බිය ජයගෙ​න කිමිදෙමු මුහුදු පතුලට

අපිට අභ්‍යාවකාශයේ කෙළවර හොයන්න අමාරුයි. ඒත් අපි හරියට අපේ මහ පොළව ගැනවත් හරිහැටි දන්නවද? අඩුගාණේ මූදු පතුල ගැනවත්? ගොඩබිම වගේම මුහුදු පතුලත් ජීවීන් ගොඩක් ඉන්න සුන්දර පරිසරයක්. කිමිදුනොත් අපිට මේ පරිසරය ලේසියෙන් බලන්න පුළුවන්. නොගැඹුරු මුහුදේ කිමිදෙන එක ලංකාවේ ජනප්‍රිය විනෝදාංශයක් නෙමෙයි. ඒත් ලංකාවට එන සංචාරකයෝ නම් කිමිදිලා, අපේ මුහුදේ තියෙන ලස්සන ඇස් දෙකෙන්ම දැකබලාගෙන යනවා. 

 

1. කිමිදෙන්න හොඳ කාලය මොකද්ද? 

ඒක අපි කිමිදෙන්න ඉන්න සයිට් එක අනුව වෙනස් වෙනවා. හොඳම දේ තමයි ඒ කාලය ගැන අපි කිමිදෙන්න ඉන්න තැන කට්ටියගෙන්ම අහගන්න එක. හොඳම කාලෙක වුණත් එකපාර බෙංගාල බොක්ක සවුත්තු වෙලා වැස්ස කඩන් වැටෙන තත්ත්වයක් ආවොත් ආං ඒ දවස් මග අරින එක හොඳයි. අනික මූද සැර කාලෙට මූද යට විසිබිලිටි, එහෙම නැත්තම් පාරදෘෂ්‍යතාවය අඩුයි. එතකොට අපිට මුහුද යටදි දුර පේනවා අඩුයි. ඒ නිසා කිමිදෙන්න පුරුදුවෙන්න හොඳ කාලය අහලා දැනගෙන, කාලගුණයත් බලලාම වැඩේ පටන් ගන්න ඕනි. 

 

2. හොඳ තැනක් තෝරාගැනීම 

මුලින්ම අපි කිමිදෙන්න යද්දි අපි කිසි දෙයක් දන්නේ නැහැ. ඒ නිසා අපි මුලින්ම හොඳට ඉගෙනගන්න ඕනි. කිමිදෙන වැඩේට ලංකාවෙදි නම් බොහෝවිට එක සෙෂන් එකකට රුපියල් පන් හයදාහකට වඩා ගාණක් වියදම් වෙනවා. ඒත් මිල කියන සාධකය මත පමණක් සලකලා අපි තත්ත්වයෙන් බාල තැනක් හොයාගන්න හොඳ නැහැ. මොකද අපි මුලින්ම කිමිදෙනකොට ඒ ආම්පන්න, ඇඳුම්, සිලින්ඩරය, කිමිදීමේදී අනුගමනය කරන්න ඕනි ක්‍රම සහ විධි ආදිය ගැන ඉගෙනගන්න ඕනි. ඒ නිසා මුල්ම දවස් කිහිපයටවත් හොඳ සහතික ලත් කිමිදෙන්නන් විසින් කරුණාවන්තව පුහුණු කරවන තැනක් කිමිදෙන්න පුරුදුවෙන්න සොයාගන්න ඕනි. 

 

3. මෝරු එහෙම ඇටෑක් කරන්නේ නැද්ද? 

මූද යට ලෝකයත් පොළව මත ලෝකයට ආසන්නව සමානයි. අපි වනෝද්‍යානයක අලි, කොටි, වලස්සු ගොඩක් දැක්කත් එයාල පහර දීපු අවස්ථා බොහෝම අඩුයි. ඒ වගේ ඉතාම කලාතුරකින් හැර මෝරු සහ වෙනත් මුහුදු සතුන් මිනිස්සුන්ට ඇටෑක් කරපු අවස්ථා අඩුයි. ඔස්ට්‍රේලියාව වගේ රට වල මුහුදු සර්පයින්, විෂ සහිත මකුළුවන්, කකුළුවන් ආදීන්ගේ පහරදීම් වාර්තා වෙලා තියෙනවා. ඒත් ලංකාවේ නම් කිමිදෙන අය අතර එහෙම සිද්ධි වාර්තා වෙලා තියෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ නිසා ලංකාවේ මූදේ කිමිදෙනකොට පතුලේ ඇනෙන්න පුළුවන් ඉකිරි වගේ දෙයකින් හැර මුහුද තුළ ඉන්න සතුන් සම්බන්ධයෙන් ගොඩාක් බයවෙන එක තේරුමක් නැහැ. 

 

4. පුරුදු වීම 

පිහිනීම, වෝටර් රාෆ්ටින් ආදී ජල ක්‍රීඩා ගොඩක් දැනගෙන ඉන්න කෙනෙක් වුණත් කිමිදෙන වැඩේදි මුල ටික හොඳට පුරුදු වෙන්න ඕනි. මොකද වතුර යට තියෙන තත්ත්වය අනුව ඒ අදාළ උපකරණ හසුරුවාගන්න එක ගේමක්. ඒ වගේම කටින් හුස්මගැනීම, අපේ ගොගල්ස් සුද්ද කරගැනීම, අනතුරුදායක තත්ත්වයන් ගැන අවධානය යොමු කිරීම, වතුරේදී සංඥා හුරු වීම වගේ දේවල් අපි පුරුදු වෙන්න ඕනි. 

 

5. සහායකට නතු වීම 

මුල්ම කිමිදීමේදි ගොඩක් වෙලාවට අපිට තියෙන්නේ වතුර යට නිදාගෙන වගේ සිටීමේ අවස්ථාව විතරයි. අපිව අවශ්‍ය තැන් කරා අපේ ගයිඩ් තුමා විසින් රැගෙන යනවා. එසේ වතුර යට සමබරව සිටීමත්, සහායක කියන ආකාරයට හැසිරීමත් වැදගත්. අලුතින්ම වතුරට බහිනවා නම් හිතුමතේ තැන තැන ගියොත්, බාධා වෙන ආකාරයට හැසිරුණොත් ඒක අපිට කිමිදෙන්න සහාය වෙන කෙනාට කරදරයක් වෙනවා. 

 

6. කිමිදීමේ සහතිකය 

මාර්ග වල රිය පදවන්න රියදුරු බලපත් ගන්නවා වගේ කිමිදෙන්නන් සඳහාත් පැඩි කියලා සහතිකයක් තියෙනවා. ඒ සහතිකය ජාත්‍යන්තරව පිළිගත් එකක්. ඒ සහතිකය තියෙනවා නම් අපිට ලෝකේ ඕනි තැනක ඩයිවින් සෙන්ටර් එකක් හරහා කිමිදෙන්නට අවස්ථාව ගන්න පුළුවන්. මේ සහතිකය දවසින් දෙකෙන් නම් ගන්න බැහැ. ඒ සඳහා දවස් හත අටක් හොඳට පුරුදු පුහුණු වෙලා, ඒ අවශ්‍ය කරන ප්‍රායෝගික සහ න්‍යායික දැනුම උපයාගන්නට ඕනි. ඉන් පස්සේ කොහොම හරි සහතිකේ ගොඩ දාගත්තොත් අපිට ලෝකේ ඕනි කෙළවරක ස්කූබා ඩයිවින් කරන්න පුළුවන්. 

 

7. ලංකාව වටේ කිමිදිලා මොනවද බලන්න තියෙන්නේ? 

කිමිදීම කියන්නේ පිරිසකගේ රැකියාවක්. නැව් අලුත්වැඩියා කරන්නන්, සිවිල් ඉංජිනේරුමය ඉදිකිරීම් කරන්නන්, සමුද්‍ර ගවේෂකයින් සිය රැකියාවට නිතර නිතර කිමිදෙනවා. ලංකාව කියන්නේ නිවර්තන රටක් නිසා ලංකාව වටේම තැන තැන ලස්සන කොරල් පර, මාළු ගැවසෙන තැන් තියෙනවා ඒ අතර උණවටුන, බෙන්තොට, හික්කඩුව වගේ දකුණු වෙරළ තීරය වගේම කල්පිටිය ත්‍රිකුණාමලය වගේ තැනුත් සංචාරකයින් අතර කිමිදීම සදහා ජනප්‍රිය වෙලා තියෙනවා. ගාල්ල පළාතේ නම් දිය යටදි ගිලුණු නැව් ආදිය බලාගන්නත් පුළුවන්. ත්‍රිකුණාමලයේදී සුන්දර කොරල් ලොව අසිරිය කදිමෙට බලාගන්න පුළුවන්. 

 

රට වටේ මූද තිබුණත් වියදම නිසාදෝ හෝ කිමිදෙන පිරිස අඩුයි. ඒත් ඒ සඳහා උනන්දුවක් දක්වන පිරිස නම් වැඩියි. කිමිදෙන්න මීට කලින් වෝටර් ස්පෝට්ස් හෙවත් ජල ක්‍රීඩා කරල තියෙන එක අදාළ වෙන්නෙ නැහැ. පීනන්න පුළුවන් වෙන්න ඕනිත් නැහැ. ඉතින් කිමිදීමට යන්න අදහස් කරනවා නම් මේ හරහා ඔයාලට යම් වැදගත් තොරතුරු ටිකක් ලැබෙන්නට ඇති. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *