එකම සිංදුවකින් විතරක් හිට්වුණු ගායක ගායිකාවෝ – 3 කොට​ස

මීට මාස ගණනාවකට පෙර Lifie.lk අපි ලංකාවේ ගීත ක්ෂේත්‍රය තුළ අසීමිත ජනප්‍රියත්වයක් ලබාගෙන, ඉන් අනතුරුව වැඩි කතා බහක් ඇහුන් නැති ගායක ගායිකාවන් ගැන ලිපි දෙකක් ඔබ වෙත ගෙන ආවා. අපි අද ඒ ලිපි පෙළට තුන්වැන්නකුත් මෙන්න මේ විදිහට එකතු කරනවා.

 

එකම සිංදුවකින් විතරක් හිට්වුණු ගායක ගායිකාවෝ 1 කොටස මෙතනින් කියවන්​න

එකම සිංදුවකින් විතරක් හිට්වුණු ගායක ගායිකාවෝ 2 කොටස මෙතනින් කියවන්​න

1. ටියුඩර් ජයශාන්ත

2005 වසරේදී දිවිසැරිය නිම කරපු ටියුඩර් ජයශාන්ත, අසූව දශකයේ අතිශයින්ම ජනප්‍රිය ගායකයෙක් වුණා. ගුවන් විදුලියේ සරල ගී ගායකයකු ලෙස කළ එළි බැස්ස ඔහුගේ ජනප්‍රියතම ගීතය බවට පත්වූයේ “ම​ගෙ දෑසේ කඳුළු තව දෑසක සතුටු කඳුළු වේ” ගීතයයි. අනතුරුව ඔහු විසින් තව ගීත කීපයක් ගායනා කළත් මෙ​ම ගීත​ය තරම් අනෙකුත් ගීත ජනප්‍රියත්වයට පත් වෙන්නේ නෑ. කොහොම වුණත් මේ ගීතය නිසා ඒ දවස්වල ප්‍රසංග වේදිකාවට ටියුඩර් ජයශාන්ත නැතුවම බැරි ගායකයෙක් බවට පත්වෙලා හිටියා. අපි එහෙනම් ඔහුගේ ජනප්‍රියම ගීතයට දැන් සවන් දෙමු.

 

 

2. රෝහිත විජේසූරිය

බිනරමලී කියන නම අපේ ගම්වල ඇත්තන්​ට ඉතා සමීප නමක් වුණා. ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුණු ‘මුවන්පැලැස්ස’ ගුවන් විදුලි නාට්‍යය නිසාත්, එම නමින්ම හැදූ චිත්‍රපටය නිසාත් මේ නම තවත් ජනප්‍රියත්වයෙන් ජනප්‍රියත්වයට පත් වුණා. ඒ කාලේ සුප්‍රකට සාහිත්‍යවේදී මඩවල එස්. රත්නායක බිනරමලී නමින් කවි පන්තියක් ලිව්වා. ඒ කවි පංතිය ගීතයක් විදිහට රෝහිත විජේසූරිය ගායනා කිරීමත් එක්ක ඔහුට විශාල ජනප්‍රියත්වයක් ලැබුණා. මේ ගීතය සැලකෙන්නේ සිංහල ගීත සාහිත්‍යයේ දීර්ඝතම ගීතයක් විදිහට.

 

 

3. ඉරූෂ සහ මධුෂාන් 

මේ ගායකයන් දෙදෙනාත් තමන්ගේ පළවෙනි ගීතයෙන්ම මුළු රටම දන්න දෙන්නෙක් බවට පත්  වුණා. ඊට පස්සේ  මොවුන් විසින් සිදු කරපු නිර්මාණ ඒ තරම් ජනප්‍රියත්වයට පත් නොවීම එක්තරා විදිහක පුදුමයකට කරුණක්. අපි මුලින්ම මේ දෙදෙනාගේ ඒ තරම් ජනප්‍රිය නොවුණු ගීත දෙකට සවන්දීලා, ඉන් අනතුරුව ජනප්‍රිය​ම ගීතය​ට සවන් දෙමු.

 

 

 

 

මේ තමයි ඔවුන් දෙදෙනාගේ ජනප්‍රියතම ගීතය

 

 

 

4. ඉන්දු අමරනාත් 

මීට කාලෙකට කලින් ආදරේ ගැන වෙනස් විදිහේ හැඟීමක් වෙනස් හඬකින් අපිට ඇහුනා. කුමුදිනිය නම් එම ගීතයේ පද රචනා කරල තිබ්බේ කසුන් ගුණතිලක. ඒ ගී පදවලට සංගීතය මුසු කරලා තියෙන්නේ රංග දසනායක. එම මියුරු තනුවට සහ සුන්දර පද වැලට තමන්ගෙ හඬින්  ජීවය දුන්නේ ඉන්දු අමරනාත්. කණගාටුවකට වගේ ඊට පස්සේ අපිට ඉන්දුගෙන් පළමු නිර්මාණයට සමාන සුන්දර නිර්මාණයක් නම් දකින්න ලැබුනේ නැහැ. මේ ගීතය පසු කාලීනව උමාරියාගේ හඬින්ද අපිට අසන්නට ලැබුණත්, ඉන්දු ගය​න මෙම මුල් ගීතය සොයා ගැනීමට තරමක් අපහසු ගීතයක් වනවා. එය විටින් විට YouTube චැනලයන්ගෙන් ඉවත් කිරීමද සිදු වන බවකුයි අපට දැනගන්න ලැබුණේ.

 

 

 

5. කාශ්‍යප දිසානායක 

නෙළුම් අධිකාරී සමග ‘අහසට සොදුරුද සඳ කෙතරම්’ කියලා අපිට කියපු කාශ්‍යප දිසානායකව ඔබට මතකද? ඉන් අනතුරුව අපිට ඔහු​ගේ හඬ වෙනත් නිර්මාණ​යකින් මුණ ගැසුණේ නැහැ. ආරංචි විදිහට ඔහු වසර ගණනක් තමන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා විදේශ ගත වෙලා තියෙනවා. පසුව ලංකාවට පැමිණ තවත් ගීතයක් නිකුත් ක​ළත් පළමු ගීතය තරම් ​එම ගීතය ජනප්‍රියත්වයට පත් වුණේ නැහැ.

 

6. කමල් චිත්‍රසේන

“කෙලෙසද කිව මැන සිපගත් දෑතට මංගල මල් කළඹක් දෙන්නේ” ඒ ගීතය ඇහෙන වාරයක් වාරයක් පාසා බොහෝදෙනෙක් අතීතයට ගමන් කරනවා. අනූව ද​ශකයේ විරහ වේදනාවෙන් පෙළුණු බොහෝ තරුණයන්ගේ හද පාරවපු ගීතයක් විදිහට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. ගුවන් හමුදාවේ සේවයට එක් වූ කමල් චිත්‍රසේනගේ ජීවිතය වෙනස් වන්​නේ සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි යුව​ළ හමුවීමත් එක්කයි. ප්‍රියානන්ද විජේසුන්දර ලියූ පද වලට සංගීතය දුන්නේ සනත් නන්දසිරි. පසුව කමල් චිත්‍රසේන විසින් ගීත ගණනාවක් ගායනා කළත් එම ගීතය තරම් අනෙකුත් ගීත ජනප්‍රිය වුණේ නැහැ.

 

 

එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් මේ ආටිකල් තුනටම ඇතු​ළත් නොවුණු තවත් ගායක ගායිකාවන් ඉන්නවනම් ඒ අය ගැන කමෙන්ට් එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා.