රෝමය කේන්ද්‍ර කරගෙන ආරම්භ වන රෝම ශිෂ්ටාචාරය පස්සෙ කාලෙක මුළු මහත් යුරෝපයටම පමණක් නොව මුළු ලෝකයටම බලපෑම් කළ හැකි මට්ටමේ ලෝක ශිෂ්ටාචාරයක් බවට පත්වුණා. ආරම්භයේ දී සමූහාණ්ඩුවක ස්වරූපයෙන් පැවතුණු රෝමය පසුව රාජාණ්ඩුවක් බවට පත්වුණා. රෝම අධිරාජ්‍යයාට දෙවියකු බඳු සුවිශාල බලයක් ආරෝපණය වුණා. තමන්ට ලැබුන මේ අසීමිත බලය නිසා ඇතැම් රෝම අධිරාජ්‍යවරු උමතුවට පත් වූවන් මෙන් ක්‍රියා කළා. ඒ වගේම ඇතැම් අවස්ථාවල උමතු බවට පත්වූවන් රෝම අධිරාජ්‍යවරුන් බවට පත්වුණා. අපි අද කතා කරන්න යන්නේ එවැනි රෝම අධිරාජ්‍යවරු කීපදෙනෙක් පිළිබඳවයි.
1. නීරෝ
රෝමය ගිනි ගනිද්දි වීණා වාදනය කළා වගේ කියන්නේ අදටත් පෙර අපර දෙදිගම බහුලව භාවිතා වන උපමාවක්. ක්‍රිස්තු වර්ෂ 64 රෝමයේ ඇති වූ සුවිශාල ගින්නකින් නගරයේ විශාල කොටසක් දැවී අළු වී ගියා. ඒ කාලයේ දී රෝම වැසියන් විශ්වාස කරේ තම අධිරාජයා වූ නීරෝ විසින් සැලසුම් සහගතව රෝමය ගිනිබත් කළ බවයි. ඒ හරහා හිස්වෙන ඉඩකඩ භාවිතා කරමින් ඔහු ඉදිකිරීමට සිහින මවමින් සිටි මාලිගය ඉදි කිරීම ඔහුගේ බලාපොරොත්තුව වූ බව කියැවුණා. ඒ නිසා රෝමය ගිනි ගන්නා බව ආරංචි වූ විට ඔහු යම්කිසි තත් භාණ්ඩයක් වාදනය කරමින් සතුටු වුණු බවටත් ඕපදූප පැතිර ගියා.
එසේම ඔහුගේ මව සහ බිරින්දෑවරු ඝාතනය කිරීමත් ක්‍රිස්තියානි ආගමිකයන් දඩයම් කිරීමත් නීරෝට එල්ල වන චෝදනායි. පසුව මුළු රෝමයම ඔහුට එරෙහිව නැගී සිටීමත් සමඟ නීරෝ සියදිවි නසා ගත්තා.
2. සෙප්ටිමස් සෙවරස්
එවකට රෝමයේ වන්දනාවට ලක් වෙමින් තිබූ ජුපිටර් ආදී දෙවිවරු හැර වෙනත් කිසිදු වන්දනාවක් සිදුකිරීම සෙප්ටිමස් සෙවරස් අධිරාජයා විසින් සැලකුවේ දේව අපහාසයක් මෙන්ම රෝම අධිරාජ්‍යයට එරෙහිව සිදු කරන කුමන්ත්‍රණයක් ලෙසයි. එවැනි ආගමිකයන් හඳුනාගත් මොහොතේදීම ඝාතනය කළ යුතු බවට නීතියක් ඔහු විසින් පනවනු ලැබුවා. ඔහුගේ මේ විශ්වාසය නිසා අන් කවර කලකටත් වඩා රෝම අධිරාජ්‍යය තුළ ක්‍රිස්තියානින් සහ යුදෙව්වන් ඝාතනයට ලක් වුණා.
3. ටයිබීරියස්
රෝමයේ පළමු අධිරාජ්‍යයා ලෙස සැලකෙන ඔගස්ටස්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ටයිබීරියස් පත්වුණේ ඒ වන විට රජකම උරුම වීමට නියමිතව සිදු බොහෝ දෙනෙකු මරණයට පත් වීම නිසයි. මේ නිසාම ඔහු තම ධුරයේ වැඩ කටයුතු පිළිබඳව උනන්දුවක් දැක්වූයේ නැහැ. රාජ්‍යයේ පාලන කටයුතු සෙනෙට් සභාව වෙත පවරා කැප්රි දූපත වෙත ගිය ඔහු තම විකෘති කාමාශා සන්තර්පණය කර ගනිමින් සල්ලාල ජීවිතයක් ගත කළා. එහි සුවිශාල මාලිගයක් තනා ගත් ඔහුගේ තම ලිංගික අවශ්‍යතා වෙනුවෙන් කුඩා දරුවන්ව භාවිතා කළා.
4. කලිගියුලා
ටයිබීරියස්ගේ ඥාති පුත්‍රයෙකු වූ කලිගියුලා අධිරාජ්‍යයා බවට පත්වීම බොහෝ රෝම වැසියන් දුටුවේ සුබදායක සිදුවීමක් ලෙසයි. නමුත් මේ අස්වැසිල්ල වැඩි කලක් පැවතුණේ නැහැ. විකෘති කාම ආශාවන්ගෙන් පෙළුණු ඔහු තමන් ප්‍රිය කළ අශ්වයෙකු සෙනෙට් සභාවේ සභිකයකු බවට පත් කළා. එම අශ්වයා වෙනුවෙන් කිරිගරුඬ ඉස්තාලයක් තනවා අශ්වයා සමග භෝජන සංග්‍රහ වලට සහභාගී වන ලෙස රෝමයේ වංශාධිපතිවරුන්ට බල කරනු ලැබුවා. එසේම තමන්ව දෙවියෙකු ලෙස සලකා වන්දනාමාන කළ යුතු බවට නියෝගයක්ද පැනවුවා. ඔහුගේ මෙම ස්වභාවය ඉවසාගත නොහැකි වුණු ඔහුගේම ආරක්ෂක සෙබළුන් අතින් කලිගියුලාව ඝාතනයට ලක්වුණා.
5. කැරකැල්ලා
මුල් අවස්ථාවේදී කැරකැල්ලා හා ඔහුගේ සහෝදරයා වු ගේටා රෝමයේ සම අධිරාජ්‍යයන් ලෙස සෙනෙට් සභාව විසින් නම් කරනු ලැබුවා. නමුත් තම සිහසුන සහෝදරයා සමග වුවත් බෙදා ගැනීමට අකමැති වූ කැරකැල්ලා ගේටාව සහ ඔහුගේ බිරිඳව ඝාතනය කරනු ලැබුවා. ඔහුගේ මෙම ක්‍රියාවට ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ වැසියන් විරෝධය පළ කරන බව ඇසූ කැරකැල්ලා සිය හමුදාව සමඟ එම නගරයට ගොස් එම නගරවැසියන් 20,000 කට අධික ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබුවා. එසේම කැරැල්ලක් පිළිබඳව යම් ඉඟියක් හෝ ලැබුනොත් එම නගරය වෙත හමුදාව සමගින් පිටත් වන ඔහු එම නගර සම්පූර්ණයෙන් කොල්ලකා සියලු දෙනා ඝාතනය කිරීමට අණ දෙනු ලැබුවා. අවසානයේ ඔහුවත් ඝාතනය කරන ලද්දේ ඔහුගේ ම ආරක්ෂකයෙක් විසින්
6. ඩයොක්ලීෂියන්
රෝම ඉතිහාසය තුළ ක්‍රිස්තියානි භක්තිකයන් වැඩි වශයෙන් ඝාතනය කළ රෝම අධිරාජයා ලෙස ඩයොක්ලීෂියන් ඉතිහාසගත වෙනවා. විවිධ ආඥා නිකුත් කළ ඔහු ක්‍රිස්තියානින් සතු අයිතීන් සියල්ල ක්‍රමානුකූලව ඉවත් කරනු ලැබුවා. මුල් වතාවලදි රෝම ඇදහිලි වලට නැවතත් යෑමට අකමැති වූ ක්‍රිස්තියානුවන් සිරගත කරනු ලැබූ අතර පසුව ඔවුන් ඝාතනය කිරීමට නියම වුණා. ක්‍රිස්තියානි පල්ලි සියල්ල කොල්ල කනු ලැබුවා. ක්‍රිස්තියානි සෙනෙට් සභිකයින් පවා ඝාතනය කිරීමට ඔහු පසුබට වුණේ නැහැ. සාමාන්‍ය ලෙස ක්‍රිස්තියානුවන් ඝාතනය කිරීමෙන් තම බලාපොරොත්තු ඉෂ්ට නොවුණු බව වටහාගත් ඔහු අවසානයේ දී ක්‍රිස්තියානි භක්තිකයන් පණපිටින් සිංහයන්ට විසි කිරීමට අණ දෙනු ලැබුවා.
7. එලැග්බාලස්
වයස අවුරුදු 14 දී රෝම අධිරාජයා බවට පත්වූ එලැග්බාලස් එවකට රෝමයේ ප්‍රධාන දෙවියා ලෙස වන්දනාමාන කළ ජුපිටර් වෙනුවට තම නම සහිත එලැගබාල්ස් නම් දෙවියෙක් හඳුන්වා දෙනු ලැබුවා.
දිනපතා එම දෙවියා වෙනුවෙන් සතුන්, ඇතැම් විට කුඩා දරුවන් පවා යාගයක් ලෙස පූජා කරනු ලැබුවා. විකෘති කාමාශාවන්ගෙන් පෙළුණු ඔහු ගැහැණු පිරිමි දෙපාර්ශවයම සමඟ සබඳතාවන් ගොඩනඟා ගත්තා. කාන්තා ඇඳුම් වලින් සැරසුණු මෙම රෝම අධිරාජ්‍යයා තැබැරුම් සහ ගණිකා නිවාස වෙත ගොස් සහකරුවන් සෙවීමට උත්සාහ කළා. අවසානයේ ඔහුවත් ඔහුගේම ආරක්ෂකයන් අතින් ඝාතනයට ලක් වුණා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply