ඔය ෂවර්මා කියන කෑම ඇත්තටම මැදපෙරදිග රටවල් වලින් ආපු කෑමක්. පොතේ හැටියට නං ඔටෝමාන් අධිරාජ්‍ය තියෙන කාලේ එහෙන්ලු ඔය ෂවර්මා එක ව්‍යාප්ත වුණේ. හරි. දැන් ඉතිහාසේ දැනගත්තා වගේම ෂවර්මා එකේ වර්තමානයත් දැනගන්න ඕනැනේ. ඒ කියන්නේ කටට රසට ෂවර්මා එකක් කන්න යන්න පුළුවන් තැන් මොනවද කියලත් දැනගන්න වෙනවනේ. ඇත්තටම මීට දශක කීපෙකට කලින් නම් එහෙම ලංකාවේ වැඩි දෙනෙක් ෂවර්මා කියලා නමක්වත් අහලා නැති වුනාට, දැන් වෙනකොට නම් ලංකාවෙත් ෂවර්මා හරි ප්‍රසිද්ධයි. කොළඹ විතරක් නෙවෙයි, පිට පළත් වල පවා ඔය බර්ගර් අනං මනං විකුණන කඩවල ෂවර්මා විකුණන්න තියෙනවා. ඉතින් අපි කියන්න යන්නේ කොළඹ අවට ෂවර්මා කන්න තියෙන අපේ ප්‍රියතම තැන් කීපයක් ගැන තමයි.
1. Fazly’s Halal Refreshment
මීට අවුරුදු දහයකට පහළොවකට කලින් වගේ මැලේ ස්ට්‍රීට් එකේ පුංචි බර්ගර් පොට් එකක් තිබුණා. ඒකේ නම බර්ගර්’ස් කින්ග්. අපි දැනගත්තු විදියට ගෝල්ෆේස් එකේ චිරප්‍රසිද්ධ නානාට නෑ වෙන කට්ටියක් තමයි බර්ගර්’ස් කින්ග් එක කළේ. කොහොම හරි දවසෙන් දෙකෙන් බර්ගර්’ස් කින්ග් එක අපේ ෆේවරිට් පොට් එකක් වුණා. ඒකෙනුත් අපේ ජනප්‍රියම කෑම එක වුණේ මේ කට්ටියගේ ෂවර්මා එක. අර එවෙලේ කපලා ලෝබ නැතුව දාන ස්මෝක්ඩ් චිකන් කෑලි බෑලි තොගේ එක්ක ගෝවා සහ තව සෝස් වර්ග කීපයක් දාලා මික්ස් කරලා, ඒක ෂවර්මා රොටිය මැදට දාලා හදලා දෙන ෂවර්මා එකේ රහ සුපිරියි. අවංකවම කොයි තරම් කෑවත් එපා වෙන්නෙත් නැති රහක් ඒකේ තියෙන්නේ. දැන් බර්ගර්’ස් කින්ග් නම වෙනස් වෙලා. ඒත් තාම ෂවර්මා එකේ රහ එමමයි. ආන්න ඒ නිසාම අපේ නම්බර් වන් වෙන්නේ ෆස්ලී’ස් හලාල් රිෆ්‍රෙෂ්මන්ට් නැතිනම් ඉස්සර බර්ගර්’ස් කින්ග් එකේ තිබුණු ෂවර්මා එක.
2. Shawarma.lk
ඔව්, මේ කට්ටිය නමේ හැටියටම වැඩේ කරනවා. මේ අයගේ නමේ හැටියටම මේ කට්ටියගේ ස්පෙෂල්ටි එක වෙන්නේ ෂවර්මා. ඒකත් ආයෙ තෝරගන්න තියෙනවා වර්ග කීපෙකින්ම. හැබැයි ෂවර්මා විතරක් නෙවෙයි, මේ කට්ටිය තව අරාබි කෑම ගණනාවක්මත් දෙනවා. ආයෙමත් ෂවර්මා පැත්තට ගියොත්, මේ අය ගාව තුර්කි ෂවර්මා, පලස්තීනියන් ෂවර්මා, ලෙබනීස් ෂවර්මා විතරක් නෙවෙයි, ග්‍රීක් ෂවර්මාත් තියෙනවා. මේ හැම එකම කාලා බලන්න බැරි වුණත්, අපි කාපු පලස්තීනීයන් ෂවර්මා එකේ රහ නම් මරු. මේ අයගේ ෂවර්මා ලාජ් සහ ස්මෝල් කියලා පෝෂන් දෙකකින් එනවා. ස්මෝල් එක එක්කෙනෙක්ට ඇති කියපු නිසා ස්මෝල් එකක් ගත්තත්, අවංකයෙන්ම කියන්න ඕන ස්මෝල් ෂවර්මා එක මදි වුණා කියලා. ඒ ඇරෙන්න චිකන් ආස නැති අයට බීෆ් දාලත් ෂවර්මා එක කස්ටමයිස් කරගන්න පුළුවන්.
3. Shawarmaz
මේකෙත් ඉතින් නම දැක්ක ගමන් අපිට හිතාගන්න වෙනවා මේ අයත් ෂවර්මා විශේෂඥයෝ වෙන්න ඕන කියලා. ඇත්තටම මේ කට්ටිය රෙස්ටුරන්ට් එකක් නෙවෙයි, ෆුඩ් ට්‍රක් එකක්. හැබැයි ඉතින් ෂවර්මාස් කියලා නම දැම්මට බර්ගර්, සබ්මෙරීන්, මිනි සබ්, ප්ලැටර්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගේ අනං මනං ලට්ට ලොට්ටත් මෙතන තියෙනවා. හරි, ආයෙමත් ෂවර්මා වලට ගියොත්, මේ අයගේ ෂවර්මා සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. ඩුබායි ස්ටයිල් එකේ ෂවර්මා, ඇරබික් ස්ටයිල් එකේ ෂවර්මා කියන දෙක සෑහෙන්න ප්‍රසිද්ධයි. මේ දෙකම චිකන් බීෆ් දෙකෙන්ම තෝරගන්න තියෙනවා. තව චිකන් බීෆ් දෙකම දාපු මික්ස් ෂවර්මා එකකුත්, ෆලාෆෙල් එක්ක එන වෙජි ෂවර්මා එකකුත් මේ අය ගාව තියෙනවා. එතකොට හොට් ඇන්ඩ් ස්පයිසි කොච්චි ෂවර්මා, තන්දුරි ෂවර්මා, මට්න් ෂවර්මා, මෙක්සිකන් ෂවර්මා වගේ එව්වත් මෙතන තියෙනවා. කාලා බලලා අපිට කියන්න ඇත්තටම මේ අය ෂවර්මා ස්පෙෂලිස්ට්‍ස්ලාද කියලා!
4. Shawarmaz at GP
කට දිව පිනවන නියම ෂවර්මා ඇතුළු නියම අරාබියානු කෑම කන්න Shawarmaz at GP එකට එන්න කියලා තමයි මේ අය කියන්නේ. නමෙන් ෂවර්මා වුනාට ඇත්තටම මෙතනත් බර්ගර්ස්, සබ්මෙරීන්, ෆ්‍රයිඩ් රයිස්, සැලඩ්, සුප් අනං මනං ඕනම රෙස්ටුරන්ට් එකක තියෙන අයිටම්ස් ජාති ටික තියෙනවා. එතකොට මේ අය කියන විදියට අරාබියානු කෑම වර්ගත් කීපයක්ම තියෙනවා. හැබැයි අපි ආවේ ෂවර්මා හොයාගෙනනේ. ෂවර්මා ගත්තොත් මේ අය ගාව සිරියන් ස්ටයිල් ෂවර්මා, ඩුබායි ස්ටයිල් ෂවර්මා, මෙක්සිකන් ස්ටයිල් ෂවර්මා, යේමනි ස්ටයිල් ෂවර්මා, අරාබි ස්ටයිල් ෂවර්මා වගේ එක එක රටවල ෂවර්මා තියෙනවා. එතනින් ගියාට පස්සේ තන්දුරි චිකන් ෂවර්මා, චිකන් සහ බීෆ් දාපු මික්ස් ෂවර්මා, ෂවර්මාස් ස්පෙෂල් ෂවර්මා, මට්න් ෂවර්මා, ෆලාෆෙල් දාපු වෙජි ෂවර්මා තියෙනවා. ඒ එක්කම මෙනු එකේ ෂවර්මා රයිස් කියලා එකකුත් තිබ්බා. ඒක නම් මොකද්ද කියලා ඔයාලා ගියපු දවසක ට්‍රයි කරලා අපිටත් කියන්න.
5. Arabian Knights
කොළඹ රටේ ෂවර්මා ගැන කතාකරන්න පුළුවන්ද ඇරේබියන් නයිට්ස් ගැන කතා නොකර? හැබැයි මේ අර එක්දහස් එක් රැය කියන ඇරේබියන් නයිට්ස් නෙවෙයි, අරාබි නයිට්වරු කියන ඇරේබියන් නයිට්ස්. කොහොම කොහොම හරි ඇරේබියන් නයිට්ස් කියන්නේ දැන් සෑහෙන්න කාලයක් තිස්සේ කොළඹ තියෙන මැදපෙරදිග කෑම බීම තියෙන, ෆයින් ඩයිනින් පැත්තට බර රෙස්ටුරන්ට් එකක්. ඉතින් මේ අයගේ අනික් මැදපෙරදිග කෑම බීම වගේම ෂවර්මා එකත් ඕතෙන්ටික්. ඕන නම් මේ අයගෙන් හුම්මුස් එක්ක ෂවර්මා ගන්න පුළුවන්. එතකොට ස්පයිසි සිරියන් ෂවර්මා, ඩබල් කෙබාබ් සැන්ඩ්විච්, සිරියානා ලයිට් ෂවර්මා, බීෆ් ඇන්ඩ් චිකන් මික්ස් ඇරබික් ෂවර්මා, ඕර්ෆාලි බීෆ් ෂවර්මා, එක්ස්ට්‍රා ස්පයිසි මෙක්සිකානා ෂවර්මා, ඩුබායි ස්ටයිල් ෂවර්මා වගේ දිග ලිස්ට් එකකින් ආස විදියේ ෂවර්මා එකක් තෝරගන්න පුළුවන්. ඊට අමතරවත් තව විවිධ අරාබි සැන්ඩ්විච් ජාති තියෙනවා. ඒවත් ඉතින් ෂවර්මා වගේ තමයි.
6. Dinemore
ඩයින්මෝර් කියන්නේ දෙයියනේ කියලා කොළඹ සබ්මෙරීන් වලටම ප්‍රසිද්ධ වෙච්ච අවන්හල් ජාලයක්. ඩයින්මෝර් වල වෙන වෙන කෑමජාතිත් තියෙනවා තමයි. හැබැයි ඉතින් ඩයින්මෝර් එකේ සබ්මෙරීන් කාලා නැතුව වෙන මොන දේ කෑවත් වැඩක් නෑ. හැබැයි ඒ වගේම තමයි ඩයින්මෝර් එකේ ෂවර්මා එක එහෙම නැතිනම් අරාබි සැන්ඩ්විච් එකත් කාලා බලන්නම වටිනවා. මේක ඇත්තටම ඩයින්මෝර් සබ්මෙරීන් තරම් විවිධත්වයක් නම් නෑ. හැබැයි හොඳ රසට කන්න පුළුවන්. පොඩ්ඩක් බඩ පිරෙන්න නම් මදිත් වගේ හැබැයි. ඒත් ඩයින්මෝර් කියන්නේ ගොඩක් දෙනෙක් නිතරම යන එන තැනක් නිසා ඩයින්මෝර් ෂවර්මා එකත් අපේ ලිස්ට් එකට දානවා.
7. Doner & Durum
ඩොනර් ඇන්ඩ් දූරුම් කියන්නේ අපිටත් වැඩිය හුරුපුරුදු නැති, මෑතකදී ගියපු තුර්කි රෙස්ටුරන්ට් එකක්. මේ කට්ටියගේ ෆේස්බුක් පේජ් එකේ ෂවර්මා වල ෆොටෝ දැකලා ගියාට, මෙනු එක බැලුවහම ෂවර්මා කියලා එකක් නැහැ. බැලුවහම ඇත්තටම මේ අය ගාව ෂවර්මා නැහැ. මේ අය ගාව තියෙන්නෙ දූරුම්! ඇත්තටම දූරුම් කියන්නෙත් ෂවර්මා වලටලු. හැබැයි තුර්කි ස්ටයිල් එකේ ෂවර්මා වලට. මේ අයගේ ෂවර්මා එකක් ගන්න ප්‍රොසෙස් එකත් අපි කැමතිම විදියේ. ඒ කියන්නේ මුලින්ම තෝරගන්න ඕන තමන්ට ඕන ෂවර්මා එක. ඒකත් කාණ්ඩ දෙකකට තියෙනවා. රෙගියුලර් සහ කින්ග් සයිස්. ඒ කාණ්ඩ දෙකේම තියෙනවා චිකන්, ලෑම්බ් සහ වෙජි. ඊට පස්සේ ක්ලැසික්, තායි, මායෝ, ස්පයිසි පීනට් කියන සෝස් වලින් එකක් තෝරගන්න ඕන. ඉන් පස්සේ තියෙනවා දිග ඇඩ් ඔන් ලිස්ට් එකක්. ඒකේ අමතර චිකන්, ලෑම්බ් වල ඉඳන් පනීර්, සැලඩ්, හුම්මුස්, ෆ්‍රයිස්, චීස් වගේ ජාති තියෙනවා. ඕන නම් අමතර රොටීත් එකතු කරගන්න පුළුවන්. ඕන නම් සෝසුත් අමතර පෝෂන් එකක් දාගන්නත් පුළුවන්. ඔන්න ඔහොම හදාගත්තු දූරුම් එක අපි කාලා බැලුවා. ඇත්තටම පට්ට රසයි!
Leave a Reply