බඩ ඉරිඟු වලින් හදන රසවත් කෑම 7ක්

 බඩ ඉරිඟු වලින් හදන රසම රස කෑම ටිකක් තමා අරන් ආවෙ. පරිප්පු වලට බඩ ඉරිඟු ආදේශ කිරීම කොහොම උනත් බඩ ඉරිඟු කියන්නෙම රස කෑම හදාගන්න පුළුවන් දෙයක්. රස වගේම පෝෂණයෙනුත් බඩ ඉරිඟු ඉතා ඉහළයි. තම්බලම කන බඩ ඉරිඟු වෙනස් වෙනස් රසට හදන රෙසිපි ටිකක් මේ.  

 

1. ක්‍රිස්පි කෝන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අමු ඉරිඟු ඇට කෝප්ප  2
  2. කෝන්ෆ්ලා මේස හැඳි 4
  3. ලුණු
  4. චාට් මසාලා මේස හැඳි 1/2
  5. මිරිස්කුඩු මේස හැඳි 1/2
  6. චොප්කරගත් ළූණු කොළ කෝප්ප 1/4
  7. දෙහි ගෙඩියක යුෂ
  8. තෙල්

 

  • භාජනයකට වතුර හා ලුණු දාලා ලිපේ තියන්න. මේක රත්වෙනකොට ටිකකින් ඉරිඟු ටික දාලා හොඳට තම්බගන්න. විනාඩි 20කින් විතර තැම්බිලාද බලලා වතුර ටික පෙරාගන්න.  
  • තම්බගත්ත ඉරිඟු වලට කෝන්ෆ්ලා එකතු කරන්න. රස අනුව ලුණු එකතු කරගන්න. ඉරිඟු ටික කෝට් වෙන විදියට හොඳට කළවම් කරගන්න. 
  • භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉරිඟු ටික දාලා බැදගන්න. රන්වන්පාට වෙනකල් බැදුනම ලිපෙන් බාගන්න. තෙල් බේරෙන්න තියලා දෙහි ඉස්ම ටිකක් දාගන්න. 
  • වෙනම බෝල් එකකට මිරිස්කුඩු, චාට් මසාලා, ලුණු දාලා කලවම් කරගන්න. දැන් මේක බැදගත් ඉරිඟු වලට දාලා කලවම් කරගන්න. මේකට චොප්කරගත් ළූණු කොළ ටිකත් දාලා කලවම් කරගන්න. විශේෂ බත් එකක් එක්ක කන්න රසවත් ක්‍රිස්පි බැදුමක්.

 

2. ඉරිඟු සලාද

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් ඉරිඟු ඇට කෝප්ප 1
  2. යන්තම් තම්බාගත් කැරට් කෝප්ප 1
  3. කොටුවට කපාගත් පිපිඤ්ඤා කෝප්ප 1
  4. කොටුවට කපාගත් තක්කාලි කෝප්ප 1
  5. කපාගත් බෙල්පෙපර් කෝප්ප 1
  6. චොප්කරගත් ළූණු ගෙඩි 1
  7. ලුණු ස්වල්පයක්
  8. ගම්මිරිස්කුඩු
  9. ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප 1/4
  10. ඔලිව්තෙල්
  11. චොප්කරගත් පාස්ලි ස්වල්පයක්

 

  • බෝල් එකක් අරගෙන ඉරිඟු ටික දාගන්න. ඒකට බෙල්පෙපර්, ළූණු, තක්කාලි, පිපිඤ්ඤා, කැරට් සහ රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. විනාකිරි ටිකත් එකතු කරන්න. මේ ඔක්කොම හොඳට කලවම් කරගන්න.
  • ඔලිව්තෙල් මේස හැඳි 2ක් වගේ දාලා කලවම් කරගන්න. උඩින් චොප්කරගත් පාස්ලි ටිකක් දාගන්න. 

 

3. ඉරිඟු කරිය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අමු ඉරිඟු ඇට කෝප්ප 1
  2. වියළි මිරිස් කරල් 2
  3. කපාගත් සුදුළූණු බික් 3-4
  4. පොල්කිරි කෝප්ප 1
  5. මිරිස්කුඩු තේ හැඳි 2
  6. කහ කුඩු තේ හැඳි 1/2
  7. කපාගත් අමුමිරිස් කරල් 2
  8. තුනපහ කුඩු තේ හැඳි 1/2
  9. චොප්කරගත් රතුළූණු ගෙඩි 4
  10. රම්පේ හා කරපිංචා

 

  • බඩ ඉරිඟු ටික හොඳට තම්බගන්න. වළඳකට ඉරිඟු ටික දාලා මිරිස්කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, අමුමිරිස්, රතුළූණු වලින් ටිකක් හා පොල්කිරි දාලා ලිපේ තියන්න. ලුණු ටිකක් දාගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා ඒකට චොප්කරගත් සුදුළූණු, වියළි මිරිස්, රතුළූණු, රම්පේ හා කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න. බඩ ඉරිඟු කරියේ කිරි ටික උතුරනකොට මේ තෙම්පරාදුව දාලා කලවම් කරගන්න. 

 

4. ඉරිඟු අග්ගලා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වියළි බඩ ඉරිඟු ඇට කෝප්ප 1
  2. හකුරු පළුවකින් භාගයක්
  3. පොල් කෝප්ප 1/2
  4. ලුණු
  5. පැණි කෝප්ප 1/4
  • බඩ ඉරිඟු ටික කබලෙ බැදගෙන ග්‍රයින්ඩ් කරන්න. නැත්නම් හොඳට කුඩුවෙන්න වංගෙඩියෙ කොටාගන්න. 
  • මේකට පොල් හා හකුරු කෑලි කඩලා දාලා ලුණු ටිකක් එක්ක වංගෙඩියෙ කොටාගන්න. ටිකකින් පැණි ටිකත් දාලා කොටාගන්න. හොඳට තෙත ගතියට එනකොට ගුලි හදාගන්න. 

 

5. ඉරිඟු ඔම්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලපටි අමු බඩ ඉරිඟු කරලක්
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. කෑලිමිරිස් තේ හැඳි 1
  4. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  5. චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
  6. ලුණු හා ගම්මිරිස්කුඩු
  7. චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි 1/4
  8. තෙල් ස්වල්පයක්

 

  • බඩ ඉරිඟු කරලෙන් ඇට ටික ගලවගෙන ක්‍රීම් වෙනකල් හොඳට ග්‍රයින්ඩ් ක‍රගන්න. අවශ්‍ය නම් වතුර චූට්ටක් එකතු කරගන්න. මේකට කෑලිමිරිස්, ළූණු, බෙල්පෙපර් දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු, කරපිංචා හා අමුමිරිස් දාලා හොඳට කළවම් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා තුනී කරලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න. 

නිර්මාංශ අයට සුපිරි ඔම්ලට් එකක්. 

 

6. ඉරිඟු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අමු ඉරිඟු ඇට කෝප්ප 1
  2. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
  3. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  4. චොප්කරගත් ළූණු කොළ ස්වල්පයක්
  5. චොප්කරගත් කැරට් අල 1
  6. චොප්කරගත් බෝංචි ස්වල්පයක්
  7. කෝන්ෆ්ලා තේ හැඳි 3
  8. බටර් ස්වල්පයක්
  • පෑන් එකට බටර් ටිකක් දාලා සුදුළූණු හා ඉඟුරු දාලා තෙම්පරාදු කරගන්න. ඒකට ළූනුකොළ ටික දාගන්න. මේකට ඉරිඟු ඇට කෝප්ප කාලක්, කැරට් හා බෝංචි ටික දාගන්න. බාගෙට වගේ පිසගන්න.
  • ඉතිරි ඉරිඟු ටික වතුර මේස හැඳි 2ක් වගේ දාලා ග්‍රයින්ඩ් කරගන්න. දැන් මේක එළවළු ෆ්‍රයි කරගත් පෑන් එකට දාගන්න. හොඳට කළවම් කරලා වතුර කෝප්ප 2 1/2ක් දාලා උතුරනකල් හැඳිගාන්න. 
  • රස අනුව ලුණු දාගන්න. විනාඩි 15ක් වගේ යනකොට හොඳට උතුරන්න ගනී. එතකොට කෝන්ෆ්ලා වතුර ටිකක දියකරගෙන මේකට එකතු කරන්න. 
  • ටිකක් වෙලා හැඳිගානකොට තික් සුප් එකක් හැදෙනවා. එතකොට ගම්මිරිස්කුඩු ස්වල්පයක් දාලා ලිපෙන් බාගන්න. 

 

7. ඉරිඟු පකෝඩා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අමු ඉරිඟු ඇට කෝප්ප 1
  2. වෙනම කෝන් ඇට ස්වල්පයක්
  3. කපාගත් අමුමිරිස් කරල් 2
  4. ලුණු ස්වල්පයක්
  5. මිරිස්කුඩු තේ හැඳි 1/2
  6. ගරම් මසාලා තේ හැඳි ½
  7. හාල්පිටි කෝප්ප 1/4
  8. චොප්කරගත් මින්චි කොළ ස්වල්පයක්
  9. බැදීමට තෙල්

 

  • ඉරිඟු ඇට වලින් චුට්ටක් අයින් කරල ඉතිරි ටික අමුමිරිස් එක්ක වතුර නොදා ග්‍රයින්ඩ් කරගන්න. 
  • මේකට ලුණු, මිරිස්කුඩු, ගරම් මසාලා, හාල්පිටි, ඉරිඟු ඇට හා මින්චි කොළ එකතු කරන්න. මේ ඔක්කොම කලවම් කරලා හොඳට අනාගන්න. රත්වූ තෙල් තාච්චියකට මේ පකෝඩා මිශ්‍රණයෙන් ටික ටික දාලා රන්වන් පාට වෙනකල් බැදගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *