රස කෑමක් කන්න හෝටල් හොයාගෙන රස්තියාදු වෙන්න වුණ කාලේ දැන් ගෙවිලා ගිහින්. ඇඟිල්ලක් ඔබන සැණින් අපිට ඕන හෝටලය හොයාගෙන කෑම ඩිලිවරි ඕඩරයක් දාන්න පුළුවන් තරමට දැන් තාක්ෂණේ දියුණු වෙලා. ඒවට ඇප්ස් පවා හැදිලා තියනවා. ඉතින් කෑමට බීමට ලොල් යාළුවෙක්ගේ ජීවිතේ තවත් පහසු වෙලා, විනෝදබර වෙලා තියනවා මේ වෙනසත් එක්ක. ඒත් ඇත්තටම මේ කෑම ඩිලිවරි සේවාවන් නිසා වැඩ ලේසි වෙනවා වගේම සමහර දුක් සීන් වලටත් අපේ කෑමදාස යාළුවන්ට මුහුණ දෙන්න වෙනවා. මේ ඒ වගේ කරදර ටිකක්.
1. ඩිලිවරි රයිඩර් ඩීටුවර් යාම
ඔන්න දැන් අපි ෆුල් සාගතේ පිට ඇප් එකකින් කෑම ඕඩරයක් දානවා. හොටෙල් එකත් දාපු සැණින් ඕඩරේ බාර ගන්නවා. ටික වෙලාවකින් අපිට කෑම එක ඩිලිවර් කරන හාදයත් හෝටලේ පැත්තට ගාටනවා අපිට ඇප් එකෙන් පෙන්නුම් කරනවා, පොර ඕඩරෙත් පික් කරනවා. ඉතින් අපි පිඟන් ලෑස්ති කරගෙන ෆුල් රෙඩි වෙලා ඉන්නවා. ඔය අතරෙ නිකමට ඇප් එක දිහා බැලුවම තමයි අපිට තරු පේන්නෙ. මෙන්න බොලේ මැප් එකේ වේගෙන් අපේ ගෙවල් දිහාවට ආපු ඩිලිවරි හාදයා මගින් හැරිල වෙන තූත්තු කුඩියක යනවා. බලන් යද්දි පොර තවත් ඩිලිවරි එකක් දාල තමයි අපිට ඩිලිවර් කරන්න එන්නෙ ඒ මදිවට තව විනාඩි විස්සකින් විතර ඩිලිවරි ටයිම් එකත් කල් යනවා. දුක තමයි බ්‍රෝ!
2. කෑල්ල මිසින්
අපිට ඉතින් එනවනේ එක එක දොළදුක්. ඒ කිවුවෙ අදනම් චීස් කොත්තුවක් කන්නම ඕනෙ, අදනම් ම්ක්ස්ඩ් ග්‍රිල් එකක් ටේස්ට් කරන්නම ඕන වගේ එවුවා. ඉතින් ඔන්න එහෙම දවසක තෝරලා බේරලා, අපි ආස කරන තැනකින් කෑම එකක් ඕඩර් කරනවා. කෑම එක ඩිලිවරුත් කරනවා. ආස කෑම එක නිසා ටිකක් නිවී සැනසිල්ලේ විවේකෙන් කන්න කියලා හිතන් පොඩි වොෂ් එකක් දාගෙන, කැමතිම ටීවී ෂෝ එකක් දාගෙන, ලයිට් බියර් එකකුත් ළං කරගෙන ඔන්න අපි කෑම පාර්සලේ දිග අරිනවා. කෙළලා තියපි කිව්වලු! මෙන්න යකෝ චීස් කොත්තුවෙ චිකන් ක්වාටර් එක නෑ!
3. රස මතක
දැන් ඔන්න බඩගින්නක් දැනී දැනී එනකොට තකහනියෙ කල්පනා පාරක් දාල බලනව මොන රස කෑමකින්ද බඩගින්න නිවාගන්නෙ කියලා. කෑමක් තෝරගන්න හිතලා, අහල පහල තියන හොටෙල්, රෙස්ටුරන්ට්ස්වල තියන රයිස්, කොත්තු, පීසා ගැන කල්පනා කරන්න ගන්නව. එහෙම කල්පනා කරද්දි ඒ ඒ කෑමවල තියන රසයන් ඔටෝමැටික්ලි ඔළුවේ මැවෙනවා. කාලා කාලා ඒ තරමටම හෝටලේ සහ කෑම වර්ගය මතක් කළ ගමන් රස මතකෙට එනවා. තව දුරටත් කෑමක් රසවිඳලා රසෙන් පුදුම වෙන්න තියන හැකියාව නැතිම වෙලා ගිහින්. ඒ තරම්ම ඒරියා එකේ කෑම කවර් කරල තියෙන්නෙ. දුක තමයි ඉතින්.
4. අලුත් තැනක්
කෑම ඩිලිවරි ඇප් එක බල බල ඉඳිද්දි මෙන්න බොලේ අපි කැමතිම විදිහේ කෑම වර්ග විකුණන රෙස්ටෝරන්ට් එකක් අලුතින් ඇඩ් වෙලා. දැන් ඉතින් ඉවසිල්ලක් නෑ. මෙනූ එකේ අපි ආස කරන කෑම වර්ග ටික කාලා කවර් කරනකම් නිවනක් නෑ. පුදුම බයක් එන්නෙ අපි ඒවා කාලා ඉවර කරන්න කලින් කඩේ බිස්නස් අවුල්වෙලා වහල දායි කියලා. ඉතින් මුලින් මොකක්ද ඕඩර් කරන්නේ. මෙනූ එක කවර් කරන්න කොච්චර කාලයක් යයිද වගේ දාහක් ප්‍රශ්න.
5. ඔෆර්ස්
දැන්නම් කනවා හොඳටම වැඩියි. අද රෑට නම් ඉඳිආප්ප දහයක් හරි රෝස්පාන් කාලක් හරි කාල ෂේප් වෙනවා කියල තීරණය කරනවා. ඒත් නිකමට වගේ හවස් අතේ කෑම ඩිලිවර් කරන ඇප් එකක් ඔබල බලනව. බොලේ! මෙන්න ආසම කරන රෙස්ටෝරන්ට් එකේ රුපියල් 1000ට 400ක්ම අඩු වෙන පට්ට සුපිරි ඔෆර් එකක් දාලා. ඔන්නොහෙ හෙටම රෝස්පාන් කනවා කියල දාගන්නවා රුපියල් 1200 මික්ස් රයිස් ලාජ් එකක්ම.
6. සප්‍රායිස් ගෙස්ට්ස්
මාසෙ අන්තිමේ රිම් එකෙන් ඇද ඇද ගියාට බඩට දුක් දෙන්න බැහැනේ. හොඳ චීස් කොත්තුවක් ඕඩර් කරලා, අන්තිම දාහේ පටියත් අතේ ගුලි කරගෙන ගේට්ටුව ගාවට වෙලා ඉන්නවා ඩිලිවරි මල්ලි එනකන්. අහෝ ඛේදයකි! මෙන්න ඒ මොහොතෙම පාත් වෙනවා පාප මිත්‍රයො ටිකක්. උන්ව හලන්න ට්‍රයි කරද්දීම මෙන්න ඩිලිවරි බ්‍රෝත් හැල්මේ ඇවිත් ඩිලිවර් කරනවා. බදාගෙන කන්න මවපු හීන කුඩු වෙලා බෙදාගෙන ලෙවකන්න වෙනවා.
7. බඩු ඉවරයි!
කැමතිම කොත්තු ජොයින්ට් එකේ අලුත්ම අයිටම් එකක් ඇඩ් වෙලා. නිගම්බෝ ස්ටයිල් සී ෆුඩ් කොත්තුවක්. ක්රෑබ්ස්, කට්ල්ෆිෂ්, ප්‍රෝන්ස් පිරිච්ච නියම අයිටම් එකක් විස්තරේ හැටියට. ඉතින් කුමටද කුසලට කම්මැලි වන්නේ කියල ආයෙ දෙපාරක් හිතන්නෙ බලන්නෙ නැතුව දානවා ඕඩරේ. ඕඩරෙත් බාර ගන්නවා. ප්‍රිපෙයාරින් කියලත් වැටෙනවා. ටික වෙලාවක් ගතවෙලා මෙන්න ෆෝන් එකට එනවා කෝල් එකක්. “අනේ සර්. අද සීෆුඩ් කලින් ඉවර වුණා. ඒ නිසා නිගම්බෝ සී ෆුඩ් කොත්තුව එවන්න බෑ. ඒ වෙනුවට වෙන කොත්තුවක් එවන්නද?” කියල පොර අහනව. ඇඬෙනවනෙ සාන්ත…
Leave a Reply