කතෝලික විශ්වාසයන් අතර ඉහළින්ම වැජඹෙන දේවස්ථානයන්

ලංකාවේ කතෝලික ජනතාව මහත් භක්ති ආදරයෙන් වැඳුම් පිදුම් කරන දේවස්ථාන අතරින් වඩාත් ප්‍රසිද්ධ දේවස්ථාන ටිකක් ගැන අද අපි කියන්න හිතුවා. ඒ වගේම මේ දේවස්ථාන විශේෂයක් උසුලන්නෙ මොන කාරණා නිසාවෙන්ද කියලත් අපි මේ ආටිකල් එකෙන් කියලා දෙනවා. 

 

1. මරද මඩු සිද්ධස්ථානය – මඩු

හාස්කම් තියන මඩු මෑණියන්ගේ සුවිශේෂී වූ ප්‍රතිමාව තැන්පත් කරලා තියෙන්නෙ මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු කියන ග්‍රාමයේ. මෑතක් වෙනතුරු එල්.ටී.ටී.ඊ. සටන් බහුලව පැවති ප්‍රදේශයක් නිසා වන්දනාකරුවන්ට යන්න බැරුව හිටියත් 2009න් පස්සෙ ඕනම වෙලාවක යන්න පුළුවන්. මේ මඩු පල්ලිය පිටුපස ලොකු කතාවක් තියනවා. ආශ්චර්‍යාත්මක මඩු ප්‍රතිමාව මුලින් තිබිලා තියෙන්නෙ මාන්තෙයි කියන ගමේ. 

1544 කාලයේ යාපනේ සිටි සංගිලි රජ කතෝලික විශ්වාසකයින් 600කට අධික ප්‍රමාණයක් කෲර ලෙස මරලා තියනවා.  ඉන්පසු 1590 වගේ කාලයේ පොඩි පල්ලියක් හදලා ප්‍රතිමාව තැන්පත්   කරලා. 1670 වෙනකොට ලන්දේසි ආක්‍රමණ වලින් මේ පල්ලියට ප්‍රහාර එල්ල වෙනකොට ඉතිරි වුණු කතෝලිකයින් මේ ප්‍රතිමාව අරන් කැලේ හැංගිලා. කොහොම නමුත් මේ මාන්තෙයි පල්ලිය ලන්දේසීන්ට සම්පූර්ණයෙන්ම විනාශ කරන්න බැරි වුණා. එහෙම බාධක රැසක් මැද්දෙ තමා අද තියන තැන දේවස්ථානය හදලා ප්‍රතිමාව ගෙනල්ල තියෙන්නෙ. මඩු මෑණියන්ගෙ මංගල්ලෙ අගෝස්තු මාසයේ පවත්වනවා. වාර්ෂිකව මෙහි වන්දනාකරන බැතිමතුන් ගොඩක් ඉන්නවා. මන්නාරම් ප්‍රදේශය බබළවන දියමන්තියක් විදියට මඩු පල්ලිය හඳුන්වන්න පුළුවන්. 

 

 

2. ශාන්ත ආනා සිද්ධස්ථානය – තලවිල

පුත්තලම දිස්තික්කයේ කල්පිටිය ග්‍රාමයට කිට්ටුව මුහුද අයිනට වෙන්න පිහිටලා තියන ශාන්ත ආනා දේවස්ථානයත් කතෝලිකයන් අතර ලොකු විශ්වාසයක් උසුලන පල්ලියක්. 

 

දේවමෑණියන්ගේ මව් වන ශාන්ත ආනා මුණිවරියට කැප කරලා තියන මේ පල්ලිය අන්‍යාගමිකයින්ගේද ගෞරව ආදරයට පාත්‍ර වෙලා තියනවා. 

මේ පල්ලියෙ කතාව පොඩ්ඩක් කියන්නම්. 17 වෙනි සියවසේ විතර තලවිල මුහුදු සීමාවේ ශාන්ත ආනා මුණිතුමියගේ ප්‍රතිමාව රැගත් නැවක් මුහුදුබත් වෙලා තියනවා. ඒ වෙලාවෙ ඒකෙ නැවියො මේ ප්‍රතිමාව අරගෙන පීනලා ඇවිල්ලා තියෙන්නෙ මේ ස්ථානයට. මෙහි ඇති නුග බෙනයක තියලා යාඥා කරලා ඔවුනට පිහිට ඉල්ලලා තියනවා. ඒ වගේම  මෙතනින් ගිය පෘතුගීසි ජාතිකයන් පිරිසක් මේ හරියෙ රෑ නවාතැන් ගන්නකොට මේ ප්‍රතිමාවෙන් ආලෝකය විහිදිලා ශාන්ත ආනා මුණිතුමිය දර්ශනය වෙලා මේ ස්ථානයේ දේවස්ථානයක් ඉදිකරන්න කියලා දැනුම්දීලා තියෙනව කියනව. එවෙලෙම පොඩියට මඩුවක් ගහලා ප්‍රතිමාව තැන්පත් කරලා තියනවා කියලයි ජනප්‍රවාදයේ කියවෙන්නෙ. දැන් තියන දේවස්ථානය 1873 වගේ තමයි හදලා තියෙන්නෙ. 

මෙහි ප්‍රධාන මංගල්ල දෙකක් මාර්තු හා අගෝස්තු වල පැවැත්වෙනවා. ලංකාවේ හැමපැත්තකින්ම වගේ සෙනඟ නොවැරදීම යන පල්ලියක් තමා මේ. 

 

 

3. ගර්භවාස දේවමෑණියගේ දේවස්ථානය – ඇල්දෙණිය

දරුවන් අපේක්ෂාවෙන් ඉන්න අය,දරුවන් ලැබෙන්න ඉන්න අය ගොඩක් දෙනා යන දේවස්ථානයක් තමයි මේ. කඩවත කිරිල්ලවල ඇල්දෙණිය ගමේ ප්‍රධාන පාර අයිනේ අධිවේගී මාර්ගයේ ප්‍රවේශය අසලම තමයි මේ පල්ලිය තියෙන්නෙ. 

ගොඩක් ලස්සන විදියට හදලා තියන මේ පල්ලියේ අද ගොඩක් තරුණ පිරිස් තමන්ගෙ විවාහ මංගල්ලය ගන්නත් කැමැත්තක් දක්වනවා.  

 

 

4. ශු. අන්තෝනි  මුණිඳුන්ගේ දේවස්ථානය – වහකෝට්ටේ

මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ – ගලේවෙල මාර්ගයේ ඇති ශු. අන්තෝනි මුණිඳුන්ගේ සිද්ධස්ථානයේ ජුසේවාස් පියතුමන්ගේ කුරුසිය තැන්පත් කර ඇති වහකෝට්ටේ සිද්ධස්ථානයත් කතෝලිකයන් අතර ගොඩක් ප්‍රසිද්ධ තැනක්. මෙහි ඇති ස්වභාවිකව පිහිටි එකම කල්වාරි භූමියයි. මේ ස්ථානය ගොඩක් සිත් ඇදගන්නා සුළු ලස්සන තැනක්. 

අතීතයේ ජුසේවාස් පියනම මෙහි පැමිණ ධර්මදූත කාර්‍ය ආරම්භ කර මහනුවර සිට පැමිණ මේ වහකෝට්ටේ ග්‍රාමයේ ඉඳලා තියනවා. දැනටත් තියෙන ගල් කුරුසිය ඒකට සාක්ෂි දරනවා. ඒ වගේම බාධක රැසක් මැද ධර්මය ප්‍රචාරය කරපු ජුසේවාස් මුණිඳුන් මහනුවර මහා නියඟයෙන් මුදවා වැසි වැස්සවීමත් සමඟ  ජනතාව ජුසේවාස් මුණිතුමන්ව දේවස්ථානය කරා රැගෙන ඒමට හේවිසි වයමින් පැරහැරක් පැවැත්වූ නිසා අදටත් වහකෝට්ටෙ ගමේ මංගල්ලයේදී හේවිසි වයමින් අතීත සිදුවීම සිහිපත් කරනු ලබනව. මෙහි ශු. අන්තෝනි මුණිතුමන්ගේ උපන් මංගල්ලය අගෝස්තු මාසයේත්, වාර්ෂික මංගල්ලය ජූනි මාසයේදීත් පවත්වනු ලබනවා. 

 

5. මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථානය – මාතර

දකුණුපුර ජනතාවගේ මහත් ගෞරව ආදරයට පාත්‍ර වුණ මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයත් කතෝලිකයන් ගොඩ දෙනෙක් යන පල්ලියක්. බොහොමයක් බෞද්ධ ජනතාව විසුවත් ඒ ප්‍රදේශයේ සෑහෙන පිරිසක් මේ දේවස්ථානයට එන්න අමතක කරන්නෙ නෑ. මුහුදු සීමාවටම කිට්ටුව තියන මේ පල්ලියට සුනාමියෙන් බරපතල හානි සිදුවුණත් නැවත ප්‍රතිසංස්කරණ මඟින් ලස්සනට හදලා තියනවා. ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක යන්න පුළුවන් මේ පල්ලියේ වාර්ෂික මංගල්ලය  සැප්තැම්බර් 6ට යෙදී තිබෙනවා. 

 

 

6. තේවත්ත බැසිලිකා සිද්ධස්ථානය – රාගම

විදේශීය ආක්‍රමණයකින් ලංකාව බේරා ගැනීමට එවකට කාදිනල් සිරි කුරේ හිමිපාණන් වුණු භාරයකට අනුව ඉදිවුණු මේ තේවත්ත බැසිලිකා පුදබිම රබර් වතුයායක් මැද්දෙ පිහිටලා තියෙන්නෙ. මේ සිද්ධස්ථානයට කතෝලික, බෞද්ධ ඕනම කෙනෙක් යන්න ආසයි. මෙහි  ලොකු පල්ලියට කලින් හදලා තියන කුඩා පල්ලිය ලඟ ආශිර්වාදිත ජලය පිරුණු ළිඳක් තියනවා. භාර ඔප්පු කරන්න, ලෙඩ රෝග වලට සුවය ඉල්ලමින් මේ ළිඳෙන් ස්නානය කරන්න ගොඩක් දෙනා අමතක කරන්නෙ නෑ. ඒ වගේම මේ සිද්ධස්ථානයේ තියන කෞතුකාගාරය   කතෝලික ඉතිහාසය ගැන මනාව පිළිබිඹු කරනවා. ඒ වගේම සත්ප්‍රසාද ගෘහය, අලුතෙන් හදපු ලූර්දු ගුහාව බලන්න ගියාම එන්න හිතෙන්නෙ නැති තරමට ලස්සනයි. මෙහි ලෙඩුන් ආසිරිගැන්වීමේ මංගල්ලය අගෝස්තු අවසන් සතියෙ පැවැත්වෙනවා. ලංකාවේ හැමපැත්තෙන්ම වගේ, විශේෂයෙන්ම මීගමුව ජනතාව කූඩාරම් ගහගෙන සති ගණන් ඉන්න බලාගෙන යන සිද්ධස්ථානයක් තමයි මේ. 

 

7. ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය – කොච්චිකඩේ

ලංකාවේ ප්‍රසිද්ධම සිද්ධස්ථානයක් තමයි මේ. මෑතකදි දරුණු ඛේදවාචකයකට පාත්‍ර උන මේ පල්ලිය ආගම් බේදයකින් තොරව හැමෝම යන තැනක්. කොළඹ කොච්චිකඩේ පිහිටලා තියන මේ පල්ලිය ලඟදි ප්‍රතිසංස්කරණ කරලා දැන් ගොඩක් ලස්සනට තියනවා. ශු.අන්තෝනි මුණිතුමන්ට කැප කරලා තියන මෙය හාස්කම් බහුල ස්ථානයක් විදියට පැවසෙනව.

ගොඩක් අය අඟහරුවාදා නුවාන දවසට තමයි යන්න පුරුදු වෙලා ඉන්නෙ. ශු.අන්තෝනි මුණිතුමන්ගෙ මැදිහත්කම ඉල්ලා මෙහි ඇති රන්වන් ප්‍රතිමාව අභියස යාඥා කරන්න කවුරුත් අමතක කරන්නෙ නෑ. ඒ වගේම ආගමික භාණ්ඩ රැසක් ගොඩක් අඩුවට මේ පල්ලිය අවට තියන කඩවල් වලින් ගන්නත් පුළුවන්.

මෙහි මංගල්ලය හැම අවුරුද්දෙම ජූනි 13 සමරනු ලබනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *