ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ මහත් භක්තියකින් සිදුකරනු ලබන කිරි අම්මාවරුන්ගේ දානය බොහොම අනුහස් වලින් සමන්විත එකක්. ගොඩක් පරිස්සමින් වගේම වැදගත්කමකින් දෙන්න ඕනේ දානයක් මේක. ඉතින් මේ වගේ දෙයක් හරියට සැලසුම් කරමින් කරන්න වටින උපදෙස් ගොන්නක් එක්ක අද අපි ආවේ කිරි අම්මාවරුන්ගේ දානය ගැන කතා කරන්නයි.
1. මොකද්ද මේ කිරි අම්මාවරුන්ගේ දානය?
බාරහාර නිදහස් කරන්න, අලුත ඉපදුණු දරුවන් වෙනුවෙන්, ලෙඩරෝග වලින් සුවපත් වූවන්, දරුවන් අපේක්ෂාවෙන් ඉන්න අය, ගොවිතැන් කටයුතු වල නියැලෙන අය වගේ ගොඩ දෙනෙක් පත්තිනි අම්මා සිහිකරමින් දෙන මේ කිරි දානයට සෑහෙන ඉතිහාසයක් තියනවා. ලංකාවේ සංස්කෘතිය තුළ ලොකු වැදගත්කමක් හිමිවෙන, අනුහස් බහුල දානයක් කියලා හඳුන්වන්න පුළුවන්. වාර්ෂිකව මේ දානය දෙන අයත් ඉන්නවා. සාමාන්‍යයෙන් මේ දානය දෙන්නෙ බදාදා හෝ සෙනසුරාදා දවස් වල. ඒ වගේම අඟහරුවාදා හා පෝය දිනවල් මේ සඳහා යොදාගන්නෙ නෑ.
2. මේ දානය සඳහා කිරි අම්මාවරු තෝරාගන්න පිළිවෙළ
ගොඩක් පේ වෙලා කරන මේ කිරි දානයට කිරි අම්මාවරු තෝරන වැඩේ තමයි පරිස්සමට කරන්න ඕනේ. කිරි අම්මාවරු 7 දෙනෙක් ඕන. පත්තිනි මෑණියන් සත්වරක් ලොවට පහළ උනා යන්න සිහි කරමින් සිද්ධ පත්තිනි, සළඹ පත්තිනි, අඹ පත්තිනි, සත් පත්තිනි, දේව පත්තිනි, ගිණි පත්තිනි මව්වරුන් මූලික කර ගනිමින් කිරි මව්වරු 7කට ආරාධනා කරනව. මේ දානයට ප්‍රධාන කිරි අම්මා කෙනෙක් තෝරගන්න ඕනේ. ඒ වගේම ආගමානුකූලව ජීවත් වෙන, දානය සඳහා විශේෂයෙන්ම සූදානම් වෙන අය තෝර ගැනීමට වගබලාගන්න ඕනේ. ගෙදර අය වගේම මේ ආරාධනා ලබන අයත් ගොඩක් පේ වීම අත්‍යවශ්‍ය කාරණයක්.
ඒ වගේම ළඟදී මරණ සිදුවූ ගෙවල් වලින් (මරණ කිල්ල), වැන්දඹුවන්, දරුවන් නොමැති කාන්තාවන්, දරුවන් ලැබී දරුවන් මියගිය කාන්තාවන්, ඉතා වයසක කාන්තාවන්, දුරාචාරයේ යෙදෙන කාන්තාවන්, විවිධ සුවකළ නොහැකි ලෙඩ රෝග වලින් පෙළෙන කාන්තාවන්, අඳ/ ගොළු/ බිහිරි කාන්තාවන් වගේම ගර්භණී මව්වරුන්, අවිවාහක කාන්තාවන්, ළඟදී වැඩිවිය පැමිණි දැරියන් සිටින ගෙදරක කාන්තාවන් (කොටහළු කිල්ල), මාසික ඔසප්වීම් දින ගත කරන කාන්තාවන් සහ ළඟදී දරුවකු වැදූ කාන්තාවන්ට (වැදුම් කිල්ල) මේ මව්වරුන් 7 දෙනා අතරට ආරාධනා කරන්නෙ නෑ.
මේ දානය සඳහා ආරාධනා ලබන මව්වරු ආරාධනා ලැබූ දිනයේ සිට නිර්මාංශිකව පේ වීම කළ යුතුයි. නිවැසි කාන්තාව කිරි අම්මලාට තෝරාගත් කාන්තාවන්ට බුලත් කොළයක් පිරිනමා දානයට ආරාධනා කළ යුතු වෙනව.
3. දානය සඳහා නිවස සකස් කරගන්නෙ කොහොමද?
නිවෙස හොඳට සෝදලා පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම ආහාරපාන සකසන කුස්සිය හොඳින්ම පිරිසිදු කරලා තියාගන්න ඕනේ. ඒ වගේම නිවැසියන් දවස් 7 හෝ 14ක කාලයක් නිර්මාංශ වෙලා මේ දානයට සිතින් වගේම ගතිනුත් ලෑස්තිවෙන්න ඕනේ. කිරි අම්මාවරුන්ට දෙන්න පිරිකර 7ක් ලෑස්ති කරන්න ඕනේ. ඒ වගේම ආරාධනා කරපු ප්‍රධාන මව තමයි පත්තිනි යහන හදන්න ඕනේ. ඊට අමතරව මව්වරුන් සඳහා සුදුමල් මාල 7ක් හා කහපාට මල් වට්ටි 7ක් ලෑස්ති කරන්න ඕනේ.
4. සකස් කරන ආහාර පාන අවශ්‍ය වෙනත් දේ මොනවාද?
කිරි අම්මාවරුන්ගේ දානය සඳහා මූලිකවම සකස් කරන ආහාර වන කිරිබත්, කිරියා, හැඳි කැවුම්, තැඹිලි, කෙසෙල්ගෙඩි අදාළ වෙනවා. මේවා එක් එක් පළාත් සහ සම්ප්‍රදායන් අනුව වෙනස් වෙන අවස්ථාත් තියෙනව. සාමාන්‍යයෙන් එක් කිරි අම්ම කෙනෙක්ට එක ආහාරයකින් 7 බැගින් සකස් කරනවා.
මෙයට අමතරව පත්තිනි මෑණි පූජාව සඳහා පළතුරු 7ක්, කැවිලි, තැඹිලි හා බුද්ධ පූජාව සූදානම් කරගන්න අවශ්‍යයි.
මැටි පහන් 8ක්, පහන් තිර 16ක්, පඬුරු 8ක්, බුලත්විට 8ක්, කපුරු පෙති, කිරි උතුරවන මුට්ටිය, ලද පස් මල්, හකුරු කැබලි, කෙසෙල් කොළ, පොල්කිරි කෝප්ප 1ක්, හඳුන් කූරු, සුවඳ කුඩු, පිරිකර සූදානම් කරගන්න ඕන.
5. දානය පටන් ගන්නා වේලාව හා පිළිවෙළ
සාමාන්‍යයෙන් ඉර නැගීමට පෙර කිරි අම්මාවරු පැමිණෙනවා. ඒ කියන්නෙ උදේ 5ට කලින්. ප්‍රධාන කිරි මව මුල් කරගනිමින් අම්මාවරුන් පේළියට නිවසට පැමිණෙන විට දෙහි මිශ්‍ර කහවතුරෙන් දෙපා සෝදාගෙන පිරිසිදු වෙලා ඇතුළට එන්නෙ. මේ සඳහා බේසමකට දෙහි සහ කහ මිශ්‍ර වතුර සකසලා පොඩි කෝප්පයක් සමඟ නිවසට ඇතුළු වෙන තැන තැබිය යුතුයි. ප්‍රධාන කිරි මව පත්තිනි මෑණියන්ගේ පින්තූරයක් හා සළඹ රැගෙන පත්තිනි යහන උඩින් තියනවා. ඔවුන්ට පිරුවට එලූ පැදුරු මත ඉඳගන්න සලස්වලා දානය පිළිගැන්වීමේ කටයුතු කළ යුතුයි. සමහර ප්‍රදේශ වල කවි ගායනා කරමින් කිරි අම්මලා එනවා දකින්න පුළුවන්. ගෙදර මූලිකයා මුලින්ම බුද්ධ පූජාව හා ගිලන්පස පූජා කළ යුතුයි.
6. දානය සිදුවන ආකාරය
පත්තිනි මෑණියන්ට පූජාව පිළිගන්වන්නේ ප්‍රධාන කිරි අම්මා. අනික් අම්මලා සමඟ පන්සිල් ගනිමින් යාතිකා වල මුලසුන ගන්නෙ මේ ප්‍රධාන කිරි මව. පත්තිනි මෑණියන්ට ආරාධනා කිරීමෙන් පසු පත්තිනි හෑල්ල හඬ නගා කියනවා.
මුලින්ම දානය පිළිගැන්වීම බුදු හාමුදුරුවන්ට හා දෙවියන්ට සිදු කිරීමෙන් පස්සෙ තමයි කිරි අම්මාවරුන්ට පිළිගන්වන්නේ. කිරි අම්මාවරුන් ඉඳගෙන ඉන්න තැන ඉස්සරහින් පත්තර කොළ එලලා ඊට උඩින් කෙසෙල් කොළ තියන්න ඕන. මේ කෙසෙල් කොළ වලට පොල්කිරි ඉහලා කැවිලි තියන්න ගන්න. සෑම ආහාරයකින්ම 7 බැඟින් තියන්න ඕනේ. ඒ වගේම පඬුරු ටිකත් තියාගෙන යන්න. කිරි අම්මාවරු තමන්ගේ ඇදහිලි අනුව නිවැසියන්ට සෙත් පැතීමෙන් අනතුරුව ඉෂ්ට දේවතාව වෙනුවෙන් ආහාර කොටසක් වෙන් කරනවා. දානය ගැනීමෙන් අනතුරුව බීමට තේ හෝ කෝපි ලබාදීම සිදු කරනවා.
කිරි අම්මාවරු නිවැසියන්ට ආශීර්වාද දීම සිදු කිරීමට පොල්තෙල් පහනක් පත්තු කරලා තියෙන්න ඕනේ. පහන්තිර 7ක් හා තිර නිවීමට කිරි පීරිසියක් ලෑස්ති කරගත යුතුයි. කිරි අම්මාවරු පැමිණ අදාළ නිවැසියන්ට හෝ භාරය නිදහස් කරන පුද්ගලයාට සෙත් පැතීම සිදු කරනවා.
කිරි අම්මාවරුන් පහන්තිර 7ක් පත්තු කරගෙන අදාළ අයගේ හිස වටා යවමින් සෙත් කවි ගායනා කරනවා. මෙසේ වස්දොස් යවලා භාරය නිදහස් කරලා ආශීර්වාද කවි ගායනා කරනවා. තිර නිව්වට පස්සෙ කිරි අම්මාවරු පිරිත් කියල අවසන් උනාම ප්‍රධාන කිරි අම්මා කොහොඹ හෝ අඹ අතු කෑල්ලකින් නිවස පුරා කහ මිශ්‍ර කිරි ඉසීම සිදු කරනව.
7. දානය අවසන් වන ආකාරය හා දැනගත යුතු වෙනත් කරුණු
දානයේ ඉතුරු ආහාර කොටස ගෙනයාමට කිරි අම්මාවරුන්ට තරමක් ලොකු බෑගයක් ලබාදෙන්න ඕන. නමුත් එය අසුරගන්න කිරි අම්මාවරුන්ට උදව් ලබාදෙන්නෙ නෑ.
ඒ වගේම දානය අවසානයේ කිරි අම්මාවරුන්ට නිවෙස් වලට යන්න උදව් කිරීමක් සිදුවෙන්නෙ නෑ. ඔවුන් යනවා කියලා කියන්නෙත් නෑ. මුලින්ම ප්‍රධාන කිරි අම්මා පත්තිනි මෑණි රූපය, සලඹ හා දානය රැගෙන පිටවෙනවා. අනික් මෑණිවරුන් ඒ පසුපස ගමන් කරනවා. ඔවුන් පසුපස නොබලා නොනැවතී ගමන් කරනවා.
කිරි දානය සිදු කරන ආකාරය විවිධ පළාත් වල එක එක ආකාරයෙන් වෙනස් වෙනව. මේ ලිපියෙන් අපි උත්සහ කළේ කිරි අම්මා දානයක් සඳහා සූදානම් වීමට මූලික දැනුමක් ලබාදීමටයි. දැන් කිරි දාන සඳහාම සූදානම් වූ කිරි අම්මා කණ්ඩායම් හැම ගමකම වගේ ඉන්නව. තමුන්ගෙ ආර්ථික හැකියාව අනුව කිරි අම්මාවරුන්ට දෙන පිරිකර, පඬුරු වෙනස් කරන්න පුළුවන්.
Leave a Reply