විනාශයකින් වළකින්න තෙල් නැවක ඇති ආරක්ෂණ උපාය කීපයක්

තෙල් නැවක් ලංකාව ආසන්නයට ඇවිත් ගිනිගෙන තාම මාස දෙකකට වැඩිය නැහැ. තෙල් නැව පුපුරාගියොත් එයින් විය හැකි විනාසය ගැන දැඩි බියක් හැමෝටම තිබුණා. ඒ නිව් ඩයමන්ඩ් නැවේ පිපිරීමක් ඇතිවීම වළක්වගන්න අදාළ අංශ ඔක්කොම වගේ කැපවෙලා වැඩ කළා. තෙල් නැවක තෙල් ගෙනයෑම කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මේ සඳහා ගොඩක් ආරක්ෂණ ක්‍රමවේද පාවිච්චි කරනවා. එයින් සරල ක්‍රමවේද කිහිපයක් ගැන අපි දැන් බලමු.

 

1. තෙල් ගෙනියන නැවක හීට් කිරීම

තෙල් ගෙනියන නැවක් මොකටද ආයේ උණුසුම් කරන්නේ? තෙල් ගෙනියන නැවක් වුනත් අනවශ්‍ය විදිහට සීතල වුණොත් හෙම තෙල් ටැංකි පුපුරන්න ගන්නවා. ඒ නිසා තෙල් ටැංකි සහ එළියේ උෂ්ණත්ව වෙනස වැඩි වෙලාවට තෙල් ටැංකි ඒ සමාන උෂ්ණත්වයකට ගේන්න නැවෙන් ක්‍රමවේද සකසලා තියෙනවා. විශාල බොයිලේරු ආදිය මගින් වින්ටර් හෙවත් ශීතල සමයේදී තෙල් නැව් උණුසුම් කරනවා. නිවර්තන කලාපයේදී මේ ක්‍රමය අවශ්‍ය නොවුණත්, ශීතල වතුර තියෙන කලාප වලට නැව් යද්දි මේ නැව් උණුසුම් කරන උණුසුම් යාන්ත්‍රණය සක්‍රීය කරනවා.

 

2. පීඩනය පාලනය කිරීම

නැවේ තෙල් ගබඩා කිරීම කියන්නේ වෙහෙසකර වැඩක්. ලීටර ලක්ෂ ගණනක තෙල් නැවේ අගාර වලට යද්දි ඒ අගාර වල අභ්‍යන්තර පීඩනය වැඩි වුණොත් ඒක එච්චර හොඳ නැහැ. ඒ නිසා නැවේ තෙල් කුටීර වගේම වෙනත් බොයිලර් ආදියෙත් පීඩනය බලාගැනීම වැදගත් වෙනවා. මුල් කාලයේ නැව් වලට මේ සෑම එකකටම කටු සහිත ගේජ් තිබුණා. ඒත් දැන් තාක්ෂණය නිසා මේ පීඩනය මනින උපකරණ ඔක්කොම එකම තැනකින් බලාගන්න පුළුවන් වෙන්න ඔන්ලයින් තාක්ෂණය හරහා සකසා තියෙනවා. මේ පීඩන මාන වල පීඩනය වැඩි වී යම් සංකූලතාවයක් වුණොත් ඒ සඳහා එලාම් නිකුත් කරන්නත් ඒ අදාළ පද්ධති වගබලා ගන්නවා.

 

3. නැවේ කාර්යමණ්ඩලයේ කටයුතු

තෙල් නැවක අදාළ ස්ථානයෙන් පිටතදී දුම්බීම, ගිණිකූරු දැල්වීම තහනම්. එවැනි ක්‍රියා තුළින් නැවේ යම් කිසි පළිඟු ඇතිවීමක් සිදු වුවොත් කියන හේතුව නිසයි ඒවා තහනම් කරලා තියෙන්න්. නැව තුල තෙල් ගබඩා කොට ඇති කොටස් ආසන්නයේ සිට ජංගම දුරකතන සහ එවැනි උපකරණ පාවිච්චියත් තහනම් කරලායි තියෙන්නේ. කොටින්ම තෙල් නැවක කාර්යමණ්ඩලයේ ඒ ඒ කාර්යයන් සඳහා වෙනමම කලාපයක් තියෙනවා. තෙල් ගබඩා කරන කලාපය සහ ඒ කාර්යමණ්ඩල කටයුතු කරන කලාපය සෘජුවම වෙන් කරලායි තියන්නේ.

 

4. අලුත්වැඩියා කටයුතු

සාමාන්‍ය නැවක නම් නැවේ අලුත්වැඩියා කටයුතු සමහර ඒවා නැව ධාවනය වන විටත් සිදු කරනවා. ඒත් තෙල් නැවක වෙල්ඩින් වැනි තාපය පිටවන අලුත්වැඩියා කටයුතු නැව ගමනාගමනයේදී සිදුකරන්නේ ඉතා කලාතුරකින්. නැවේ එවැනි අලුත්වැඩියා කටයුතු වලට ගන්නා ඉලෙක්ට්‍රික් උපකරණ ආදිය ගිණි පළිඟු අඩු වෙන ලෙස නිමකරලා තියෙනවා. එවැනි උපාංග පාවිච්චියේදී ද තෙල් නැවකදි කාර්යමණ්ඩල අනුගමනය කරන්න ඕනි විශේෂ විධිවිදාන තියෙනවා.

 

5. අකුණු හරහා යාත්‍රා කිරීම අවම කිරීම

තෙල් නැවක තියෙන පද්ධති වලට විශේෂ අකුණු ආරක්ෂණ ක්‍රම තියෙනවා. ඒ වුනත් තෙල් නැවක් ගැඹුරු මුහුදේ යාත්‍රා කරද්දි නැව හැකිතාක් අකුණු සහිත කුණාටු අවස්ථා මග හැර යාත්‍රා කරන්නට වග බලා ගන්නවා. මන්ද අකුණු නිසා හටගන්නා තත්ත්වයන් තුළ නැවේ තෙල් වල වාෂ්ප ඇවිලීමට යම් ඉඩකඩක් තියෙනවා. මහ මුහුදේ කාලගුණය වෙනස් වීම ගැන හරියටම කියන්නට බැහැ. ඒත් අකුණු ඇතිවිය හැකි අවස්ථාවලදී නැවේ ගමන් මග මදක් වෙනස් කොට හෝ ප්‍රමාද කොට අකුණු අනතුරු වලින් ගැලවෙන්න නැව ධාවනයේදී ක්‍රියා කරනවා.

 

6. නැවේ ඩිසයින් එක

තෙල් නැවක් සැලසුම් කිරීමේදීම තෙල් නැවේ ආරක්ෂාව ගැන හිතනවා. තෙල් නැවක විදුලි පද්ධතිය, ගේජ් පද්ධති, නැවේ අවුට්ලට් ආදිය ගිනි අවදානම් අඩු වෙන්න සැලසුම් කරනවා. තෙල් නැවක සාමාන්‍ය නැවකට වඩා ටැංකි වල ඇති ඝනකම වැඩියි. එක පැත්තකින් තෙල් නැවක තෙල් වල බර දරාගන්නට ඕනි අනෙක් අතින් යම් කිසි බාහිරින් එන පීඩාවන් තියෙනවා නම් ඒවා නැවේ අභ්‍යන්තරයට දරාගන්නට හැකි වෙන්නට ඕනි. සාමාන්‍ය මගී නැව් තට්ටු ගණනාවකට සැලසුම කළත්, තෙල් නැව් එසේ තට්ටු එක පිට එක සිටින විදිහට සැලසුම් කරන්නේ නැහැ. තෙල් නැව් වල බොර තෙල් නැව් විශාලවත්, පෙට්‍රල් සහ ඩීසල් ගෙනයන නැව් කුඩාවටත් සාමාන්‍යයෙන් නිර්මාණය වෙනවා.

 

7. ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කිරීම

තෙල් නැවක් වරායට ඇතුළු කිරීම, තෙල් පැටවීම, බෑම, තෙල් නැව සුද්ධ කිරීම, අලුත්වැඩියා ආදී හැම දේකදිම තෙල් නැවේ ආරක්ෂාව වගේම පරිසරයට සිදුවන බලපෑම ගැනත් දැඩි අවධානයක් යොමු කරනවා. තෙල් නැවක ලීක් එකකින් විය හැකි විනාශය වැඩි නිසා තෙල් නැවක සිදුවන සෑම ක්‍රියාවලියක්ම නියමිත ආරක්ෂණ ක්‍රමවේද වලට සිදුකරන්නට බොහෝ තෙල් නැව් සමාගම් කටයුතු කරනවා. ඒ හරහා තෙල් නැව් අනතුරු අඩු කරන්නට කටයුතු කරනවා.

 

තෙල් නැවක ඇතිවන කාන්දුවකදි ඉන් පසු සිදුවිය හැකි විනාශය ගණනය කරන්නට අමාරුයි. ඒ වගේම වරායකදී සිදුවිය හැකි හානියකින්ද ජීවිත හානි පවා කෙලින්ම වාර්තා වෙන්නට පුළුවන්. ඒ නිසා තෙල් නැව් ගමනාගමනයේදී වගේම සෑම සියලු අවස්ථාවකදිම ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙනවා. එවැනි ආරක්ෂාව මගහැරී ගිය යම් අවස්ථාවක් වුණොත් ඒ අවස්ථාවන් ගැනත් දැඩි සැළකිල්ලක් දක්වනවා. තෙල් නැව් කියන්නේ තෙල් නැති රටකට බලශක්තිය රැගෙන එන ප්‍රවාහයක්. ඒ එක්ක තෙල් නැව් වලින් සිදුවන ආර්ථික බලපෑමත් විශාලයි. 

තෙල් නැව් වල ඔපරේෂන් වලදි සිදුවිය හැකි තත්ත්වයන් ගැන ඔයාලට මේ හරහා යම් දැනුමක් අවබෝධයක් ලැබෙන්නට ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *