ටැටූ එකක් ඩිසයින් කරගන්නද හිතන්නේ? එහෙමනම් මේ ඇප් වලින් එකක් පාවිච්චි කරලා බලමු

ටැටූ ගහන එක ගැන තාමත් ලංකාවේ තියෙන අදහස් විවිධාකාරයි. සමහරු ටැටූ වලට පරම විරුද්ධයි. තව සමහරු ටැටූ වලට ඉතාම කැමතියි. එතකොට තවත් සමහරු ටැටූ සම්බන්ධයෙන් ඉන්නේ ආසයි බයයි තත්ත්වයක. ඒ කොහොම වුණත්, ටැටූ ගැන තියෙන සෘණාත්මක අදහස් දැන් දැන් ටිකක් වෙනස් වෙමින් තියෙන නිසා, ටැටූ එකක් ගන්න ආස කෙනෙක්ට අපි උදවු කරන්න හිතුවා. සාමාන්‍යයෙන් ටැටූ එකක් ගහන්න කලින් හිතන්න ඕන කාරණා ගැන, සලකා බලන්න ඕන දේවල් ගැන අපි කලිනුත් කියලා තියෙනවා. එතකොට ටැටූ ට්‍රෙන්ඩ්ස් ගැන එහෙමත් අපි කතා කරලා තියෙනවා. ඔය හැමදෙයක්ම එක්ක කෙනෙක්ට තමන් ආසකරන ටැටූ එකක් තෝරගන්න පුළුවන්. හැබැයි ගොඩක් අය කැමතියි තමන්ට විශේෂ වුණු ටැටූ එකක් ඩිසයින් කරගන්න. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න ටැටූ එකක් වුනත් පොඩ්ඩක් කස්ටමයිස් කරලා ගන්න. ආන්න ඒ වැඩේට උදවු උපකාර ගන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ ඇප්ස් වලින් පුළුවන් තමන්ගේ සිහින ටැටූ එක නිර්මාණය කරගන්න වැඩේ ගොඩදාගන්න.

 

1. Adobe Illustrator Draw

විවාදයක් නැතුවම Adobe Illustrator Draw ඇප් එක හැඳින්වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ලෝකේ තියෙන හොඳම චිත්‍රකර්ම ඇප් එකක් විදියට තමයි. අන්න ඒ නිසා  තමන්ට චිත්‍රකර්ම හැකියාවක් එහෙම පොඩ්ඩක් හරි තියෙනවා නම්, තමන් ආස ටැටූ එකක් මුල ඉඳලම අඳින්නත් ආසාවක් තියෙනවා නම් ඒ වැඩේට මේක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ විවිධ පාටින් විවිධ පෙන් ටිප්ස් වලින් විවිධ ස්ටයිල් එකේ රේඛා අඳින්න ඉඩ ලබාදීලා තියෙන නිසා, වර්ණවත් රේඛා චිත්‍ර අඳින්න පුළුවන්. ඒවා ලස්සන ටැටූ බවට පත් කරන්න හොඳ ටැටූ ආටිස්ට් කෙනෙක්ට පුළුවන්. මේකේ නොමිලේ ගන්න සංස්කරණයේ තියෙනවට වඩා තවත් පහසුකම් සල්ලි වලට ගන්න සංස්කරණයේ තියෙනවා.

 

2. INKHUNTER

දැන් සමහර වෙලාවට අපි හිතට අල්ලන ලස්සන ටැටූ එකක් තෝරාගත්තත්, ඇත්තටම ඒක අපේ ඇඟේ කෙටුවට පස්සේ ඒ ලස්සනටම පෙනෙයිද? අන්න ඒක ඔය ටැටූ ගහන්න ආස ගොඩක් අයට එන ප්‍රශ්නයක්.  හැබැයි ඉතින් තාවකාලිකව ටැටූ ගහලා බලන්න බැහැනේ. සාමාන්‍යයෙන් අපි කියන ටැටූ නම් ගැහැව්වොත් ගැහැව්වා තමයි. ආයෙ මකන එක වෙනම ප්‍රොජෙක්ට් එකක්. හැබැයි මේ INKHUNTER ඇප් එකෙන් ඒ ප්‍රශ්නේ බොහොම ලේසියෙන් විසඳගන්න පුළුවන්. අපිට ඕන විදියේ ටැටූ එකක් ඩිසයින් කරගත්තට පස්සේ, මේ ඇප් එක හරහා ඒ ටැටූ එක අපේ හම මත ටැටූ කළහම පේන්නේ කොහොමද කියන එක බලාගන්න පුළුවන්. ඕන නම් ෆොටෝ එකක් ගන්නත් පුළුවන්, නැතිනම් Virtual Reality තාක්ෂණය හරහාත් පුළුවන්. මේ ඇප් එකේ තියෙන ස්ටොක් ටැටූස් වලින් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්.

 

3. Tattoodo

ටැටූඩෝහ් කියලා බය නැතුව කියන්න පුළුවන් මේ ඇප් එකේ ප්‍රධාන විශේෂත්ව දෙකක් තියෙනවා. එකක් තමයි ටැටූ එකක් ඩිසයින් කරගන්න අවශ්‍ය කරන ටැටූ ඩිසයින් බර තොගයක් මේ ඇප් එක ඇතුළේ තියෙන එක. ඒ කියන්නේ මුලින්ම ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ යන පියවර ඇතුළේ අහනවා අපිට ටැටූ කරගන්න ඕන ටැටූ ස්ටයිල්ස් මොනවද කියලා. එතන ස්ටයිල්සුත් බරගාණක් තියෙනවා. දැන් ඒ තෝරගත්තට ස්ටයිල් වලට අනුව තමයි අපිට ටැටූ ඩිසයින්ස් පෙන්නන්නේ. ඒ වගේම අපිට ලඟ පාත ඉන්න ටැටූ ආටිස්ට්ස්ලා කවුද කියන එක හොයාගන්න පුළුවන් එක තමයි දෙවෙනි විශේෂත්වය. මේ ඇප් එක හදපු අය කියන විදියට ටැටූ ඩිසයින්ස් මිලියනයකට වැඩියෙන් තියෙනවා. ඒ වගේම මේ ඇප් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ටැටූ ආටිස්ට්ලා සෑහෙන ප්‍රමාණයක් හොයාගන්නත් හැකියාව තියෙනවා. හැබැයි ඉතින් ලංකාවේ නම් එහෙම හොයාගන්න එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. 

 

4. Tattoo Font Designer

දැන් සාමාන්‍යයෙන් අපි ලියුමක් එහෙම ටයිප් කරනකොට තෝරගන්න බොහොම සීමිත ෆොන්ට්ස් කීපයක් තියෙනවනේ. හැබැයි අපි මොකක් හරි ඩිසයින් කරනකොට නම් සෑහෙන්න ෆොන්ට්ස් හොයලා කරලා, ආටිස්ටික් ෆොන්ට්ස් වලින් අකුරු ටයිප් කරන්නනේ ගොඩක් උනන්දු වෙන්නේ. ටැටූ ගහනකොටත් ආන්න එහෙම තමයි. නිකම්ම ටයිම්ස් නිව් රෝමන් එකෙන් ටැටූ එකේ තියෙන මොකක් හරි අකුරු හරි වැකිය හරි ගහනවට වඩා වෙනසක් කරන එක තමයි ගති. එතකොට Tattoo Font Designer කියන්නේ අන්න ඒ වැඩේට උදවු වෙන ඇප් එකක්. ඇත්තටම මේක කැලිග්‍රැෆි ඇප් එකක් වගේ. කැලිග්‍රැෆි කියන්නේ අපූරු, සුවිශේෂී, කලාත්මක රටාවන්ට අකුරු අඳින කලාවට. බොහොම ප්‍රාථමිකයි වගේ පේන පරිශීලක අතුරු මුහුණතක් තියෙන මේ ඇප් එකෙන් හැබැයි ටැටූ එකකට සෙට් වෙන බොහොම ඉන්ටරෙස්ටින්ග් ෆොන්ට්ස් හොයාගන්න පුළුවන්.

 

5. Tattoo My Photo

මේකත් එහෙමට විශේෂයක් නැති ඇප් එකක්. හැබැයි ඉතින් මේ ඇප් එකට කැමති අයත් සෑහෙන්න ඉන්නවා. කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ ඇප් එක ඉන්ස්ටෝල් කළාට පස්සේ අපේ ෆොටෝ එකක් ඒකට අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් මේකේ තියෙන ටැටූ ලිස්ට් එකෙන් තමන්ට ආස විදියේ ටැටූ එකක් තෝරගෙන, ඒක අපේ ෆොටෝ එකේ ටැටූ එක ගහන්න ඕන තැනට ගාණට ප්ලේස් කරන්න පුළුවන්. එතකොට ටැටූ එකේ පාට වෙනස් කරන එක, සයිස් එක වෙනස් කරන එක, ට්‍රාන්ස්පේරන්සි වෙනස් කරන එක එහෙමත් එහෙමම කරගන්න පුළුවන්. ආන්න ඊට පස්සේ ඕන නම් ෆොටෝ එකේ බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට් එහෙමත් වෙනස් කරලා, “ලස්සන ටැටූ එකක් ගැහුවා ෆ්‍රෙන්” කියලා ෆේස්බුක් දාන්නත් පුළුවන්. 

 

6. Small Tattoo Ideas

සාමාන්‍යයෙන් ටැටූ එකක් ගහන්න කලින් අපි ආස විදියේ ටැටූ ඩිසයින් මොනවද කියලා ඉන්ටර්නෙට් එකේ එහෙම හොයලා බලනවනේ. ඒක ලොකු වැඩක් නෙවෙයි. හැබැයි අන්න ඒ වැඩේම ඉන්ටර්නෙට් එකේ හොයනවට වඩා ටිකක් ලේසියෙන් කරගන්න විදියක් තමයි මේ ඇප් එකෙන් ඉෂ්ට කරලා දෙන්නේ. ඒකත් ඕන ටැටූ එකකට නෙවෙයි හැබැයි. මේ ඇප් එක විශේෂ වෙන්නේ පුංචි පහේ ටැටූ වලට. ඒ කියන්නේ ඔය පොඩි සමනළයෙක්, මිනිමලිස්ට් ඩිසයින් එකේ පොඩි පූසෙක් වගේ ටැටූ එකක් හොයාගන්න මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පාඩු නෑ. මේකේ ටැටූ ඩිසයින් අයිඩියාස් 150 කට වඩා පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා. ඒ ටික බලලා ඇප් එක අයින් කරලා දැම්මත් පාඩුවක් නැහැනේ.

 

7. Tattoo Maker

අපි මුලින්ම සඳහන් කරපු Adobe Illustrator Draw වගේ, හැබැයි ඊට වඩා සරල ටැටූ මේකින් ඇප් එකක් තමයි මේ. සරලවම තියෙන්නේ මේකේ තියෙන ඩ්‍රෝවින් ටූල්ස් පාවිච්චි කරලා ආස විදියේ ටැටූ එකක් ඇඳගන්න. නිකම්ම සුදු අවකාශයේ අඳින එක සෙට් වෙන්නෙ නෑ වගේ නම්, මේකේ තියෙන මිනිස්සුන්ගේ ඇඟවල් වල රූප අතරින් කෙලින්ම ටැටූ එක ගහන්න කැමති තැන තියෙන ෆොටෝ එකක් තෝරලා ඒක උඩ අඳින්නත් පුළුවන්. මේකේ තියෙන ටැටූ ඩිසයින්ස් පාවිච්චි කරලා, එව්වා මොඩිෆයි කරලා ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම සරල ටැටූ එකක් තමන්ටම ඕන විදියට ඩිසයින් කරගන්න කැමති කෙනෙක්ට Tattoo Maker ඇප් එක ප්‍රයෝජනයක් වෙයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *