දැන් ඔය චයිනීස් කියන වචනේ ලංකාවේ කොත්තු රොටී වගේ තමයි. හන්දියකට හත ගාණේ තියෙනවා. ලංකාවේ තරං චයිනීස් රෙස්ටුරන්ට් ආයෙ චීනෙත් නැතුවැති. එළෝලු ටිකක් කපලා, මස් කෑලි ටිකක් කපලා තාච්චිය රත් කරලා උඩ පහල ගහලා දෙන ෆ්‍රයිඩ් රයිස් එකත් ශ්‍රී ලංකන් චයිනීස් කියලා තමයි කියන්නේ. දවල්ට ෆ්‍රයිඩ් රයිස් ගහන රෑට කොත්තු ගහන ගමේ රත්නෙගෙ කඩේත් චයිනීස් කියලා තමයි කීමට කියන්නේ.
හැබැයි අපි කියන්නේ මේ එහෙම චයිනීස් ගැන නෙවෙයි. නියම විදියට චීන ආහාර පාන, චීන විදියටම හදන, සමහර වෙලාවට ඒකට චීනෙන් ආපු චෙෆ් ලම ඉන්න, කොළඹ තියෙන නියම චීන අවන්හල් කීපයක් ගැන තමයි අපි කියන්න හිතුවේ. මේ තැන්වල හංදියේ චයිනීස් එකෙන් වගේ රුපියල් සීයේ ෆ්‍රයිඩ් රයිස් නම් ගන්න හම්බුවෙන්නෙ නෑ. හැබැයි චීනේ තියෙන වෛවර්ණ ආහාර සංස්කෘතිය කොලිටියකට අත්විඳින්න නම් ගිහින් බලන්නම ඕන තැන් තමයි මේ.
1. Tang Dynasty
ටැන්ග් ඩිනාස්ටි කියන්නේ දැන් සෑහෙන කාලයක් තිස්සේ කොළඹ තිබුණු නියම චයිනීස් රෙස්ටුරන්ට් එකක්. පටන් ගත්ත කාලේ තිබුණු තරම් මාරම මාරයි එකක් දැන් නැතත්, තාමත් නියම චීන කෑමවේලක් ගන්න නම් යන්න පුළුවන් තැනක් විදියට ටැන්ග් ඩිනාස්ටි එක පෙන්නන්න පුළුවන්. ඉස්සර නම් මේකේ යක්ස ගණන් කියලා හිතුණට, ඇත්තටම ඒ තරම් ගණන් නෑ කියලා දැන් හිතෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, සාමාන්‍යයෙන් ස්ටාටර් එකක් රුපියල් 600 ක් වටේ වෙන ගාණකට ගන්න පුළුවන්. අපේ ෆේවරිට් එකක් වුණු Chaozhou මැරිනේටඩ් ප්ලැටර් එක ට්‍රයි කරලා බලන්නම වටිනවා. මේ අයගේ අර තඩි ෆොටෝ ඇල්බම් එකක් වගේ තියෙන මෙනු එකේ අයිටම් බර ගාණක් අතරින් මොනවද තෝරගන්නේ කියලා හිතාගන්නම සෑහෙන වෙලාවක් ගත වෙනවා කියන එකත් කියන්න ඕන.
තැන මෙතන:
2. Shang Palace
ෂැන්ග්‍රි ලා හොටෙල් එක කිව්වහම දැන් නම් නොදන්න කෙනෙක් නැහැනේ. ඔව්, අපි මේ කියන්නේ කොළඹ ෂැන්ග්‍රි ලා එක. කොහොම හරි, ෂැන්ග්‍රිලා හොටෙල් එකේ තියෙන නියම චීන කෑම තියෙන චීන රෙස්ටුරන්ට් එක තමයි ෂැන්ග් ප්ලේස් කියන්නේ. හරි, ටිකක් විතර ගණන් වැඩියි තමයි. හැබැයි විශේෂ සැමරුමකට එහෙම යන්න වටින තැනක්. සාමාන්‍යයෙන් අඟහරුවාදා ඉඳන් ඉරිදා වෙනකල් 12-3 ලන්ච් එකත්, 6.30-11 ඩිනර් එකත් තමයි තියෙන්නේ. සෙනසුරාදා ඉරිදා යුම් චා ලන්ච් එක ගන්න පුළුවන්. අපි කැමතිම වුණු අයිටම් දෙකක් තමයි Minced beef soup with bean curd සහ හරක් මස් ඩම්ප්ලින්ග්ස්. එතනින් එහාට ඉතින් මෙනු එකේ සෑහෙන අයිටම්ස්, සෑහෙන ගණන් වලට යනකල් තියෙනවා. එක පාරක් හරි ගිහින් බැලුවට පාඩු නෑ.
තැන මෙතන:
3. Min Han
මින් හාන් එකත් තවදුරටත් අපිට ආගන්තුක චයිනීස් ජොයින්ට් එකක් නෙවෙයි. විශේෂයෙන්ම සමහරක් නියම චයිනීස් රෙස්ටුරන්ට් වල වගේ බිල ආවහම කිඩ්නියක් ගලවලා දීලා එන්න ඕනෙ නෑ. අනික රෙස්ටුරන්ට් එක කරන්නෙත් නියම චයිනීස් කට්ටියක් නිසා නියම චයිනීස් කෑමද නැද්ද කියන එක ගැන බයවෙන්න දේකුත් නෑ. සමාන්‍යයෙන් චයිනීස් ස්ටයිල් ස්පෙෂල් මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් නැතිනම් පයිනැපල් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් නියම චයිනීස් රෙස්ටුරන්ට් එකකින් රුපියල් හත් අට සීයක් ඇතුළේ ගන්න පුළුවන් කියන්නේ අපිට ලාබයි කියලා ගණන් තියන්න පුළුවන්, නැද්ද? අනික මේවා එක්කෙනෙක්ට කාලා ඉවර කරන්න බැරි ලෙවල් පෝෂන් එකකින් එන්නෙත්. මේ කට්ටියගේ හොට් ගාලික් සෝස් ප්‍රෝන්ස්, සිංගපෝර් ප්‍රෝන්ස් ඇතුළු මූදු කෑම සෙට් එකම අපිට නම් සෙට් වුණා. ඔයාලට කොහොම වෙයිද කියලා ගිහින් බලන්නම වෙනවා.
තැන මෙතන:
4. Yue Chuan
කිංග්ස්බරි හොටෙල් එක පටන් ගත්තු කාලේ ඉඳලා සෑහෙන කාලයක් යනකල් මේ කට්ටියගේ රෙස්ටුරන්ට් ගැන අපිට බොහොම ප්රසාදජනක අදහසක් තමයි තිබ්බේ. එතකොට යූ චුආන් චයිනීස් රෙස්ටුරන්ට් එක ගැනත් එහෙම පොසිටිව් අදහසක් තමයි තියෙන්නේ. හැබැයි මෑතකදී අපි කිංග්ස්බරි හයි ටී එකට ගියාට පස්සේ නම් අපිට සසර කලකිරුණා, බොරු කියන්න ඕන නැහැනේ. ඒත් කිංග්ස්බරි එකේ චයිනීස් රෙස්ටුරන්ට් එක ගැන එහෙම විනිශ්චයක් දෙන්න අපි ඉක්මන් වෙන්නෙ නෑ. මේ කට්ටිය මෙනු එක කොටස් දෙකකට බෙදලා තියෙනවා, ඒ ඒ චීන කෑම ලෝලීන්ට ඒ ඒ ඩම්ප්ලින්ග්ස් කියලා. ඒ කියන්නේ නියමම චයිනීස් රහට කැමති අයට කැන්ටනීස් සහ සෙෂුවාන් කෑම බීම තියෙන මෙනු එකක්. එතකොට ලංකාවේ රහත් පොඩ්ඩක් ඕන අයට ශ්‍රී ලංකන් චයිනීස් ෆියුෂන් මෙනු එකක්. ගණන් ඔය ෆැන්සි චයිනීස් ඩයිනින් රෙස්ටුරන්ට් එකක වගේ ටිකක් ඉහළින් තියෙන්නේ. හැබැයි ඉතින් විශේෂ අවස්ථාවක දෙන්නත් එක්ක ගිහින්, Dongpo pork ඇතුළු නියම චීන කෑම වේලක් කාලා, වයින් උගුරක් බීලා එන එක පාඩු නැති අත්දැකීමක්.
තැන මෙතන:
5. Tsing Tao
ඇත්තටම ට්සිං ටාඕ එකත් පටන් ගත්ත කාලේ අපිට මැජික් වගේ සීන් එකක් තිබුණා. හැබැයි දැන් එහෙම මැජික් නොවුණට, ට්සිං ටාඕ එකේ කෑම වල රසය නම් එමමයි. රේස් කෝස් එකේ පිහිටලා තියෙන ට්සිං ටාඕ එක ඇත්තටම බොහොම ආස හිතෙන විදියේ වටාපිටාවක් එක්ක තියෙන, ඒ අය කියන විදියට නියම චීන රස ඒ විදියටම ලංකාවට ලබාදෙන රෙස්ටුරන්ට් එකක්. ඒ කතාව කිසිසේත්ම බොරු නෙවෙයි. ට්සිං ටාඕ එක ෆයින් ඩයිනින් එක්ස්පීරියන්ස් එකක් වුණත්, ඇත්තටම පොකට් එකට රිදෙන බිලක් එන්නෙත් නෑ. උදාහරණයක් විදියට කිවුවොත්, මේ දවස් වල යන ප්‍රොමෝෂන් එකක් තමයි හොයිසින් සෝස් එක්ක එන ෆ්‍රයිඩ් චිකන් කකුලක් සහ කුළුබඩු ජාති පහක් එක්ක හදන අර්තාපල් තීරු ප්ලේට් එක රුපියල් 790 යි.
තැන මෙතන:
6. Golden Dragon
ලංකාවේ හොටෙල්ස් වල තියෙන රෙස්ටුරන්ට්ස් අතරින් තවත් අපි ආස කරන තැනක් තමයි ගෝල්ඩන් ඩ්‍රැගන් කියන්නේ. නියම චීන කෑම තියෙන ටාජ් හොටෙල් එකේ චයිනීස් ෆයින් ඩයිනින් රෙස්ටුරන්ට් එක වෙන ගෝල්ඩන් ඩ්‍රැගන් එකේ ලන්ච් සහ ඩිනර් ගන්න පුළුවන් කරදරයක් නැතුව. ඒ කට්ටියම කියන විදියට සාමාන්‍යයෙන් දෙන්නෙක්ට යන්නේ රුපියල් 5,000 ක් වගේ. ඉතින් විශේෂයෙන්ම හොටෙල් එකක ඕතෙන්ටික් චයිනීස් ෆයින් ඩයිනින් රෙස්ටුරන්ට් එකකින් බඩ පිරෙන්න කාලා රුපියල් 5,000 යි යන්නේ කියන්නේ ලොකු අවුලක් නෙවෙයි. ගෝල්ඩන් ඩ්‍රැගන් එකේ අපිට සෙට් වුණු මෙනු අයිටම්ස් කීපයක් ගැන කිවුවොත්, සෙෂුවාන් ස්පයිසි ලෝටස් රූට්, ගිංන්කෝ නට් සහ ෂිටාකි ප්ලේට් එක ගන්න පුළුවන්. ඒ ඇරෙන්න මේ අයගේ ෆ්‍රයිඩ් ප්‍රෝන් ඩම්ප්ලින්ග්සුත් මරු.
තැන මෙතන:
7. Mong Kok Chinese
වන් ගෝල්ෆේස් මෝල් එක ගැන තාම අපිට තියෙන්නේ මරු අදහසක්. වන් ගෝල්ෆේස් මෝල් එකේ ෆුඩ් කෝට් එක තියෙන විදිය පොඩ්ඩක් අංජබජල් කියලා අපිට හිතුණත්, වන් ගෝල්ෆේස් මෝල් එක ඇතුළේ තියෙන රෙස්ටුරන්ට් ගැන නම් අපි එහෙම හිතන්න ඉක්මන් වෙන්නෙ නෑ. විශේෂයෙන්ම සමහර රෙස්ටුරන්ට් සුපර්. ඒ සුපර් රෙස්ටුරන්ට් වලින් එකක් තමයි මොන්ග් කොක් චයිනීස් කියන්නේ. මේ අයගේ කෑම වල කොලිටිය මරු. නියම ඕතෙන්ටික් චයිනීස් තමයි. විශේෂයෙන්ම මේ කට්ටියගේ සෙෂුවාන් චිකන් ඩිෂ් ගැන සහ සීෆුඩ් ඩිෂ් ගැනත්, අමුතු අමුතු අයිටම්ස් අහුවෙන මෙනු එක ගැනත් අපේ තියෙන පැහැදීම ඉහළයි. මෙතන ගණන් ටිකක් වැඩියි කියලා හිතෙන පුළුවන්. හැබැයි මේ කට්ටියගේ ප්‍රොමෝෂන් ගැන පොඩ්ඩක් අවධානයෙන් හිටියනම් හරි. විශේෂයෙන්ම මෙතනට අපි ගියපු වතාවන් දෙකේදීම අපිට මොකක් හරි ප්‍රමෝෂන් එකක් සෙට් වෙලා එක්කෝ එකකට එකක් හරි ඩිස්කවුන්ට් හරි ලැබුණා.
තැන මෙතන:
8.Xilaton
මේ රෙස්ටුරන්ට් එක පටන් ගත්තු දවස් වල අපිට තැන හොයාගන්න අමාරු වුණේ නැති වුණත්, රෙස්ටුරන්ට් එකේ නම කියාගන්නේ කොහොමද කියන එක නම් ලොකු ප්‍රශ්නයක් වුනා. අපේ එකෙක් මේක ක්සිලටන් කියනකොට තව එකෙක් කියනවා නෑ මේක ෂිලටොන් කියලලු කියන්නේ. මොකක් හරි, නම කොහොම වෙතත්, ගියාට පස්සේ Xilaton එකේ චයිනීස් චෙෆ් ඇවිල්ලා අපිට කතා කළාට පස්සේ නම් ෂුවර් වුනා අපිට නියම චීන කෑමක් කන්න පුළුවන් කියලා. අපි මුලින්ම මේකෙන් රස බැලුවේ ඩොන්ග් පෝ බෙලි පෝක් එකයි, නූඩ්ල්ස් එකකුයි. එතන ඉඳන් අපිට පෝක් එක නම් අල්ලලා ගියා. හැබැයි වෙන ඒවා නම් සෙට් වුනේම නෑ. මේ කට්ටියගේ මෙනු එකත් සෑහෙන්න දිගයි. ඒ නිසා තෝරගන්න දේවලුත් ගොඩයි. හැබැයි ඉතින් අවංකවම කිවුවොත් අපිට මෙතන අර වෙනත් ඕතෙන්ටික් චීන රෙස්ටුරන්ට් වල වගේ නියම රසක් නම් දැනුනේ නෑ.
තැන මෙතන
:
Leave a Reply