සාමාන්‍යයෙන් අපි කෙනෙක් සැපවත් ජීවිතයක් ගත කරනවා නම් කියන්නේ එයාට රජ සැප කියලා. ඒකෙන් අදහස් කරන්නේ රජ කෙනෙක් ලබන සැප පහසුකම් ඒ පුද්ගලයාට ලැබෙනවා කියන එක. අපිට නොදැනිම අපිත් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ සැප සම්පත්. හැබැයි මේ වෙද්දි විවිධ හේතූන් නිසා රජ සැප එපා කියලා රජකම අත්හැරපු අයත් ඉන්නවා. අද Lifie අපේ මේ සටහන මේ ආකාරයෙන් රජ සැප අත්හැරලා දාපු රාජකීයයෝ කීප දෙනෙක් පිළිබඳව.
1. අකිහිතෝ අධිරාජයා
අකිහිතෝ අධිරාජ්‍යයා තම රජකම අත්හැරීමට තීරණය කළේ මහළු වියත් සමග ඇති වූ සෞඛ්‍ය ගැටළු නිසායි. නමුත් එම තීරණය ජපානය තුළ යම් තාක් දුරකට ආන්දෝලනයක් ඇති කළේ එවැන්නක් සඳහා ජපාන ව්‍යවස්ථාවේ පවා ප්‍රතිපාදන නොමැති වීම නිසායි. මේ නිසා ජපාන පාර්ලිමේන්තුවට නව නීති හඳුන්වා දීමට සිදුවුණා. ඒ අනුව වසර තුනක පමණ දීර්ඝ ක්‍රියාවලියකින් පසුව 2019 වසරේ දී අකිහිතෝ අධිරාජ්‍යයා සිය කිරුළ තම වැඩිමහල් පුතු වන නරුහිතෝ වෙත භාර දුන්නා.
2. බියට්‍රික්ස් රැජන
වසර 33ක කාලයක් නෙදර්ලන්තය පාලනය කරපු ජනප්‍රියතම රැජිනක් වන බියට්‍රික්ස් රැජන 2013 වසරේදී රජකම අත්හැර දැමීමට තීරණය කළා. ඒ තමන්ගේ පුත්‍රයා වූ විලියම් ඇලෙක්සැන්ඩර් හට කිරුළ භාර කරමින්. ඇයට ඒ සඳහා ඇයගේ මව සහ සහ මිත්තණිය ලබාදුන් පූර්වාදර්ශය තිබුණා. වර්තමානයේදී ඇය හිටපු රැජින යන ගෞරව නාමයවත් භාවිතා කරන්නේ නැහැ. ඇයව සාමාන්‍ය ව්‍යවහාරයේදී කුමරියක් ලෙස හඳුන්වනවා.
3. ජුවාන් කාලෝස් රජු
සිය උපන් බිමෙන් පිටුවහල් කරන ලද ස්පාඤ්ඤ රජ පවුලේ ඔටුන්න හිමි කුමාරයා ලෙස උපත ලැබූ ජූවාන් කාලෝස්, තමන්ට රජකම හිමිවනු ඇතැයි කිසිදා බලාපොරොත්තු වූයේ නැහැ. නමුත් ස්පාඤ්ඤයේ දේශපාලන සිතියම තුළ ඇති වූ වෙනස්කම් උඩ නැවතත් ස්පාඤ්ඤයේ රජකම ජුවාන් කාලෝස් වෙත හිමි වුණා. නමුත් තම රජු විවිධාකාරයේ අක්‍රමිකතාවලට සම්බන්ධ වන දූෂිත පුද්ගලයකු බවට ඇතැම් ස්පාඤ්ඤ මාධ්‍ය දිගින් දිගටම හෙලිදරව් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස සිය සෞඛ්‍ය තත්ත්වය හේතුවක් ලෙස දක්වමින් 2014 වසරේදී ජුවාන් කාලොස් රජු ස්පාඤ්ඤ කිරුළ ඔටුන්න හිමි කුමරා වන පිලිප් වෙත පවරනු ලැබුවා. වර්තමානය වන විට හිටපු රජුට එල්ල වී ඇති චෝදනා බරපතළ වීම නිසා සිය කැමැත්තෙන්ම ඔහු ස්පාඤ්ඤයෙන් ඉවත් වී තිබෙනවා.
4. දෙවෙනි ඇල්බට්
2013 වසරේ දී හැත්තෑ නමවන වියැති බෙල්ජියමේ දෙවැනි ඇල්බට් රජු තම කැබිනට් මණ්ඩලය වෙත රජ කිරුළ අත් හැරීම සඳහා තමන් ගෙන ඇති තීරණය පිළිබඳව දැනුම් දෙනු ලැබුවා. අනතුරුව බෙල්ජියමේ ජාතික දිනය දා සිය කතාව මගින් ඒ පිළිබඳව තම ජනතාවට වැඩි දුරටත් පැහැදිළි කිරීමට ඔහු කටයුතු කළා. ඔහු ඊට හේතුව ලෙස පැවසුවේ තමන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයයි. වර්තමානයේ දී බෙල්ජියමේ රජ කිරුළ දෙවැනි ඇල්බට් රජුගේ වැඩිමහල් පුත්‍රයා වන පිලිප් විසින් දරණු ලබනවා.
5. ජිග්මේ සිංග්යේ වංග්චුක්
ලෝකයේ වැඩියෙන්ම සතුටින් ජීවත්වන ජනතාවක් සිටින රටක් ලෙස භූතානය ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලනවා. එසේම වර්තමාන භූතාන රජතුමා වන ජොග්මේ කේසාර් නම්ගයාල් වංග්චුක්ගේ බුද්ධිමත් බව සහ දූරදර්ශී නායකත්වය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය පවා කතාබහ කරනවා. නමුත් සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් භූතානයටම ආවේණික ක්‍රමයකට දියුණුව කරා යන ගමන ආරම්භ කරන ලද්දේ ඔහුගේ පියා වූ ජිග්මේ සිංග්යේ වංග්චුක් විසින් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. 2006 වසරේදී තම වැඩිමහල් පුතා වෙත භූතාන කිරුළ ලබා දීමට එතුමා කටයුතු කළා.
6. නරදොම් සිහනුක්
කාම්බෝජයේ ප්‍රංශ පාලනය පැවති අවධියේම එරට රජු බවට පත් වූ සිහනුක් පළමුව රජකම අත්හැරීමට තීරණය කළේ දේශපාලන හේතුවක් නිසා රජකම අහිමි වූ සිය පියාට කිරුළ ලබාදීමටයි. ඉන් අනතුරුව ඇති වූ දේශපාලන අස්ථාවරත්වය සහ සිවිල් යුද්ධය නිසා නරදොම් සිහනුක්ට රට අත්හැර යෑමට සිදුවුණා. පාර්ලිමේන්තු මහ මැතිවරණයක් හරහා රටේ බලය යළිත් ලබාගත් ඔහු 1993 දී නැවතත් කාම්බෝජයේ රජු බවට පත් වුණා. 2004 වසරේදී සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා නැවතත් සිහනුක් රජු විසින් කිරුළ අත්හැරියේ තම අනුප්‍රාප්තිකයා ලෙස නරදොම් සිහමොනි කුමරුව පත් කරමිනුයි.
7. මහා ආදිපාද ජීන්
හිටපු ප්‍රංශ ජනාධිපතිවරයෙකු වන ජෝජිස් පොම්පීඩු පැවසුවේ යුරෝපා සංගමයට ජනාධිපතිවරයෙකු අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ ලක්සම්බර්ග්හි මහා ආදිපාදවරයා බවයි. සුළු පරිමාණ කරමාන්ත ශාලා පමණක් පැවති ලක්සම්බර්ගය සිය පාලන කාලය තුළ ලොව අන්තර්ජාතික මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ඔහු සමත් වුණා. සිය බිරිඳගේ මරණයෙන් පසුව යම්තාක් දුරකට හුදෙකලා ජීවිතයක් ගත කළ මහාදිපාද ජීන්, 2000 වසරේදී එම ධුරය සිය වැඩිමහල් පුත්‍රයා වන හෙන්රි වෙත පවරනු ලැබුවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply