දියවැඩියා රෝගීන්ට කෑමට හොඳ ආහාර

දියවැඩියාව නැත්තම් මධුමේහය කියන්නෙ බටහිර වෛද්‍ය විද්‍යාවෙ වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් සඳහන් වෙන කරදරකාරී රෝග තත්ත්වයක්. ලංකාවේ ජනගහ​ණයෙන් වැඩිම කොටසකට වැළඳිලා පීඩා විඳින බෝ නොවන රෝග අතුරෙන් ඉහළින්ම තියෙන රෝගයක් තමයි මේ දියවැඩියාව කියල කියන්නෙ. මේ දියවැඩියා රෝගයට ප්‍රධානම හේතු විදිහට සැලකෙන්නෙ අපේ වැරදි ජීවන පුරුදු සහ විශේෂයෙන්ම වැරදි ආහාර පුරුදු කියන දේවල්. මේ හේතු නිසා දිනෙන් දිනම මේ දියවැඩියා රෝගීන් ප්‍රමාණය ඉහ​ළ යන ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නෙ. ඒ නිසා අපි හිතුවා දියවැඩියා රෝගීන්ට ආහාරයට ගන්න සුදුසු කෑම වර්ග කීපයක් ගැන කතා කරන්න.

දැනටම දියවැඩියා රෝගයෙන් පෙ​ළෙන කෙනෙකුට මේ ආහාර හොඳයි කියල කියනව වගේම මෙන්න මේ දේත් කියන්නම ඕන. දිනෙන් දින වැඩිවෙන මේ කරදරකාරී දියවැඩියා තත්ත්වය තමන්ට ඇතිවෙනවට අකමැතිනම් නිරන්තර ව්‍යායාම, සෞඛ්‍යමත් ආහාර, ප්‍රමාණවත් පරිදි ජලය පරිභෝජනය වගේ හොඳ පුරුදු වලට හුරුවෙන්නම ඕන. 

 

1. තෙබු කොළ

තෙබු කොළ කියල කියන්නෙ අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්, ලේසියෙන්ම වවාගන්න පුළුවන් ශාඛයක්. හැබැයි මේ ශාඛයේ ගුණ හුඟක් දෙනෙක් දන්නෙ නැහැ. ඒ නිසාම මේ ශාකයෙන් නිසි ප්‍රයෝජනයක් අපි ගන්නවද කියන එක සැකයි. කොහොම උනත් ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම් වගේ පෝෂ්‍යපදාර්ථ විශාල ප්‍රමාණයක් අඩංගු ආහාරයක් මේ තෙබු කොළ කියන්නෙ. විශේෂයෙන්ම ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට මේ තෙබු කොළ වල අඩංගු තිත්ත කසාය රස වගේම තන්තු නිසා දියවැඩියාව පාලනය කරන්න පුළුවන්. හැබැයි දිනපතා ආහාරයටනම් සුදුසු නැහැ. 

 

2. ඇඹරැල්ලා

විටමින් වර්ග සෑහෙන ප්‍රමාණයක් අඩංගු මේ ඇඹරැල්ලා කියන්නෙ දියවැඩියා රෝගයට ඉතාමත් ගුණදායක කෑමක්. ව්‍යංජනයක් විදිහට පිළියෙළ කරල වගේම අමුවෙන් උනත් කන්න පුළුවන්නෙ. ඒ වගේම රස බීමක් විදිහටත් පිළියෙළ කරගන්න පුළුවන්. දියවැඩියා රෝගීන්ට ඇඹරැල්ලා ගහේ මැලියම් වලින් දුම් ඇල්ලීමත් හොඳයි කියල ආයුර්වේද පොතපතේ සඳහන් වෙනවා.

 

3. Oats

ඕට්ස් කියන්නෙ හුඟක් ලෙඩ රෝග වලට ගුණදායක ආහාරයක්. විටමින් වර්ග සහ මැග්නීසියම්, කොපර්, යකඩ වගේ පෝෂ්‍යපදාර්ථයනුත් විශාල සංඛ්‍යාවක් මේ ඕට්ස් වල අඩංගු වෙනවා. ඕට්ස් වල අඩංගුවෙන ඉහ​ළ තන්තුමය ගුණය නිසා දියවැඩියා රෝගයටත් මේ ආහාරය හරිම ගුණදායකයි. ඕට්ස් වල අඩංගුවෙන beta-glucan කියන දියවෙන සුළු තන්තු වර්ගය දියවැඩියාව සමනය කිරීමේ ගුණයෙන් යුක්තයි. හැබැයි පිටින් පැණිරස ඇතු​ළත් නොකර ඕට්ස් ආහාරයට ගන්න ඕන. 

 

4. අලිගැටපේර

අලිගැටපේර කියන්නෙ අපි කවුරුත් කැමති රස පළතුරක්. ඒ වගේම ගුණ පළතුරක්. මේ අලිගැටපේර වල අඩංගු හිතකර මේදය සහ ආහාරමය තන්තු නිසා අපි ලබාගන්නා ආහාර වල අඩංගු කාබෝහයිඩ්‍රේට ජීර්ණය සහ උරාගැනීමේ වේගය අඩුකරනවා. ඒ මඟින් දියවැඩියාව ඇතිවීමට ඇති හැකියාව අඩුකරනවා. 

 

5. මාළු  

මාළු කියන්නෙත් දියවැඩියා රෝගීන්ට ආහාරයට ගන්න සුදුසු දෙයක්. මස් වර්ග වල අධිකව මේදය අඩංගු වෙනවා. හැබැයි මාළු වර්ග වල වැඩි වශයෙන් අඩංගු වෙන්නෙ ප්‍රෝටීන. ඒ වගේම මාළු වල අඩංගුවෙන ඔමේගා 3 සංඝටකයත් ශරීරයට ඉතාම ගුණදායකයි. ඔමේගා 3 වැඩියෙන් අඩංගුවෙන කුම්බලා, සැමන් හෝ කෙ​ළවල්ලා වැනි මාළු වර්ග තමයි දියවැඩියා රෝගීන්ට වැඩිපුරම ගුණදායක.

 

6. සුදුළූණු

සුදුළූණු කියන්නෙ කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය සහ හෘද රෝග වලට ඉතාම ගුණදායක ආහාරයක්. නවතම සොයාගැනීම් වලට අනුව අමු සුදුළූණු ආහාරයට ගැනීම දියවැඩියා රෝගයටත් ඉතාම ගුණදායකයි. 

 

7. Green Tea

Green Tea කියන්නෙත් දියවැඩියාවට ඉතාම ගුණදායක පානයක්. ග්‍රීන් ටී මඟින් ශරීරයේ බර අඩුකරගන්න උපකාරී වෙනවා. ග්‍රීන් ටී වල අඩංගු catechin කියන ප්‍රතිඔක්සිකාරකය නිසා කාබෝහයිඩ්‍රේට ජීර්ණය සහ උරාගැනීමේ වේගය අඩුකරනවා. නිදන්ගත දියවැඩියා තත්ත්වයන් නිසා ඇතිවෙන මානසික පීඩාකාරී තත්ත්වයන් සමනය කරන්නත් ග්‍රීන් ටී පානය ගොඩක් උදව් වෙනවා. 

 

8. බතල

අහපු ගමන්මනම් අපිට හිතෙන්නෙ බතල කියන්නෙ තරමක පැණි රසකින් යුක්ත වගේම පිෂ්ටය අඩංගු ආහාරයක් නිසා දියවැඩියාව වගේ රෝගයකට කිසිසේත්ම නුසුදුසු කෑමක් කියලනෙ. හැබැයි ඒක වැරදියි. බතල කියන්නෙ බීටා කැරොටින් අඩංගු ආහාරයක්. රුධිරගත සීනි මට්ටමට බලපාන කාබෝහයිඩ්‍රේට සාමාන්‍ය අල වලට වඩා සෑහෙන්න අඩු ප්‍රමාණයක් තමයි මේ බතල වල අඩංගු වෙන්නෙ. ඒ නිසා නිතර ආහාරයට ගන්න සාමාන්‍ය අල වෙනුවට බතල පරිභෝජනයෙන් දියවැඩියාව පාලනයට ලොකු උදව්වක් වෙනවා. පොත්ත පිටින්ම ආහාරයට ගන්න පුළුවන්නම් තව වැඩි ප්‍රමාණයක් තන්තු ශරීරයට ලබාගන්න පුළුවන්.

 

9. Greek Yogurt

යෝගට් කියන්නෙ දියවැඩියා රෝගීන්ට ඉතාමත් ගුණදායක ආහාරයක්. දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරා ගන්න වගේම ශරීරයේ අනවශ්‍ය මහතා අඩුකරන්න පුළුවන් කැල්සියම් සංඝටකත් මේ යෝගට් වල අඩංගුයි. ඒ වගේම යෝගට් මඟින් ඉන්සියුලින් ප්‍රතිරෝධතාව ඇතිවීම අවම කරනව. හැබැයි සාමාන්‍ය යෝගට් වල සීනි අඩංගු වෙන නිසා සීනි සහ මේදය අඩංගු නොවෙන මේ ග්‍රීක් යෝගට් තමයි පරිභෝජනයට වැඩිපුරම සුදුසු වෙන්නෙ. 

 

10 . කරවිල

කරවිල කියන්නෙත් අපි හැමෝම දන්න ලේසියෙන්ම හොයාගන්න තියෙන එළවළුවක්. හැබැයි මේ කරවිල වලත් ගුණනම් සුළුවෙන් ස​ළකන්න බැහැ. ශරීරය ඇතු​ළෙදි ඉන්සියුලින් වගේම ක්‍රියාකරන්න හැකියාවක් කරවිල වලට තියෙනවා. ශරීරයේ තියෙන ග්ලූකෝස් සෛල වෙත අරගෙන යන්න මේ කරවිල වලට පුළුවන්. පිටින් ඉන්සියුලින් ලබගන්නකොට වෙනවා වගේම කාර්යයක් තමයි මේකෙනුත් සරලවම වෙන්නෙ. කරවිල උයලා වගේම තිත්ත ගැන නොහිතා බීමක් වගේ අමුවෙන්ම බොන්න පුළුවන්නම් තවත් ගුණදායකයි. කරවිල වල අඩංගු විටමින් C, A, E, B-1, B-2, B-3, B-9, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, වගේ හුඟක් පෝෂ්‍යපදාර්ථ නිසා දියවැඩියා රෝගීන්ට වගේම ඕනම කෙනෙකුට ගුණදායක ආහාරයක්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *