ගෝ ප්‍රෝ (GoPro) කියන්නේ ඇක්ෂන් කැමරාවක්. ඒ කියන්නේ රළු පාවිච්චියට සරිලන විදිහට ඇක්ෂන් රූපගත කරන්න පොඩිවට හදපු විශේෂ කැමරාවක්. ගෝ ප්‍රෝ කියන්නේ ඇක්ෂන් කැමරා වල රාජ පරම්පරාව වගේ. මොකද ගෝ ප්‍රෝ තරම් ඇක්ෂන් කැමරා මාකට් එකේ සාර්ථක වෙන්න වෙන කාටවත්ම බැරි වුණා. ඇක්ෂන් කැමරාවකට හසු කරගන්න පුළුවන් සහ ඇක්ෂන් කැමරාවකින් ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා. මේ පාර ආපු ගෝ ප්‍රෝ හීරෝ 9 එකත් (GoPro Hero 9) ඒ වගේ අලුත් අලුත් දේවල් කීපකින්ම සවිමත් වෙලා තියෙනවා.
1. ඩුවල් ඩිස්ප්ලේ
මේ අලුත් ගෝ ප්‍රෝ හීරෝ 9 දෙපැත්තේම ඩිස්ප්ලේ තියෙනවා. ෆෝන් එකක ෆ්‍රන්ට් කැම් එක පාවිච්චි කරනවා වගේ ලේසියෙන් අපිට අපිව රූගත වෙන දිහා බලාගෙනම සෙල්ෆි වීඩියෝ කරන්නට පුළුවන්. කන්ටෙන්ට් හදන වැඩ වලදිත් අපි ඉන්න ආකාරය අපිට බලාගන්න පුළුවන් එක වටිනවා. මේ තාක් කල් ආපු ගෝ ප්‍රෝ වල කැමරාවේ ලෙන්ස් එක පැත්තේ ඩිස්ප්ලේ එක ආවේ කළු සුදු දත්ත විතරක් පෙන්වන ඩිස්ප්ලේ එකක්. ඒකෙනුත් යම් යම් දත්ත ගන්න පුළුවන් වුණත්, අපිට අපිවම බලාගන්න ටිකක් අමාරු වුණා. ඒ අවුල නැති කරලා කැමරාවේ ලෙන්ස් එක තියෙන පැත්තටත් මේ පාර සුපිරි වර්ණ ඩිස්ප්ලේ පුංචෙක් ඇඩ් වෙලා තියෙනවා.
2. අලුත් ඉමේජ් සෙන්සර් එක
අපේ ඇහැට පිංතූරයක් පේන්න ආලෝකය ඇසේ තියෙන කාචය හරහා ගිහින් දෘෂ්ඨි විතානයේ වදින්නට ඕනි. මේ දෘෂ්ඨි විතානය කියන ආලෝක සංවේදක හඳුනාගන්න තැනින් තමයි ආලෝක සංඥාව මොළේට යන්නේ. මේ තැන සවුත්තු වුණාම අපේ ඇස් වල දෝෂ ඇතිවෙනවා. කැමරාවකත් ඉමේජ් සෙන්සර් එක හෙවත් ආලෝකේ ගිහින් වැටුනට පස්සේ ඒක ඉලෙක්ට්‍රොනික සංඥාවක් විදිහට හරවන ඉමේජ් සෙන්සරය වැදගත් කෑල්ලක්. මෙතෙක් ආ පසුගිය ගෝ ප්‍රෝ කීපයකම තිබුණේ එකම වර්ගයේ ඉමේජ් සෙන්සර්. ඒ නිසා මෙගාපික්සල් 12ක විභේදන බලයක් සහිත පිංතූර, වීඩියෝ තමයි ගන්න පුළුවන් වුණේ. මේ පාර ඊට වඩා බලගතු මෙගාපික්සල් 20ක පොටෝ ජෙනරේට් කරන්න පුළුවන් ඉමේජ් සෙන්සරයක් ගෝ ප්‍රෝ 9 වලට එනවා.
3. මොඩ් ලෙස ගලවන්න හැකි වීම
මෑතකදි ඇක්ෂන් කැමරා ලෝකෙට ආවා ඉන්ස්ටා 360 කියලා කැමරා වර්ගයක්. ඒකේ තියෙන විශේෂත්වය තමයි කැමරාවේ බේස් එක තියෙද්දි අර එස් එල් ආර් මිරර්ලස් කැමරා වල වගේ ලෙන්ස් එක මාරුකරගන්න පුළුවන් වීම. දැන් මේ ගෝ ප්‍රෝ එකටත් ඒ වගේම අලුත් සිස්ටම් එකක් ඇවිත්. ඒහරහා ඊලඟ ගෝ ප්‍රෝ මැක්ස් කියලා එන්නේ තවත් කැමරාවක් නෙමෙයි, තවත් ලෙන්ස් එකක් කියලා තමයි ආරංචිය එන්නේ. ඒ එක්ක කැමරාවේ ලෙන්ස් එක තනිකර ගලවා සවිකරගන්න හැකියි. ඒ වගේම ගෝ ප්‍රෝ හීරෝ 7 වල තිබිලා 8 දී අයින් වුණු ලෙන්ස් කවරය ගලවන පහසුකමත් මේ පාර 9 ට ඇඩ් වෙලා තියෙනවා.
4. සයිස් එක නම් ලොකුයි
ගෝ ප්‍රෝ කැමරාවක තියෙන එක වාසියක් තමයි ඒක කුඩා වීම. කුඩා නිසා අපිට ෆෝන් එකක් ගෙනියන්න බැරි තැන්වලටත් වැඩි බරක් සහ ඉඩක් ගන්නේ නැතුව ගෝ ප්‍රෝ ගෙනියන්න පුළුවන්. මේ පාර ආපු ගෝ ප්‍රෝ එක ටිකක් ලොකුයි. උස, පළල, දිග තුන් පැත්තම කලින්ට වඩා වැඩියි. මේ අලුත් එකේ බරත් ටිකක් වැඩියි. කොහොම වුණත් සයිස් එක ලොකු වුණාට මේන් ඩිස්ප්ලේ එක එහෙම ලොකු මදිය කියලත් සුළු චෝදනාවක් ගෝ ප්‍රෝ අයට ඇවිල්ලා තිබුණා.
5. බැටරිය ලොකුයි
ගෝ ප්‍රෝ හීරෝ 5, 6, 7, 8 හතරටම එකම බැටරි පාවිච්චි කරන්න පුළුවන් වුණා. ඒත් අලුත් එකට එන බැටරි ලොකුයි. වෙනස් ඉමේජ් සෙන්සරය සහ අලුත් ඩිස්ප්ලේ එක නිසා බැටරිය මදි වෙන්නට ඇති. ඒ නිසා කලින් තිබුණ බැටරියට වඩා 40%ක් බලය වැඩි බැටරියක් මේ අලුත් ගෝ ප්‍රෝ එකට එනවා.
6. හයිපර්ස්මූත් ටයිම්වෝර්ප් (Hypersmooth Timewarp)
යන එන, නාන පීනන, දුවන පනින වගේ ඇක්ෂන් රූපගත කරද්දි ඉස්සර ආපු අවුලක් තමයි බල්ලෙක්ටවත් බලන්න බැරිතරම් වීඩියෝ එක ගැස්සෙන එක. ඒත් ගෝ ප්‍රෝ හීරෝ 7 වලින් පස්සේ ඒ ස්මූත් බව හොඳින්ම වැඩිවෙන විදිහට ගෝ ප්‍රෝ අය තම නිෂ්පාදනයන් හැදුවා. දැන් අපි දුවන වීඩියෝ එකක් වුණත් එච්චර ගැස්සෙන්නේ නැතිව ලස්සනට පෙන්නුම් කරගන්න ගෝ ප්‍රෝ වල ඉලෙක්ට්‍රොනික් ඉමේජ් ස්ටැබිලයිශේෂන් වලට පුළුවන්. දැන් අලුත් ගෝ ප්‍රෝ 9 දී ඒ හැකියාව වඩාත් වැඩිදියුණු වෙලා. ඒ වගේම ටයිම්වෝර්ප් කියන ටයිම් එකට අනුව ස්ලෝ වීඩියෝ රූපගත වෙන පහසුවත් ගෝ ප්‍රෝ 9 දී තව ඉස්සරහට ගෙනල්ලා තියෙනවා.
7. දෝෂ සහ අවුල්
මේ ගෝ ප්‍රෝ හීරෝ 9 වල පාවිච්චි වෙන්නේ පරණ ජී පී 1 කියන ඉමේජ් ප්‍රොසෙසරයම තමයි. මේ ඉමේජ් ප්‍රොසෙසරයට ඩිස්ප්ලේ දෙකක් සහ හයිපර්ස්මූත් වගේ වැඩ ටිකකුත් දැන් එකතු වෙලා. ඒනිසා කැමරාව සමහර වෙලාවට එකපාර ඕෆ් වෙනවා කියල දෝෂයක් වාර්තා වෙලා තිබුණා. ඊට අමතරව ගෝ ප්‍රෝ එකේ ඩිස්ප්ලේ එකේ රෙස්පොන්ස් සමහර වෙලාවට අඩුයි කියලත් දක්වලා තිබුණා. ඒ අවුල් ඉස්සරහට එන ෆර්ම්වෙයා වලින් දූරිභූත වෙලා යාවි කියලා තමයි ගෝ ප්‍රෝ වලට හිතැති අය හිතන්නේ.
අලුත් ෆෝන් එකකුත් දැන් ඉතින් ලාබ නැහැ. හොඳ මට්ටමේ එකක් ලක්ෂයක් විතර වෙනවා. ගෝ ප්‍රෝ හීරෝ 9 එකත් ලංකාවේ සල්ලි වලින්, ලංකාවේ වෙළඳසැල් වලින් ගන්නවා නම් රුපියල් ලක්ෂයක් විතර ගණන්. ඒත් ඒ ගාණට ඇක්ෂන් ටික නිල් කැටේට ගන්න පුළුවන් කැමරා එක වටින අයත් ඉන්නවා. ඉතින් අලුත ආපු ගෝ ප්‍රෝ 9 යාළුවා ගැන ඔයාල මේ ලිපියෙන් විස්තර දැනගන්නට ඇති. කැමරාවේ කොලිටිය සහ වීඩියෝ පොටෝ වලට තියෙන ෆීචර්ස් නම් ඔයාලට ගෝ ප්‍රෝ 9 කියලා යූ ටියුබ් සර්ච් පාරක් දැම්මොත් හොයාගන්නට පුළුවන් වේවි.
Leave a Reply