පාරට බැස්සහම යක්ෂාවේශ වෙනවද? එහෙමනම් මේ ටිප්ස් පිළිපැදලා වත් පාරේ කේන්තිය අඩු කරගමු

දැන් ඔය road rage කියලා වචනයක් සමහරු අහලා ඇති. හැබැයි රෝඩ් රේජ් එක ගැන අහලා නැතත්, පාරේ තමන්ගේ වාහනේක හරි පොදු වාහනේක හරි යන මනුස්සයෙක් නම් අනිවාර්යයෙන්ම රෝඩ් රේජ් එක අත්විඳලා ඇති. මොකද්ද ඇත්තටම මේ රෝඩ් රේජ් කියන්නේ? නිර්වචනය මෙහෙමයි. මහපාරේදී වෙන කවුරුහරි වාහනයක් එළවන මනුස්සයෙක් හෝ මනුස්සයෝ නිසා තවත් වාහන එළවන මනුස්සයෙක්ට ඇතිවෙන හදිසි ප්‍රචණ්ඩ කෝපාවේගය. මේක කුණුහරුපෙන් බැණගැනිල්ලේ ඉඳලා මරාගැනිල්ල දක්වා දීර්ඝ වෙන්නත් පුළුවන්. හරි, අපි ලේසියට කියමු රෝඩ් රේජ් කියන්නේ මහපාරේ යකා වැහිල්ල කියලා. හැබැයි එහෙම පාරේ වාහනයක් එළවන හැමෝටම යකා වැහෙන්නෙත් නෑ. සමහරු ඉන්නවා බොහොම සාමකාමීව සැපේ ඉඳගෙන වාහන එළවන හාදයොත්.

 

හරි. දැන් මහපාරේ යකා වැහිල්ල කියන එක ලේසි දෙයක් නෙවෙයි කියලා අපිට තේරෙනවනේ. ඒක තමන්ගේ ශරීර සෞඛ්‍යයට අනතුරුදායකයි. අනික් මිනිස්සුන්ට අනතුරුදායකයි. මහපාරේ යකා වැහිල්ල නිසා රිය අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා, හොඳම දේ තමයි මේ මහපාරේ යකා වැහිල්ල සමනය කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන එක. අපි ඉදිරිපත් කරන්න යන්නේ අන්න ඒකට වැදගත් වෙන ටිප්ස් කීපයක්.

 

1. කරදාසිය ලිපේ දාලා නොයමු

මේක නම් ඉතින් ඕනම අවස්ථාවකට වලංගු කාරණාවක්. මොකක් හරි වැඩකට පාරට බහිනකොට අන්තිම තත්පරේ තියලා යන්න එපා. සමහරු ඉන්නවා ගූග්ල් මැප් එකේ කොහේට හරි යන්න පෙන්නන වෙලාව බලලා, ගාණට නූලට ඒ වෙලාවට තියලා එළියට බහින. හැබැයි අපිට ඕන විදියට හැමදේම වෙන්නෙ නෑ. පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන්න පුළුවන්. හදිසි ට්‍රැෆික් තත්වයක් ඇතිවෙන්න පුළුවන්. කණ පැලෙන්න වහින්න පටන් ගන්න පුළුවන්. මේ විදියේ ඕනම දෙයක් වෙලා, අපිට පාරේ ප්‍රමාද වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට, වෙලාවට අපිට අදාළ තැනට යාගන්න බැරිවෙනවා කියලා දැනෙනකොට ඔන්න පොඩ්ඩක් ඇත්තං මළ පනින ලෙවල් එකකට එනවා. ඔහොම තමයි රෝඩ් රේජ් ඇතිවෙන්නේ!

 

2. කලින් සැලසුම් කරමු

උඩින් කියපු කාරණාව රෝඩ් රේජ් වළක්වාගන්න අතිශයින්ම වැදගත් කාරණාවක්. හැබැයි ඒකට අදාළ වෙනවා මේ කාරණාව. ඒ කියන්නේ, තමන්ගේ ගමන බිමන කලින් ප්ලෑන් කරන එක. ඒකෙන් කියන්නේ තමන්ට යන්න අවශ්‍ය තැන් වලට වැඩිපුර වෙලාව තියලා යන්න කියන එක විතරක් නෙවෙයි. තමන් යන්නේ කොහෙද කියන කාරණා වුණත් කලින් සැලසුම් කරගන්න. අන්න එහෙම හොඳ සැලසුමක් ඇතුව පාරට බහිනකොට කරදරයක් නැතුව නිවීහැනහිල්ලේ තමන්ගේ වැඩ ටික ඉෂ්ට කරගන්න පුළුවන්.

 

තව එකක්. මේ සැලසුම් හදනකොට පුළුවන් තරම් ප්‍රායෝගික වෙන්න. උදාහරණයක් විදියට ගත්තොත්, ටෙලිෆෝන් බිල ගෙවන්න විනාඩි පහයි, ආදායම් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් එකෙන් ගන්න විනාඩි පහළොවයි වගේ සැලසුම් හදන්න එපා. ටෙලිෆෝන් බිල් ගෙවන්න ලොකු පෝලිමක් තියෙන්න පුළුවන්. ආදායම් බලපත්‍ර ගන්න ගියහම රස්තියාදු වෙන්න පුළුවන්. මේ උදාහරණ කීපයක් විතරයි.

 

3. ඊගෝ එක සුවපත් කරගමු

මේක ඉතින් ගොඩක් අයට තියෙන අප්සට් එකක්නේ. ඒ තමයි ඊගෝ එක. උදාහරණයක් විදියට ගත්තොත්, තමන් පාරේ යනකොට අපිට පිටිපස්සෙන් වාහනයක් නොනවත්වාම හෝන් ගහගෙන කඩිකුලප්පුවෙන් යන්න හදනකොට අපිට මළ පනිනවා. ගේමටම ඉඩ නොදී අපිත් යනවා. කඩිකුලප්පුකාරයත් අතාරින්නෙ නැතුව හෝන් ගහනවා. ආන්න පිංවතුනි මහපාරේ යකාවැහෙන්න නියමිත තැනක්. සමහර වෙලාවට කඩිකුලප්පු කාරයා එහෙන් මෙහෙන් දාලා ඕවර්ටේක් කරගෙන ගියා කියමු. අපිට ඒකට මළ. ඉතින් ඔන්න අපි රේස් යන්න තියාගන්නවා කඩිකුලප්පු කාරයාව අල්ලගෙන පහුකරලා යන්න. ඔන්න ඔය ඊගෝ එක වෙන තැන්වල වගේම මහපාරෙත් ඇඟට අගුණයි. ඒ නිසා දඩිබිඩි කාරයන්ට යන්න දෙන්න. තමන් විනය ගරුකව වාහනේ එලවන්න.

 

4. මූඩ් අප්සෙට් ෆික්ස් කරගෙන වාහනේට නගිමු

සමහරුන්ට ඇත්තටම රෝඩ් රේජ් ඇතිවෙන්නේ පාරේ සිද්ධ වෙන දේවලින් නෙවෙයි. සමහරු වාහනේ පාරට දාන්නෙම එක්කෝ ගෙදර වලියක් දාගෙන. එක්කෝ ඔෆිස් එකේ ප්‍රශ්න ගොඩක් ඔලුවේ පුරවගෙන. ආන්න එතකොට පාරේදී තවත් ඩ්‍රයිවර් කෙනෙක් අතින් සිද්ධවෙන අහිංසක අත්වැරදීමක් වුනත් ඇති, අර මූඩ් අප්සෙට් එකේ ඉන්න හාදයට යකා වැහෙන්න. අන්න ඒ නිසා, තමන්ගේ මූඩ් එක හොඳ නැතිනම්, වාහනේ අතට ගන්නෙ නැතුව මූඩ් එක ෆික්ස් කරගෙන ඉන්න එක හොඳයි. ඒකට මියුසික් අහන එක, යාලුවෙක්ට කතා කරන එක වගේ ඕනම පියවරක් ගන්න පුළුවන්.

 

5. ස්ටීරියෝටයිප් කිරීමෙන් වළකිමු

මෙන්න මේකත් ගොඩක් මිනිස්සු කරන වරදක්. දැන් සාමාන්‍යයෙන් ගොඩක් අයගේ මතයක් තමයි පාරේ වැඩිපුරම මාර්ග නීති කඩකරන්නේ ත්‍රීවිල් රියදුරෝ සහ යතුරුපැදි රියදුරෝ කියලා. ඒක වැරදි මතයක්. බොහොම විනයගරුකව වාහන එලවන ත්‍රීවිල් සහ යතුරුපැදි රියදුරෝ ඉන්නවා. එතකොට තවත් ස්ටීරියෝටයිප් මතයක් තමයි ලොකු ලොකු වාහන පොඩි වාහන වල ඇඟට කපාගෙන, කඩාගෙන බිඳගෙන යනවා කියන එක. ඒකත් වැරදියි. බොහොම නිවීහැනහිල්ලේ එලවන ලොකු වාහනත් තියෙනවා. මෙතනදී කාරණාව සරලයි. වාහන හැම එකක්ම එලවන්නේ මිනිස්සු. ඒ මිනිස්සු අතරින් සමහරු මාර්ග නීති කඩකරනවා. සමහරු විනය ගරුකව රිය පදවනවා. ඔච්චරයි කතාව. හැබැයි අර උඩින් කියපු විදියට ස්ටීරියෝටයිප් ඔලුවේ තියාගෙන ඉන්න එකෙන් වෙන්නේ, නිරනුමානේ මිනිස්සුත් එක්ක මළ පනින එක. උදාහරණයක් විදියට කිවුවොත් බයික් කාරයෝ පාරේ යන්න දන්නෙ නෑ කියන මතේ ඉන්න මනුස්සයෙක්ට, තමන්ගේ කාර් එකට බයික් එකක් ඕවර්ටේක් කරන්න එනවා දකින කොටත් මළ පනින්න පුළුවන්.

 

6. කීප් කාම් ඇන්ඩ් ගැඹුරු හුස්ම කීපයක් ගමු 

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. තමන්ට කේන්ති යාගෙන එනකොට ඒක වටහාගන්න කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන. ඉන් පස්සේ ඒ කේන්තිය සමනය කරන්න මොකක් හරි කරන්න ඕන. සමහරුන්ට එකේ ඉඳලා දහයට ගණන් කළාම කේන්තිය අඩු වෙනවා. තවත් කෙනෙක්ට හොඳ ගැඹුරු හුස්මක් අරගෙන සිතුවිලි එක්තැන් කරගන්න් උත්සාහ කළහම කේන්තිය අඩු වෙනවා. මෙන්න මේ විදියට මොකක් හරි තමන්ව නිවන ක්‍රමයක් රෝඩ් රේජ් කරයෝ දැනගෙන ඉන්න ඕන.

 

7. පනින්න පෙර සිතා බලමු

සාමාන්‍යයෙන් රෝඩ් රේජ් එක නැතිනම් පාරේ යකා වැහෙන එක වුනාට පස්සේ ඊලඟට එන්නේ ඒ කේන්තිය අනුව ක්‍රියා කිරීමනේ. ඒක එක්කෝ බැණිල්ලක් වෙන්න පුළුවන්. එක්කෝ රණ්ඩුවට යෑමක් වෙන්න පුළුවන්. එක්කෝ කෙලින්ම අතින් පයින් ගහගැනිල්ලක් වෙන්න පුළුවන්. මේ හැමදෙයක්ම ඇත්තටම හිතාමතා වෙන්නෙ නෑ. මහපාරේ යකා වැහුනට පස්සේ ගොඩක් වෙලාවට තමන්ට තමන් පාලනය නැති එක තමයි වෙන්නේ. හැබැයි ඔය යකා වැහුණහම ගැඹුරු හුස්මක් ගන්න කියලා අපි කිව්වනේ. අන්න එතකොට නිමේෂයකට හරි අපිට සන්සුන්ව හිතන්න පුළුවන් කම ලැබෙනවනේ. ආන්න ඒ මොහොතෙදී හොඳට හිතට ගන්න ඊලඟට තමන් කරන්න යන දේ විනාශකාරී දෙයක් නම්, ඒකෙන් වළකින්න ඕන කියන එක. මොකද, ඒකෙන් අනුන්ට වගේම තමන්ටත් බරපතල හානි වෙන්න පුළුවන් නිසා.

 

8. සවිඥාණිකව රිය පදවමු

මේකත් රෝඩ් රේජ් අවම කරගන්න පුළුවන් එක ටෙක්නික් එකක්. ඒ කියන්නේ, පුරුද්දට ඔහේ එළවගෙන යන්නෙ නැතුව, තමන් වාහනේ එලවීම ගැන සවිඥාණිකව වාහනේ එලවන එක. වෙනත් විදියකට කිවුවොත් ඒක භාවනාවක් වගේ. ඒ කියන්නේ පාර පුරුදු නිසා පුරුද්දට ඩ්‍රයිව් කරගෙන යන එක, අවිඥාණිකව ඩ්‍රයිව් කරන එක නැතුව, තමන් කරන දේ ගැන ඒ මොහොතේ සිහියෙන් පසුවෙන එක. ඒකෙන් රෝඩ් රේජ් වළක්වගන්න වගේම, රිය අනතුරු අවදානම් අවම කරගන්නත් පුළුවන්.

 

9. සමාව දෙන්න උත්සාහ ගමු

දැන් මොකක් හරි වෙන රියදුරෙක්ගේ වැරැද්දෙන් පාරෙදී ප්‍රශ්නයක් වුනා කියමු. එතනදී ගොඩක් දෙනෙක්ගේ ක්ෂණික ප්‍රතික්‍රියාව වෙන්නේ යකා වැහිලා කෑ ගහන එකනේ. හැබැයි අපිට පුළුවන් එතනදිත් අර 6 වෙනි උපදෙසට යන්න. ඒ කියන්නේ ගැඹුරු හුස්මක් අරගෙන මුලින් තමන් සන්සුන් වෙන එක. ආන්න ඊට පස්සේ අපිට පුළුවන් හිතන්න, අර මනුස්සයත් තව මනුස්සයෙක්නේ, මනුස්සයන් අතින් වැරදි වෙන්න පුළුවනිනේ, අන්න ඒ නිසා ඒ වැරැද්දට සමාව දෙමුනේ කියලා. අන්න එහෙම සමාව දෙන්න පුළුවන් මනෝභාවයක ඉන්නවා කියන්නේ රෝඩ් රේජ් නෑ කියන එක තමයි. 

 

හැබැයි එකක්, සමාව දීලා, අලාබේ අත අරින්න කියලා නෙවෙයි කියන්නේ. ඒක වෙන කතාවක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *