ජපන් තාලෙට කෑම වේලක් කන්න, කොළඹ අවට තියෙන ජපන් රෙස්ටුරන්ට් එකකට යමුද?

සාමාන්‍යයෙන් චීන කෑම ගැන ලංකාවේ අපිට හුරුවක් තිබ්බට, ජපන් කෑම කිව්වහම ඒ තරම් වැඩේ අල්ලලා යන්නෙ නැති ගතියක් තියෙනවා. කොහොමත් චීන කෑම කඩ වලට සාපේක්ෂව ජපානෙන් ආපු නියම ජපන් කෑම කඩ ඉස්සර දකින්න නැති තරම් වීමත් ඒකට හේතුවක් වෙන්න ඇති. හැබැයි ඉතින් ජපන් කෑම වලට -විශේෂයෙන්ම සුෂි වලට- ආස කෙනෙක් නම් ආයෙ ජපන් කෑම වලට වහ වැටෙන එක නවත්තන්න බෑ.

 

කොළඹ අවට ඇත්තටම මේ වෙනකොට නියම ජපන් කෑම වේලක් රහ බලන්න පුළුවන් රෙස්ටුරන්ට් තියෙනවා. වැඩේ වෙලා තියෙන්නේ ගොඩක් අය ඒ රෙස්ටුරන්ට් ගැන දන්නෙ නෑ, එහෙම නැතිනම් ඒ රෙස්ටුරන්ට් වල ජපන් කෑම තියෙනවා කියලා දන්නෙ නෑ. අන්න ඒ නිසා අපි හිතුවා කොළඹ අවට ජපන් කෑමවේලක් කන්න තියෙන රෙස්ටුරන්ට් කීපයක ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න.

 

1. Nihonbashi

නිහොන්බාෂි කිව්වහම කොළඹ රෙස්ටුරන්ට් ගැන දන්න අය නම් නොදැන ඉන්න විදියක් නෑ. හැබැයි ඉතින් ඒ හැමෝම නිහොන්බාෂි ගිහින් තියෙනවද කියන එක සැකයි. ඒකට එක හේතුවක් මේ අයගේ මිල ගණන්. ඇත්තටම කොළඹ ජපන් කෑම අවන්හල් නොතිබුණු කාලෙකත් සුෂි කන්න යන්න ඕන තැනක් විදියට ගොඩක් අය දැනගෙන හිටියේ නිහොන්බාෂි එක. ඇත්තටම නිහොන්බාෂි කියන්නේ ජපන් පාලම කියන එක. ඒ නම හොඳටම ගැලපෙනවා මේ ගෝල්ෆේස් හොටෙල් එකේ ටෙරස් එකේ පිහිටලා තියෙන ජපන් රෙස්ටුරන්ට් එකට.

 

නිහොන්බාෂී එකේ බොහොම හොඳ විවිධත්වයක් සහ තෝරගන්න හොඳ රේන්ජ් එකක් එක්ක සුෂි ඇතුළු ජපාන ආහාර පාන වර්ග තියෙනවා. ප්‍රයිවට් ඩයිනින් පවා තියෙන නිහොන්බාෂි එක හදලා තියෙන්නෙත් ජපානේ රෙස්ටුරන්ට් එකක් සිහිපත් වෙන විදියට.

 

2. Yumi

යුමි කියන්නේ ටාජ් සමුද්‍රා හොටෙල් එකේ තියෙන ජැපනීස් රෙස්ටුරන්ට් එක. සාමාන්‍යයෙන් සුෂි රෙස්ටුරන්ට් එකක් විදියට ප්‍රසිද්ධ නොවුණත්, යුමි එකේත් බොහොම හොඳ ජපාන කෑම, විශේෂයෙන්ම සුෂි ලබාගන්න පුළුවන්. ටිකක් ගණන් වැඩියි කියලා හිතෙන්න පුළුවන් වුනත්, ඇත්තටම කොළඹ තියෙන අනෙක් නියම සුෂි බාර් එකක ගණන් මීටත් වඩා වැඩි නිසා හිත හදාගන්න පුළුවන්. අනික, රහ බැලුවහමත් ගෙවන ගාණට පාඩු නෑ. මේ කට්ටිය ගාව සාම්ප්‍රදායික සුෂි වගේම, පොඩ්ඩක් එහෙ මෙහේ කරලා හදපු මේ අයටම විශේෂ සුෂිත් තියෙනවා. අපි විශේෂයෙන්ම කැමති වුණේ, මේ අය ගාව තිබුණු කකි ෆ්‍රයි කියලා හැඳින්වුණු බ්‍රෙඩ් ක්‍රම්බ් ෆ්‍රයිඩ් ඔයිස්ටර් ඩිෂ් එකට. 

 

3. Ichiban

සාමාන්‍යයෙන් වෙන රෙස්ටුරන්ට් වලට නැති විශේෂත්වයක් තියෙනවා ජැපනීස් රෙස්ටුරන්ට් වලට. ඒ තමයි, හැමවෙලේම වගේ නමෙන් අඳුනගන්න පුළුවන් වීම. කෙලින්ම ජැපනීස් නම් තමයි තියෙන්නේ. ඉචිබාන් කියනකොටත් කෙනෙක්ට දැනෙනවා මේ ජැපනීස් රෙස්ටුරන්ට් එකක් ගැන තමයි කියන්නේ කියලා. ඉචිබාන් එක හැබැයි ලස්සනට ජපන් විදියට හදලා තියෙන රෙස්ටුරන්ට් එකකට වඩා, ෆුඩ් කෝට් එකක තියෙන ස්ටෝල් එකක් විදියට තමයි හඳුන්වන්න පුළුවන්. තියෙන්නේ ක්‍රෙස්කැට් ෆුඩ් කෝට් එකේ. හැබැයි  එහෙම වුනාට මේ අයගේ කෑම නියම ජපන් කෑම තමයි. හැබැයි මිල ගණන් අතින් දරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, ඔයාකා දොන් දොන්බුරි රයිස් බෝල් එකක් ගන්න පුළුවන් රුපියල් 540 ක් වෙනකොට. හැබැයි අපි මෙතන සුෂී නම් තියෙනවා දැක්කෙ නෑ.

 

4. Yakitori Garden

මේකත් අපි වෙනම රෙස්ටුරන්ට් එකක් විදියට ලිස්ට් එකට ගත්තට, ඇත්තටම මේකත් නිහොන්බාෂි එකේ හිමිකාරීත්වය යටතේ, ගෝල්ෆේස් හොටෙල් ටෙරස් එකේ නිහොන්බාෂි පරිශ්‍රයේම තමයි තියෙන්නේ. හැබැයි මේක වෙනම රෙස්ටුරන්ට් එකක් විදියට කතා කරන්නම ඕන තැනක්. හේතුව, ලංකාවේ තියෙන නියම ජපන් ෆයින් ඩයිනින් රෙස්ටුරන්ට් එකක් පෙන්නන්න කිවුවොත් අපිට යකිටොරි ගාර්ඩන් එක පෙන්නන්න පුළුවන් නිසා. මේක නිහොන්බාෂි එකේ එළියේ තමයි හදලා තියෙන්නේ. විශේෂයෙන්ම උණ බම්බු වලින් අලංකරණය කරලා තියෙන මෙතන ෆයින් ඩයිනින් රෙස්ටුරන්ට් එකක් කියලා කිව්වට, ඇත්තටම ජපාන ස්ට්‍රීට් ෆුඩ්ස් තමයි දෙන්නේ කියලා අපි ඒ අයගෙන් ඇහුවහම දැනගන්න ලැබුණා. කොහොමත් ගල් අඟුරු ග්‍රිල් එකක් එහෙම තියලා තියෙන්නේ ඒකටම තමයි. යකිටොරි කියන්නෙත් ඒ ග්‍රිල් එකේ පළහන ආහාර වලටලු. විශේෂයෙන්ම ගල් අඟුරු ග්‍රිල් එකේ පළහපු චිකන් කෙබාබ් වලට යකිටොරි කියනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ.

 

5. AOBA

මේ නම කියන්නේ කොහොමද කියලා හිත හිතා හිටපු අපි හරියන්න හෝ වරදින්න අඕබා කියනවා කියලා හිතාගත්තා. ඇත්තටම අඕබා කියලා ජපානේ නේවි එකේ කෘස් නෞකාවක් තියෙනවලු. කොහොම හරි One Galle Face මෝල් එකේ මෑතකදී ඇරපු අඕබා කියන්නේ හොඳ ජපන් අවන්හලක් කියලා හැමෝම කියනවා. විශේෂයෙන්ම මෝල් එකක් ඇතුළේ පිහිටලා තිබුණත්, හොඳට ඉඩ කඩ ඇතුව තියෙන නිසා කට්ටියකට වුනත් ගිහින් කෑම බීම ගන්න පුළුවන්. මේ අයගේ රෙස්ටුරන්ට් එක එක්කම බාර් එකත් තියෙන නිසා, ඕන නම් කොක්ටේල් සහ වෙනත් ලිකර් වර්ග එහෙමත් ගන්න පුළුවන්. මෙතන සුෂි ඇතුළු වෙනත් ජපන් ආහාර පාන බොහෝම ප්‍රමාණයක් තියෙනවා. මිල ගණන් කොළඹ අනෙක් සුෂි බාර් වල වගේ තමයි. මේ කට්ටියගේ වර්ල්ඩ් වොල්කැනෝ සුෂි කියලා නම් කරලා තිබුණු සුෂි ඩිෂ් එක රහ බලපු අපිට නම් වැඩේ අල්ලලා ගියා. හැබැයි අපි දන්නෙ නෑ මේ සුෂි එක මේ අයගෙම නිර්මාණයක්ද නැතිනම් සාම්ප්‍රදායික සුෂි ඩිෂ් එකක්ද කියලා. කොහොම වුනත් රහයි. අපිට ඕනත් එච්චරයි.

 

6. EDO Japanese Restaurant

වන් ගෝල්ෆේස් එකේ ජපන් රෙස්ටුරන්ට් එක ගැන කියනවා නම්, ක​ළම්බු සිටි සෙන්ටර් එකේ ජැපනීස් රෙස්ටුරන්ට් එක ගැනත් කියන්නම ඕනැනේ. ඇත්තටම මේකත් අලුතින් ඇඩ් වුණු ජපන් කෑමවේලක් ගන්න තියෙන තැනක්. දැන් ඌබර් ඊට්ස් එකෙත් මේ අයගේ කෑම තියෙනවා කියලත්, පාටි ප්ලැටර්ස් ගන්න පුළුවන් කියලත් මේ අය විශේෂයෙන්ම මතක් කළා. එදෝ රෙස්ටුරන්ට් එකේ අපිට අල්ලලා ගියපු අයිටම් එක තමායි සුෂි පීසා එක, ඇත්තටම ප්‍රමාණයෙන් පොඩි පහේ වුණාට හිතට අල්ලනවා. අනික් එක තමයි මේ අයගේ සුෂි ගත්තත් අනික් ජැපනීස් රෙස්ටුරන්ට් වලට සාපේක්ෂව මිලෙන් අඩුයි කියලයි අපිට හිතුණේ. උදාහරණයක් විදියට ගත්තොත් කෑලි අටක ක්‍රැබ් ස්ටික් ඇන්ඩ් ඇවකාඩෝ මාකී ප්ලේට් එකම රුපියල් දාහයි. රහත් අවුලක් නෑ.

 

7. Akihabara

අකිහබාරා කියන්නේ ජපානේ තෝකියෝ වල තියෙන ෂොපින් හබ් එකක් කියන්න පුළුවන් පළාතක්ලු. හැබැයි අපිට අකිහබාරා කියන්නේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ පිහිටලා තියෙන ජපාන රෙස්ටුරන්ට් එකකට. මෙතන ලොකු සීන් එකක් නෑ. හැබැයි සුෂි ඇතුළු සෑහෙන ජපන් ආහාර පාන වර්ග ටිකක් මේ අයගේ මෙනු එකේ තියෙනවා දැක ගන්න පුළුවන්. මිල ගණන් යන්නේ වෙනත් ඉහළ මට්ටමේ ජැපනීස් රෙස්ටුරන්ට් වලට සමාන විදියට. උදාහරණයක් විදියට ගත්තොත් අපි ගත්තු බෙන්ටො බොක්ස් එක රුපියල් දෙදාහකට කිට්ටු වුණා. හැබැයි කෑම වල නියම ජපන් රසය තියෙනවා කියලා අපිත් එක්ක ගියපු සුෂි එක්ස්පර්ට් මිත්‍රයා එකඟ වුනා. ඒත් මදෑ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *