඉන්ට්‍රොවර්ට් සහ ඉන්ට්‍රොවර්ට් නොවන කෙනෙක්ගේ ජීවිත එකට ගත කරන රුටීන් එකක් හදාගැනීමෙදී පවා මේ අවංකත්වය වැදගත්. උදාහරණයක් විදියට කිව්වොත්, අපිට අවංකව කියන්න පුළුවන් අපිට ඉන්ට්‍රොවර්ට් කෙනාගේ යම් කිසි හැසිරීමක් දරන්න අමාරු නම්. එතකොට දෙන්නට පුළුවන් මැද තැනකට ඇවිත් ඒ ප්‍රශ්නේ විසඳගන්න. හැබැයි එකක්: අවංක වෙනවා කියන්නේ පොල්ලෙන් ගහනවා වගේ දේවල් කියලා දාන එක, බල කරන එක, දේවල් ඩිමාන්ඩ් කරන එක නෙවෙයි. අන්න ඒකත් මතක තියාගන්න ඕන.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *