වැස්ස කියන්නෙත් වෙලාවකට පුදුමාකාර කරදරයක්. විශේෂයෙන්ම මේ දවස්වල වහින අමුතු වැස්ස. හිටපු ගමන් කරවෙන්න පායල ඊළඟට එකපාරටම වහිනව. කිසිම වැඩක් කලින් ප්ලෑන් කරලනම් කරන්න බැහැ. අව්වට වැස්සට දෙකටම කලින්ම ලෑස්තිවෙලා ඉන්න ඕන.
ඔන්න මේ කරදරේ වැඩිපුරම දැනෙන්නෙ පුංචි ළමයි ඉන්න ගෙවල් වල අම්මලාට. මොකද අපිට වැස්සේ, කම්මැලිකමට පොතක් කියවගෙන, කෝපි කෝප්පයක් බීගෙන ඉන්න පුළුවන් උනාට මේ පොඩි ළමයින්ව එක තැනක තියාගන්නව කියන්නෙ මේ ලෝකෙ අමාරුම වැඩ වලින් එකක්. එයාලට ඕන ඉතින් කොයි වෙලාවෙත් සෙල්ලම් කරන්නනේ. වැස්ස නිසා එළියට බහින්න බැරි එක පුංචි ළමයින්ට ලොකූ පාඩුවක්. ඒ පොඩි බට්ටොන්ව ගෙවල් ඇතුළෙ තියාගන්න එක තමයි මේ දවස්වල අම්මලාගෙ ලොකුම යුද්ධෙ. ඉතින් ගේ ඇතුළටම වෙලා කරන්න පුළුවන් මේ සෙල්ලම් ටික බබාලත් එක්ක කරල බලන්නකෝ.
1. අමුතු සෙල්ලම් ගෙවල්
මේක ඉතින් අලුත් දෙයක්නම් නෙමෙයි. පොඩි කාලෙ අපි හැමෝම වගේ කරපු සෙල්ලමක්. හැබැයි දැන් තාක්ෂණයත් එක්ක ලොකුවෙන පොඩි බබාලටනම් ටිකක් අලුත් සෙල්ලමක් වෙයි. ගෙදර තියෙන කොට්ට, පැදුරු, බෙඩ්ෂීට් එහම පාවිච්චි කරලා කාමරේ ඇතුළෙම පොඩි සෙල්ලම් ගෙයක් හදන්න. ඒ ගෙ ඇතුළට වෙලා අම්මටයි, බබාලටයි සෙල්ලම් කරන්න, කන්න බොන්න, නිදාගන්න ඕන දෙයක් කරන්න පුළුවන්. පොඩ්ඩොන්ව රවට්ටලා එක තැනක තියාගන්න නියම වැඩක් මේක. අම්මලාවත් ටිකකට ළමාකාලෙ මතකයන් ගොඩට එක්කගෙන යන්න පුළුවන් වැඩක්.
2. නිධානයක් හෙවීම
මේකත් පොඩි රැවටිල්ලක් තමයි. අම්ම ටිකක් කලින් ඉඳලා ප්ලෑන් කරල කරන්න ඕන වැඩක්. ගෙදර ඇතුළේ තැන් තැන්වල පොඩි පොඩි දේවල් ටිකක් හංගන්න. බබාලගේම සෙල්ලම් බඩු, එහෙම නැත්තම් පොඩි ටොපි චොකලට් උනත් කමක් නැහැ. ඊළඟට තියෙන්නෙ බබාලට ඒවා හොයන්න කියන එක. නිධානයක් ගැන ලොකු කතන්දරයක් කියල දීල ඒවා හොයන්න උනන්දු කරවන්න. ත්‍රාසයජනක වීරක්‍රියාවක් කරන්න යනව වගේ ලොකු වැඩක් කියල දැනෙන්න දෙන්න. අම්මට පුළුවන් තියෙන තැන් ගැන පොඩි පොඩි ඉඟි දෙන්න වරින් වර. කාලය ගෙවාගන්න පුළුවන් විදිහේ වැඩක් නිසා අම්මලටත් ලේසියි. බබාලත් ආසයි.
3. ගෙදරදීම Bowling
Bowling කියන්නෙ කවුරුත් දන්න ගේම් එකක්නෙ. ඔන්න මේ bowling game එක ගෙදරදීම කරන්න විදිහක් හදාගන්න පුළුවන්. ඒ කොහොමද කියල පුදුම වෙන්න දෙයක් නැහැ. ගෙදර තියෙන හිස් වතුර බෝතල් ටිකක් ගන්න. ඒවට වතුර පුරවලා එක තැනක තියන්න. විරුද්ධ පැත්තේ ඉඳන් බෝලයක් පෙරලල එවල බෝතල් ටික පෙරලන්නයි තියෙන්නෙ. ඕනමනම් ලස්සනට ට්‍රැක්ස් කිහිපයකුත් ඇඳගන්න පුළුවන් බිම දිගේ ටේප් වලින් වගේ. ගෙදර පොඩ්ඩො කීපදෙනෙක් ඉන්නවනම් සෑහෙන්න විනෝදය ගේන වැඩක් වෙයි මේක. අම්මලා, තාත්තලාටත් බබාලත් එක්කම සෙල්ලම් කරන්න පුළුවන්.
4. Baking Day එකක්
විශේෂයෙන්ම පොඩි ගැහැණු ළමයි ඉන්න ගෙවල් වලට හොඳම හොඳ සෙල්ලමක් මේක. සෙල්ලමක් කිව්වට සෙල්ලමක්මනම් නෙමෙයි ඉතින්. අම්මගෙ පූර්ණ අවධානය ඇතුව පරිස්සමට කරන්න ඕන වැඩක්. පොඩිවට බේකින්ග් ඩේ එකක්. අම්මගෙ උදව්වෙන් පොඩි කුකීස් වගේ දෙයක් බේක් කරන්න බබාලව හුරු කරවන්න, එයාලට කියල ඔක්කොම වැඩ ටික කරවලා කුකීස් ටික හදවන්න පුළුවන්. හදලා පොඩි tea party එකක් වගේ කට්ටියම එකතුවෙලා රසවිඳින්නත් පුළුවන්. වෙනස් වැඩක් නිසා පොඩ්ඩො අනිවාර්යයෙන්ම ආසවෙයි.
5. පුංචි party එකක්
මේකත් බබාලා කීපදෙනෙක් ඉන්න ගෙදරකට තමයි වැඩියම සුදුසු. කට්ටිය එකතු වෙලා පොඩි පොඩි ස්නැක්ස් ටිකක් එහෙම ළං කරගෙන පොඩියට පාටියක් දාන්න. හොඳම වැඩේ පාර්ටි එකේ කන බොන එක නම් නෙමෙයි. ඊළඟට කරන්න යන එක.
ඔන්න අර ලෑස්ති කරගත්ත ස්නැක්ස් ටික එහෙම කාල ඉවරවෙලා සින්දුවක් දාගෙන කට්ටියම එකතුවෙලා ගේ දෙකක් වෙන්න නටන්නයි තියෙන්නෙ. අම්මයි, බබාලයි ඔක්කොම. කිසිම තහනමක් නැතුව කැමති කැමති විදිහට නටන්න. එක එක්කෙනා කැමති සින්දු අහලා ඒ ඔක්කොම play කර කර නටන්න. නටලා නටලා මහන්සි වෙලා ඒගොල්ලොම අම්මෝ දැන්නම් ඇති කියනකන්ම කරන්න පුළුවන් සෙල්ලමක් මේක. දෙගොල්ලන්ටම විනෝදයකුත්, ඇඟට හොඳ ව්‍යායාමයකුත් ලැබෙනවනේ.
6. Make-up එකක්
මේකත් දුවල ඉන්න ගෙදරකට තමයි හොඳටම ගැලපෙන්නෙ. අම්මලයි දුවලයි එකතුවෙලා දෙගොල්ලන්ට ලස්සන මේකප් එකක් දාගන්න පුළුවන්. කොන්ඩෙට හොඳ විලාසිතාවක්, මූණට මේකප් එකක්, නියපොතු වලට හොඳ nail polish එකක්. දෙගොල්ලන්ටම මාරුවෙන් මාරුවට කරගන්නයි තියෙන්නෙ. පොඩි ගැහැණු ළමයි වරු ගාණක් එකතැනක තියාගන්න පුළුවන්, එයාල ආසම වැඩක් තමයි මේක. හැබැයි ඉතින් අම්ම හොඳ අවධානයෙන් ඉන්න ඕන වගේම භාවිතා කරන නිෂ්පාදන පුංචි බබාලට අහිතකර වෙන්න පුළුවන්ද කියන එකත් ටිකක් කලින් හොයල බලන්න ඕන. ඒ වගේම තමයි බබාලට කියල hair styles, make-up දාගත්තට පස්සෙ අම්මගෙ පෙනුම ගැනනම් ඔන්න අපිනම් වගකියන්නෙ නැහැ.
7. අත්කම් නිර්මාණයක්
මේ වැඩේ කරන්නනම් ඉතින් ටිකක් එක තැනක ඉන්න ඉවසීමක් තියෙන වයසක බබාලා වෙන්න ඕන. ඒ වගේම අත්කම් වගේ වැඩ වලට ආස බබාලා වෙන්නත් ඕන. යූ ටියුබ් එකේ බැලුවොත් පොඩ්ඩො එක්ක කරන්න පුළුවන් අත්කම් වැඩ ඕන තරම් තියෙයි. ගෙදරින්ම හොයාගන්න පුළුවන් බඩුමුට්ටු ටිකක් ළං කරගෙන බබාල එක්ක පොඩි අත්කම් නිර්මාණයක් හදන එකත් බබාල එක්ක දවස ගෙවාගන්නයි, බබාලව ගේ ඇතුළෙ තියාගන්නයි හොඳ උපක්‍රමයක්. ඒ වගේම බබාලගෙ මොළේ වර්ධනයටත් හොඳ ක්‍රියාකාරකමක්. ඉස්කෝලෙ අත්වැඩ පාඩමටත් උදව්වක්.
Leave a Reply