හැමදාම අලුත් ලෝකයක් පෙන්වා මුලාකරන ටෙක්නෝ සෝබන

තාක්ෂණයේ දියුණුව එක්ක විවිධ ආකාරයේ පුරෝකථන කෙරෙනවා. ඒත් ඒ බොහොමයක් දේවල් හුදෙක් පුවත්පත් වාර්තා වෙබ් අඩවි ලිපි ආදියට පමණක් සීමා වෙනවා. ටෙක්නිකල් විශේෂාංග රසවත් කරන්නට ලියන තාක්ෂණික දේ ගැන නොයෙකුත් පුරාජේරු තියෙනවා. ඒත් වසර ගාණකට පස්සේ ඒ කියපු පුරාජේරු බොහොමයක් තියෙන්නේ ඒ තැන්වලම විතරයි. උදාහරණ විදිහට ආතර් සී ක්ලාක් 2001-2010 කියන ප්‍රබන්ධ ලිව්ව අසූව අනූව කාලේදී ඒ වාගේ විශ්වය සැරිසන අභ්‍යාවකාශ තාක්ෂණයක් මිහිමත ඇතිවේවිය කියලා ඒ කාලේ මිනිස්සු විශ්වාස කළා. ඒත් ඇත්ත තත්ත්වය නම් නවසිය හැත්තෑ දෙකේ දෙසැම්බර් වලින් පස්සේ තාමත් හඳට මිනිහෙකු ගිහින් නැහැ. අවුරුදු වශයෙන් ගත්තොත් අවුරුදු 48ක කාලයක් ගිහිනුත් නැවත මිනිස්සු වෙනත් ග්‍රහලෝකයකට තබා හඳටවත් ආයෙත් ගිහින් නැහැ. 

 

1. ඩිසාස්ටර් සහ තාක්ෂණික නොගැළපීම් 

 

 

පරිගණක තාක්ෂණය ආදී නවීන විෂයන් ඉගෙනගන්න කැමති දරුවෙක්ට වුණත් පොඩි කාලේ අපි කියන්නේ ගණිතය තමයි පුතේ විෂය කියලායි. ඒ අනුව ගණිතය කියන විෂයය විවිධ ආකාරයෙන් තාක්ෂණයට යොදා ගැනෙනවා. ගණිතයේදී එක් වරක් සත්‍ය වන දෙයක් නැවත අවුරදු ගාණකට පස්සෙත් ඒ ආකාරයෙන්ම සත්‍ය වෙනවා. ඒත් ඇත්ත ලෝකේ ඊට වෙනස්. ලෝකයේ දත්ත ඉන්ජිනේරුවරුන් මිනිස්සුන්ගේ මිලදීගැනීම්, මිනිස්සුන්ගේ හැසිරීම්, මිනිස්සුන්ගේ රුචි අරුචිකම් ගැන ලොකු දත්ත ගොඩක් තියාගෙන 2019 වෙද්දි අවුරුදු ගාණකට ප්ලෑන් ගහගෙන හිටියා. ඒත් 2020 මුල ආපු කොවිඩ්-19 තත්ත්වය හැම දේම උඩු යටිකුරු කළා. ඒ සිදුවුණු වෙනස ලොව කිසිම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සිස්ටම් එකකටවත් කලින් කියන්න බැරි වුණා. තාක්ෂණය මගින් යම් යම් දත්ත එක්රැස් කිරීම්, පුරෝකථනය කිරීම් මොන විදිහක කළත් ඒ විදිහේ හදිසි කැළඹීමක් ආවම ඇත්තටම තාක්ෂණයේ ඇති භාවිතාවන් සීමා වෙනවා. 

 

2. මානව සම්බන්ධතා 

මිනිස්සු ජීවත්වෙන්නේ ගැජට්ස් ලෝකයක පමණක් නෙමෙයි, මිනිස්සුන්ගේ සතුට කියන්නේ බොහෝ කාරණා කාරණා එකතු වෙන දෙයක්. ඇත්තටම තාක්ෂණික නිමැවුම් පිරුණ වේගවත් ලෝකය කලින්ට වඩා ලස්සනයිද? කියන එක විද්‍යාඥයින් අතර තියෙන ප්‍රශ්නයක්. අපි තාක්ෂණය මගින් රියදුරු රහිතව ධාවනය වන්නට නියමිත අනාගත ටැක්සි සේවාවක් ගනිමු. ඒ ටැක්සි සේවාවක් දැන් යන ටැක්සි සේවාවකට වඩා ලාබත් වෙයි ලේසිත් වෙයි. එත් ඒ ටැක්සි සේවාවේ රියදුරෙක් නැහැ. ඔබ රථයේ නැග්ග පසු ඔබට නින්ද ගියොත් ඔබව අවදි කරන්න ඉන්නේ යන්ත්‍රයක්. ඔබට හදිසියේ ලෙඩක් හැදුනොත් ඔබට වචනයක් කියන්න කෙනෙක් වාහනයේ නැහැ. කොටින්ම මහ රෑක පාළු පාරක යද්දි ගෑණු කෙනෙක්ට නම් ඒ වගේ කවුරුත් නැති රථයක් වඩාත් ආරක්‍ෂාකාරී වෙයිද කියන ගැටළුව එනවා. 

 

3. අනතුරුදායක අවස්ථාවල භාවිතය 

තාක්ෂණික දේවල් බොහොමයක් හැදෙන්නේ යම් යම් තත්ත්වයන් වලදි පාවිච්චි කරන්න පුළුවන් වෙන්න. උදාහරණ විදිහට ගෝ ප්‍රෝ කැමරාව හැම තැනම උස්සන් යන්න පුළුවන් කියලා ඇඩ්වර්ටීස්මන්ට් වල දැම්මාට මුහුදේ කිමිදෙන්න ගෝ ප්‍රෝ කැමරාව පාවිච්චි කරන එක එයාල අනුමත කරන්නේ නැහැ. අපි රොබෝ තාක්ෂණය ගැන, වෙන යම් යානාවන් ගැන, ප්‍රවාහන තාක්ෂණය ගැන කතාකරද්දිත් ඒ හැම දේටම සීමාවන් තියෙනවා. රොබෝ ගැන කතාකරද්දි අනතුරුදායක මිනිස්සුන්ට ළඟා විය නොහැකි අවස්ථාවල රොබෝවරු සේවයට යොදන්න පුළුවන් කියලා කියනවා. ඒත් මෑතක ඇතිවුන එම් ටී නිව් ඩයමන්ඩ් නැවේ ගින්න වගේ අවස්ථාවලට රොබෝ පාවිච්චි කරන්න තාමත් බැහැ. තාක්ෂණික නිමැවුම් හැම එකකටම සීමාවක් තියෙනවා. ඒ සීමාවන් එක්ක අපි හිතන පතන බොහෝ තැන්වලට සීමාවක් රහිතව යන්න තාක්ෂණයට බැහැ. 

 

4. තාක්ෂණයේ කළු පැත්ත 

තාක්ෂණයේ හොඳ පැත්ත වගේම එහි නරක පැතිත් තියෙනවා. මොබයිල් ෆෝන් එක ස්මාට් වීම තුළ අපිට සම්බන්ධතා අලුත් මානයකට ගෙනියන්න පුළුවන් වුණා. ඒත් මේ මොබයිල් ෆෝන් හරහාම කෙරෙන වෙනමම අපරාධ කාණ්ඩයක් දැන් අපිට වාර්තා වෙනවා. ඉතාම ඉක්මනින් වෙනස් කරන්න පුළුවන් මේ අනතර්ජාල සම්බන්ධතා නිසා අපරාධ කරන අයට තාක්ෂණයේ පිහිට ලැබෙනවා. ලිංගික අපරාධ, කාන්තා හිරිහැර ආදිය සයිබර් අවකාශය තුළටත් ඒමත් සමගම තාක්ෂණය  දියුණු වීම තුළ වෙනමම අපරාධ රැල්ලක් හැදිල තියෙනවා. 

 

5. සුලභ තොරතුරු සත්‍යමද?

 

 

අන්තර්ජාලය සහ උපාංග වැඩිවීම තුළ තොරතුරු මහත් වේගයෙන් හුවමාරු වෙන්නට ගත්තා. ඒත් එක්කම ෆේක් නිවුස් ආදියත් වැඩිවුණා. ලංකාවේ එෆ් බී අවකාශය තුළ පවා ෂෙයාර් වෙන දේවල් ඇත්තද? ඒ දේවල් මත අපිට නිගමන ගන්න පුළුවන්ද? කියන අලුත් ප්‍රශ්න බිහිවුණා. පෙර කල මාධ්‍ය සහ ප්‍රවෘත්ති සපයන වෘත්තීයමය සේවාවන් තිබුණත් අද වෙද්දි සයිබර් මාධ්‍යවේදීන් හැම පඳුරකටම බිහිවෙලා තියෙනවා. මේ එක්ක අපිට නිසි නියාමනයක් නැතිව ගලන ව්‍යාජ තොරතුරු ගොන්නකට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙනවා. ටයිටැනික් කියා සොයන අයෙක්ට ටයිටැනික් නැවේ සැබෑ ඛේදවාචකය වගේම එයින් නිර්මාණය වුණු ෆැන්ටසිමය කතාන්දරයක් වන ටයිටැනික් ෆිල්ම් එක ගැනත් තොරතුරු හමු වෙනවා. 

 

6. දත්ත ආරක්ෂාව සම්බන්ධ ගැටළු

 

අපි ලංකාවේ පොලිසියට පැමිණිල්ලක් කරන්නට ගියොත් තාමත් පැරණි ආකාරයට අපිට අතින් පැමිණිලි ලියන ආකාරය දැකගන්න පුළුවන්. මේ ක්‍රමයේ අඩු පාඩු රැසක් තිබුණත් අලුතින් පරිගණක පද්ධතියකට මේ රාජකාරිය බාර දීමෙන් පසු යම් තාක්ෂණික දොසක් නිසා ඒ දත්ත අස්ථානගත වුණොත්? මෙවැනි භාරදූර දත්ත සම්බන්ධයෙන් සාමාන්‍ය මට්ටමට වඩා වැඩි, දත්ත ආරක්ෂාව සම්බන්ධ අනතුරක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක දත්ත පරිගණක ඇතුළට ගැනීමේ වාසි වගේම දේශපාලන බලපෑම් ඉහළ සමාජ වටපිටාවක් තුළ දත්ත ඩිජිටල් වීමේ සැබෑ අවදානමකුත් තියෙනවා. යම් කිසි යුරෝපා රටක පොලිස් සේවාව දත්ත පරිගණක ගත කොට මනාව පවත්වා ගත්තත්, ලංකාව වගේ රටකදී ඒ ආකාරයෙන්ම එය ක්‍රියාත්මක වෙයිද කියන ගැටළු තියෙනවා. 

 

7. මාකටින් සහ මැජික් 

නව දුරකථනයක්, නව කැමරාවක් වෙළඳ පොලට එන විට, ඒ හැම අවස්ථාවක අලුත් කුමක් හෝ දෙයක් තිබෙන බවට අපිට අඟවනවා. ඒ අනුව අපි ඒ නව දේ වෙත වඩාත් ආකර්ෂණය වී නව අත්දැකීම වෙනුවෙන් ඒ දේ මිලදී ගන්නවා. මෙසේ යම් අලුත් අවශ්‍යතාවන් නිර්මාණය කිරීමත්, ඒ අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ හෝ සේවා සැකසීමත් තාක්ෂණික ලෝකයේ ජනප්‍රිය අත්දැකීමක්. ඇතැම්විට අපිට බඩුවක හෝ සොෆ්ට්වෙයා එකක ඊළඟ වර්ෂන් එක සැබවින්ම අනවශ්‍ය වුණත්, අපිට වක්‍රාකාරයෙන් කරන බලපෑම් තුළ අපිට අලුත් දේ මිලදී ගන්නට බල කෙරෙනවා. ඒ අනුව තාක්ෂණික සෝබන තුළ ඒවා වෙනුවෙන් අපේ සාක්කුව හොලවාගැනීමත් විශාල සමාගම්වල එක් අරමුණක් වෙනවා. 

 

8. සම්පූර්ණයෙන් ගැලවෙන්න හැකිද? 

ආයේ අපිට තාක්ෂණය එපා කියලා පැරණි යුගයට යන්න බැහැ. ෆෝන් එක විසික් කරලා අනූව දශකයේ වගේ එෆ් එම් රේඩියෝ එකට අපිට ආයෙත් යන්නට බැහැ. ඒත් ලෝකය තුළ විවිධ තාක්ෂණික උත්සව පවත්වා මහ ඉහළින් එළිදැක්වෙන බොහෝ දේවල ඇත්තටම ඒ කියන විශේෂ අද්වීතිය ගතිගුණ තියෙනවාද කියන එක ගැන නැවත හිතන්න වටිනවා. අලුත් දත්ත පද්ධති, පරිගණකගත ක්‍රමවේද විශාල ආයතන වලට අනුගත කරද්දිත් ආයතනයේ තියෙන පසුබිම, සේවකයින්ගේ ආකල්ප, වැඩකරන රටාව ගැන හොඳ කියවීමක් නැත්නම් ඒ අපි යොදන්නට බලාපොරොත්තු වෙන මහාර්ඝ තාක්ෂණයෙන් ප්‍රතිඵල ලබාගන්නට බැරි වෙනවා. තාක්ෂණය ගැන බියවීමටත් වඩා සැබැවින්ම තාක්ෂණයට හැරීමේදී නැවතත් අපි ඒ සඳහා කරන වියදමට සරිලන දෙයක් ඒ තාක්ෂණික දේ තුළ තියේද කියා හොයන්න පුළුවන් නම් ඒක තාමත් ඩිජිටල් නොවූ නෝමල් දුවන මොළයටත් හොඳ ව්‍යායායමයක් වේවි. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *