ක්‍රිකට් ලෝකේ වර්ණවත් කරන වෙනස්ම පහරවල් 7ක් ගැන විස්තර

අපි කලින් අපේ ලිපියකින් ඔයාලට කිවුවා ක්‍රිකට් ලෝකය හොල්ලන පන්දු 7ක් ගැන විස්තර. අද කියන්න යන්නේ ඒකෙම අනිත් පැත්ත, ඒ කිවුවේ ක්‍රිකට් ලෝකයට වෙනසක් ගෙනාපු පිතිකරුවන්ගේ පහරවල් 7ක් ගැන. එහෙනම් වැඩි කතා බතා නැතුව අපි කියවලා බලමු මේ පහරවල් ගැන.

 

1. ඩිල්ස්කූප් (Dilscoop) 

ලංකාවේ අපේ තිලකරත්න ඩිල්ෂාන් විසින් හොයාගත්ත මේ අපූරු පහරින් තමයි අපි අපේ ලැයිස්තුව ආරම්භ කරන්නේ. ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකේ කිසිම ක්‍රිකට් ලෝලියෙක්ට මේ ඩිල්ස්කූප් එක ගහන විදිහ ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනෙ නැහැ කියලා අපි හිතනවා. කෙලින්ම තමන් දිහා​ට එන පන්දුවට දණහිසක් නවලා පිත්ත තමන් ඉදිරියෙන් හිටින විදිහට තියලා පන්දුවේ වේග​ය භාවිතා කරලා කඩුළු රකින්නාගේ හිසට ඉහළින් යන විදිහට තමයි මේ පාර ගහන්නේ. 2009 අවුරුද්දේ IPL තරඟාවලියෙදි තමයි ඩිල්ෂාන් මේ පහර කරළියට ගේන්නෙ. 2009 විස්සයි විස්ස ලෝක කුසලානයේ වඩාත්ම කතාබහට ලක්වෙච්ච පහර බවටත් මේ ඩිල්ස්කූප් එක පත් වුණා.

 

 

2. මරිලියර් ස්කූප් (Marillier scoop) 

හිටපු සිම්බාබ්වේ ජාතික පසුපෙළ පිතිකරුවෙක් වුණු ඩග්ලස් මරිලියර් තමයි මේ අපූරු පහර හොයාගන්නේ. පැඩ්ල්ස්කූප් නමිනුත් මේක හඳුන්වනවා. මේ පහර තරමක් ඩිල්ස්කූප් එකටත් සමානයි. හැබැයි වෙනස තියෙන්නේ මරිලියර් ස්කූප් එකේදි පන්දුව යන්නේ කඩුළු රකින්නාගේ හිසට ඉහළින් නෙමෙයි, ඔහුගේ පැත්තකින් තමයි පන්දුව හතරේ සීමාව දිහාට ඇදිලා යන්නේ. 2001 අවුරුද්දේ පවත්වපු කාල්ටන් එක්දින තරඟාවලියේදී ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැග්‍රාත්ට එරෙහිව මරිලියර් මේ පහර සාර්ථකව එල්ල කරනවා. ඒ තරඟයේ අන්තිම ඕවරයට ලකුණු 15ක් ලබාගන්න තියන මොහොතක ඔහු මැග්‍රාත්ට මේ පහර ගහලා හතරේ පහ​රවල් දෙකක්ම රැස් කරගන්න සමත් වෙනවා. නමුත් අවාසනාවකට ලකුණු 302ක් හඹායන සිම්බාබ්වේ කණ්ඩායම එක ලකුණකින් ඉන් පරාජය ලබනවා.

 

 

3. රිවර්ස් ස්වීප් (Reverse sweep) 

60/70 ගණන්වල පාකිස්ථානයට ක්‍රීඩා කරපු මුෂ්ටාක් මොහොමඩ් තමයි රිවර්ස් ස්වීප් පහරේ පියා හැටියට හැඳින්වෙන්නේ. හැබැයි තවත් සමහරු කියනවා ඔහුගේ වැඩිමල් සොහොයුරා වෙන හනීෆ් මොහොමඩ් තමයි මේ පහර හොයාගත්තේ කියලා. කොහොම වෙතත් ලකුණු රැස් කරන්නට අසීරු විදිහ​ට පන්දු රකින්නන් යොදවලා තියන වෙලාවක පිටියේ හිස්තැන් ආක්‍රමණය කරන්න මේ පහර ඉතාම ​හොඳ තේරීමක් වෙනවා. දැන් අවුරුදු පණහකට වඩා වැඩි ඉතිහාසයක් තිබුණත් නවීන විස්සයි විස්ස වගේ අධිවේගී තරඟ රටාවකට පවා ගැලපෙන විදිහේ වෙනස් පහරක් බවට මේ රිවර්ස් ස්වීප් එක පත්වෙලා තියනවා.

 

 

4. ස්විච් හිට් (Switch hit) 

ස්විච් හිට් එක කියන්නේ පන්දු යවන්නා පන්දුව යොමු කරන්න එන අතරතුර තමන්ගේ පන්දුවට පහර දීමේ පැත්ත මාරු කරලා අනිත් පැත්ත හැරිලා ගහන ප්‍රවේගකාරී පහරක්. වමත් පිතිකරුවා දකුණත් පිතිකරුවෙක් බවටත්, දකුණත් පිතිකරුවා වමත් පිතිකරුවෙක් බවටත් පත් කරන මේ පහර විශේෂයෙන් දඟපන්දු යවන්නන්ව මෙල්ල කරන්න තමයි යොදාගන්නේ. මේ පහරේ නිර්මාතෘවරයා හැටියට ගෞරවය ලබන්නේ හිටපු එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටර්සනුයි. 2006 මැයි මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පවත්වපු ටෙස්ට් තරඟයකදී මුත්තයියා මුරලිදරන්ට එරෙහිවයි පීටර්සන් මුලින්ම මේ ප්‍රහාරාත්මක අවිය භාවිතා කරන්නේ. කෙවින් පීටර්සන්ට මේ පහරේ ගෞරවය ලබාදුන්නත් සමහරුන්ගේ මතය වෙන්නේ මේ පහර මුලින්ම ගැහුවේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් බවයි. ජොන්ටි 2002 අවුරුද්දේ ඕස්ට්‍රේලියාව එක්ක පවත්වපු එක්දින තරඟයක මේ පහර ගහලා තියන බවට සමහරු කියනවා.

 

 

5. අපර්කට් (Uppercut) 

1800 ගණන් තරම් ​​​ඈත අතීතයක ඉඳන් ක්‍රිකට්වල භාවිතා කරපු පහරක් වුණත් මේ පහර වැඩියෙන්ම භාවිතා කරපු ක්‍රීඩකයෙක් වන ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර්ට තමයි මේ පහරේ පීතෘත්වය හිමිවෙලා තියෙන්නේ. බවුන්සර් ​ආකාරයේ උඩ නගින පන්දුවකට ඉහළට එල්ල කරන කට් පහරක් ​ආකාරයේ පහරක් එල්ල කිරීම මගින් ඉහළින් තර්ඩ්මෑන් කළාපය දිශාවට පන්දුව යොමු කිරීම තමයි මේ පහරින් සිද්ධ වෙන්නේ. සචින් වගේම මේ පහරින් සාර්ථකව ඵල නෙලාගත්ත ‍තවත් ක්‍රීඩකයෙක් ‍තමයි ඉන්දියානු කණ්ඩායමේම විරේන්ද්‍ර ෂෙවාග්. 

 

6. හෙලිකොප්ටර් ෂොට් (Helicopter shot) 

මහේන්ද්‍ර සිං ධෝනිගේ නමට ලියාපදිංචි වෙලා තියන මේ පහර ඔහුට කියා දීලා තියෙන්නෙ ඔහුගේ කුඩාකළ පටන් මිත්‍රයෙක් වන සන්තෝෂ් ලාල් කියන ක්‍රීඩකයෙකු බවටයි පැවසෙන්නේ. පිතිකරුවාගේ පාද ​ආසන්නයෙන් පතිත වෙන යෝකර් වගේ පන්දුවලට ලකුණු රැස් කරන්න සාර්ථකම පහරක් තමයි මේක. නමුත් මේ පහර නියම කල්වේලා ​​ඇතුව ගහන්න ඕනෑ පහරක්, එහෙම නැති වුණොත් පාද සහ ​​ඇඟිලිවලට ​ආබාධ වුණත් සිද්ධ වෙන්න පුළුවන්. පහර එල්ල කිරීම අවසන් වෙන්නේ හෙලිකොප්ටරයක තටුවක් වගේ පිත්ත වටයක් කැරකීමෙන් නිසා තමයි මේක හෙලිකොප්ටර් ෂොට් එක හැටියට හැඳින්වෙන්නෙ. මේ පහර ධෝනිගේ නමට ​​​ඈඳුනත් මේක මුලින්ම ගහලා තියෙන්නේ තවත් ඉන්දීය ක්‍රීඩකයෙක් වුණ මොහොමඩ් අසරුදීන් කියලයි වාර්තා වෙන්නෙ. අපේ චාමර සිල්වාත් මේ පහර ගහනවා ඔබ දැකලා ​​ඇති. 

 

 

7. පෙරිස්කෝප් (Periscope) 

බංග්ලාදේශ ​ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කාර්ට තමයි මේ නිර්මාණශීලී පහර සොයාගැනීමේ අයිතිය හිමි වෙන්නෙ. 2015 වසරේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරඟයකදී තමයි මේ පහර අපිට දකින්න ලැබෙන්නේ. බවුන්සර් වගේ ඉහළට නගින පන්දුවලට එල්ල කරන මේ පහරේදී සර්කාර් කරන්නේ පාද චලනය කරන්නේ නැතිව දුන්නක් වගේ පසුපසට නැමිලා ඉහළ නගින පන්දුවට පිත්තෙන් පොඩි තල්ලුවක් දෙන එකයි. පන්දුවේ වේගය නිසා කඩුළු රකින්නා සහ ස්ලිප් ක්‍රීඩකයින්ට ඉහළින් පන්දුව හතරේ සීමාව දිහාවට වේගයෙන් යොමු කරවන්න මේ පහර සමත්. හොඳට කල්යල් බලලා ගහන්න වෙන මේ පහර වැරදුණොත් ඒක කඩුල්ල දැවී යාමක් දක්වා ලේසියෙන් පරිවර්තනය වෙන්න තියන ඉඩත් වැඩියි. සමහරු මේ පහර මීට සමාන අපර්කට් පහර විදිහටම දැක්කත් අපර්කට් එකේදී වගේ පන්දුවේ දිශාව වෙනස් කිරීමක් මේ පහරෙදි සිද්ධ වෙන්නෙ නැහැ. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *