බොලිවුඩ් තරු අත​ර සිදු නොවුණු විවාහ

කලා නිර්මාණවලදී තිරයේ පෙම්වතුන් බවට පත් වන  බොහෝ දෙනෙක් සැබෑ ජීවිතයේ පෙම්වතුන් බවට පත් වීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්. යම් යුවළකගේ රංගනය අතිශයින්ම ප්‍රේමාන්විත නම් බොහෝ විට ප්‍රේක්ෂකයන් පවා ඔවුන් දෙපළගේ  විවාහය පිළිබඳව බලාපොරොත්තු වෙනවා. හැබැයි සිනමා නිර්මාණවලදී දුෂ්ටයන් පරදවා පෙම්වතායි පෙම්වතියයි විවාහ වුණත් සැබෑ ජීවිතයේදී මෙහෙම වෙන්නේ ගොඩක් අල්ප වශයෙන්. අපි අද කියන්න යන්නේ බොලිවුඩයේ ඒ ආකාරයෙන්ම සාර්ථක නොවුණු පෙම් සබඳතා කිහිපයක් ගැන.

 

1. මධුබාලා සහ දිලිප් කුමාර්

ඉන්දීය සිනමා ඉතිහාසයේ එකිනෙකා වෙනුවෙන්ම බිහිවුණු පෙම්වතුන් යුවළක් ලෙස සැලකුණු දිලිප් කුමාර් සහ මධුබාලා සැබෑ ජීවිතය තුළත් පෙම්වතුන් වුණා. එහෙත් බොහෝ ප්‍රේම කතා වල මෙන් ඔවුන් දෙදෙනාගේ දුෂ්ඨයා වූයේ මධුබාලාගේ පියායි. දිලිප් කුමාර් සමඟ විවාහ වුවහොත් තමන්ගේ පවුලට ලැබෙන ආදායම නැති වනු ඇතැයි යන බිය නිසා දිලිප්ගේ සහ මධුබාලාගේ විවාහයට ඔහු තම දැඩි විරෝධය පළ කළා. මේ නිසා ඔවුන් දෙදෙනාට තම ප්‍රේම කතාව අවසන් කිරීමට සිදුවුණා.

 

2. දේව් ආනන්ද් සහ සුරයියා

රංගනයෙන් සහ ගායනයෙන් මුළු ඉන්දියාවම තමන්ගේ වසඟයට ගන්නට සමත් වුණු සුරයියාගේ හදවත වසඟයට ගත්තේ එවකට තවත් සුප්‍රකට නළුවෙක් වූ දේව් ආනන්දයි. නමුත් මෙම විවාහයට සතුරෙක් වූයේ සුරයියාගේ මිත්තණියයි. එවකට පැතිර ගිය  කතාවලට අනුව දේව් ආනන්ද් විසින් සුරයියාට පළඳවන ලද මුදුව ඇය විසින් උදුරා ගෙන මුහුදට විසි කොට තිබෙනවා. සුරයියා මුස්ලිම් වීමත් දේව් ආනන්ද් හින්දු වීමත් මේ විරෝධයට එකම හේතුවයි. සුරයියා කිසිදිනක විවාහ නොවුණු අතර ජීවිතයේ අවසාන කාලය දක්වාම දේව් ආනන්ද්ගේ මතකය ඇයට වේදනා ගෙන දුන්නා. වෙනත් විවාහයක් කර ගත්තද දේව් ආනන්දත් ඒ හා සමානව විඳෙව්වා.

 

3. ශේකර් කපූර් සහ ෂබානා අස්මි 

සිනමා නිර්මාණ වලදී මුණ ගැහුණු ශේකර් කපූර් සහ ෂබානා මුලින්ම හොඳ යහළුවන් බවට පත්වුණා. මෙම යාළුකම පෙම් සබඳතාවක් බවට පත්වන්නට ගියේ ටික කාලයක්. ඉන් අනතුරුව වසර හතක කාලයක් පුරා මේ පෙම් සබඳතාවය පැවතුණත්, කලා නිර්මාණවල දෙදෙනාම  අධික ලෙස කාර්යබහුල වීම නිසා විවාහය ටිකෙන් ටික කල් දමනු ලැබුවා. අවසානයේදී ඔවුන් දෙදෙනාගේ කැමැත්ත මත පෙම් සබඳතාවට සමුදුන්නා. නමුත් ඔවුන් දෙදෙනා තවමත් හොඳ යහළුවන්.

 

4. නානා පටේකාර් සහ මනීෂා කොයිරාල

‘කාමෝෂී’ චිත්‍රපටයේ මනීෂා කොයිරාලගේ පියාගේ චරිතය නිරූපණය කරන ලද්දේ නානා පටේකාර් විසින්. දෙදෙනා අතර යම්තාක් දුරකට වයස් පරතරයක් තිබුණත් ඔවුන් දෙදෙනා මෙම චිත්‍රපටය තුළ දීම පෙම්වතුන් බවට පත් වුණා. මේ පුවත බොලිවුඩය තුළ ලැව්ගින්නක් ලෙස පැතිරුණා. මුල් අවස්ථාවේදී තම බිරිඳව දික්කසාද කොට මනීෂා සමග විවාහ වීමට නානා පටේකාර් සැලසුම් කර තිබුණත්, පසුව ඔහු විසින් තම විවාහය රැක ගැනීමට ප්‍රමුඛත්වය ලබා දුන්නා.

 

5. දේව් ආනන්ද් සහ සීනත් අමාන්

සිය ස්වයං ලිඛිත චරිතාපදානය තුළ දේව් ආනන්ද් තමන් විසින් සීනත් අමාන් හට පෙම් කළ ආකාරය පිළිබඳව ඉතා අවංකව විස්තර කර තිබෙනවා. ඔහුට අනුව දෙදෙනා අතර දැඩි බැඳීමක් ගොඩනැඟී තිබුණ. නමුත් විවිධ හේතූන් මත දුරස් වීමෙන් අනතුරුව සීනත් අමාන් හිතාමතාම දේව් ආනන්ද්ට රිදවීමට කටයුතු කර තිබුණා. එක්තරා චිත්‍රපටි මංගල දර්ශනයකදී ඇය විසින් දේව් ආනන්ද් හට රිදවීමට රාජ් කපූර්ව සිප ගත් අතර පසුව ‘සත්‍යම් ශිවම් සුන්දරම්’ චිත්‍රපටය සඳහා ගිවිසුම් අත්සන් කළා.

 

6. ගෝවින්දා සහ නීලම්

ඔවුන් දෙදෙනා එකට රඟපෑ පළමු චිත්‍රපටයෙන්ම සෑම අධ්‍යක්ෂවරයෙකුටම අත්‍යවශ්‍ය වූ පෙම්වතුන් යුවළක් බවට ගෝවින්දා සහ නීලම් පත්වුණා. තරුණ වියේ පසු වූ ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේදීත් පෙම්වතුන් බවට පත් වූයේ ඔවුන්ටත් නොදැනීමයි. නමුත් ගෝවින්දාට තම සිතැඟි ඉටුකර ගැනීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. ඔහුගේ මව විවාහය සඳහා ඒ වන විටත් තරුණියක් තෝරා තිබුණා. සිය මවට අකීකරු වීමට අකමැති වූ ගෝවින්දා වේදනාවෙන් වුණත් නීලම්ට සමුදුන්නා.

 

7. සංජය දත් සහ මධුරී ඩික්සිත්

බොලිවුඩය තුළ අතිශයින්  ආන්දෝලනාත්මක නළුවෙකු වූ සංජය දත් තමන්ගේ රංගන ජීවිතයේ උපරිම තලයේ සිටියදී  සිර දඬුවමකට ලක් වුණා. ඒ හරහා ඔහුට බොහෝ දේ අහිමි වුණා. ඒ වන විට  ඔහුගේ තිරයේ පෙම්වතිය වූ මධුරි ඩික්ෂිත් ඔහුගේ හදවත සොරා ගෙන තිබුණා. නමුත් ඇති වී තිබෙන තත්ත්වය මත දෙදෙනා හට වෙන් වීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ඒ වගේම ඔවුන් කිසි දිනක තමන් අතර සබඳතාවක් නොතිබූ බව පුන පුනා පැවසුවත් මාධ්‍ය මෙන්ම සාමාන්‍ය ප්‍රේක්ෂකයාත් එය බොරුවක් බව දැන සිටියා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *