හද දිනූ ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ චරිත

අපේ රටේ ජනතාවට ආශීර්වාදයක්ව පවතින සේවාවන් දෙකක් තියෙනවා. ඒ තමයි නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය. නමුත් අපේ රටේ බොහෝ දෙනෙක්ට ඒ සේවා දෙක ගැනම හරි අවබෝධයක් නෑ කියන එකනම් කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. සමහර විට මේ සේවාවන් දෙකම නොමිලේ ලැබෙන නිසා වෙන්නත් පුළුවන්. ඒ ගැන වැඩි දුරට කතා කරන්න ගියොත් එහෙම අපේ මාතෘකාවෙන් දුරකට යන නිසා අපි ඒ ගැන කතා කරන එක නවත්තලා අපේ මාතෘකාවට ආයෙත් එමු. අද කතා කරන්න යන්නේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් සුවිශාල මෙහෙයක් කරලා අපෙන් සමුගෙන ගිය චරිත කීපයක් ගැන.

 

1. ඩී. වී. ජේ හරිශ්චන්ද්‍ර

මෙතුමා අපේ රටේ ජනතාව අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වුණේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ එක්ක සිදු කරපු වැඩසටහන් මාලාවට සහභාගි වීම නිසා. එහිදී එතුමා තමන්ගේ ක්ෂේත්‍රය වුණු මනෝවිද්‍යාව සහ බුද්ධාගම ගැන ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළා. ලංකාවේ බොහෝ දෙනෙක් ශාරීරික අසනීපවලට ලොකු අවධානයක් ලබා දුන්නට මානසික රෝග ගැන තැකීමක් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට සිහිය විකල්වීම පමණයි මානසික රෝගයක් කියලා හිතන්නේ. නමුත් මෙතුමාගේ දැනුවත් කිරීම් හරහා බොහෝ දෙනෙක් මානසික රෝග පිළිබඳව නිවැරදි දැනුමක් ලබා ගත්තා.

 

2. ආරියසේන යූ. ගමගේ 

තමන්ගෙ මරණය දක්වාම තම යුතුකම  අත නොහැරපු වෛද්‍යවරයෙක් විදිහට ආරියසේන යූ. ගමගේ මහත්තයව හඳුන්වන්න පුළුවන්. තමන් පිළිකා රෝගයෙන් දැඩිව වේදනා විඳිද්දි පවා ඒ රෝගය ගැන ජනතාව දැනුවත් කරන්න එතුමා කටයුතු කළා. ළමයින්ගේ පෝෂණ අවශ්‍යතා, ලිංගික ගැටළු වගේ ක්ෂේත්‍රයන්  රැසක පැවතුණු දුර්මත දුරු කිරීමට එතුමා ප්‍රමුඛත්වය ගත්තා. ලේ දන්දීමේ කඳවුරු ලංකාව පුරා ජනප්‍රිය කිරීමටත් එතුමා සුවිශාල මෙහෙයක් සිදු කළා.

 

3. නන්දදාස කෝදාගොඩ 

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර දක්වා තමන්ගේ ක්ෂේත්‍රයේ ඉහළම පුටුවට ගිය නන්දදාස කෝදාගොඩ මැතිතුමා කාලයක් අන්තරායකර ඖෂධ නියාමන ආයතනයේ සභාපතිවරයා විදිහටත් කටයුතු කළා. මේ සමස්ත සේවා කාලය තුළදී එතුමා අපේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න වගේම රටේ ජනතාව දැනුවත් කරන්න විශාල මෙහෙයක් කළා. ඒ සඳහා සිංහල සහ ඉංග්‍රීසි දෙබසෙහිම දැක්වූ සන්නිවේදන කුසලතාවයත් එතුමට ලොකු පිටුවහලක් වුණා.

 

4. චන්ද්‍රසිරි නිරිඇල්ල 

අපේ රටේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ වඩාත් ගෞරවනීයම අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විදිහට ආචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ල හඳුන්වන්න පුළුවන්. ලංකාවේ මේ ක්ෂේත්‍රය ගැන සාමාන්‍ය ජනතාවට දැනගන්න ලැබුණේ එතුමා ලියපු පොත්පත්වලින්. හැමවිටම එතුමා තමන්ගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කළා. උදාහරණයක් විදිහට ගංගොඩවිල සෝම හිමියන්ගේ හදිසි අපවත් වීමෙන් පසුව සිදුකරන ලද මරණ පරීක්ෂණ වාර්තාව නිසා ඇතැම් අයගෙන් එතුමාට දැඩි දෝෂදර්ශන එල්ල වුණා. නමුත් එතුමා එවැනි ගල්මුල් ඉදිරියේ සැලුණේ නැහැ.

 

5. කාලෝ ෆොන්සේකා

 

මෑත ඉතිහාසයේ අපිට මුණ ගැහුණු විචිත්‍රම චරිතයක් විදිහට ආචාර්ය කාලෝ ෆොන්සේකාව හඳුන්වන්න පුළුවන්. කතරගම සිදුකරන ලද ගිනි පෑගීමේ පර්යේෂණය නිසා එතුමා මුළු ලංකාව පුරාම දැඩි ලෙස ආන්දෝලනයට ලක් වුණා. ඒවගේම ඇතැම් අවස්ථාවල එතුමන් දැරූ මත නිසා වෛද්‍ය ක්ෂේත්‍රයේම පිරිස් එතුමාට විරුද්ධව අවි අමෝරාගෙන නැගී සිටියා.

 

6. ඇන්ටන් ජයසූරිය 

අද ලංකාවේ ජනප්‍රියව පවතින විකල්ප  හෝමියෝපති වෛද්‍ය ක්‍රමය අපේ රටේ ජනප්‍රිය කරන්න මුල පුරපු කෙනෙක් විදිහට ඇන්ටන් ජයසූරිය මහත්‍තයව හදුන්වන්න පුළුවන්. ඒ වගේම කටු චිකිත්සාව ආරම්භ වුණේ චීනයේ නොව ලංකාවේ බවටත් එතුමා විසින් මතයක් ඉදිරිපත් කරනු ලැබුවා. නමුත් එතුමා මෙම ක්ෂේත්‍රය තුළ යම් තරමක් දුරට ආන්දෝලනාත්මක චරිතයක් බවත් නොකියාම බැහැ. ඇතැම් අවස්ථාවල එතුමා සිදු කරපු දේවල් ප්‍රශ්නකාරීයි.

 

7. සේනක බිබිලේ 

අද ලංකාවේ අපේ මිනිස්සු අඩු මිලට බෙහෙත් ගන්නවා නම් ඒ පින අනුමෝදන් වෙන්න ඕන ප්‍රධානතම පුද්ගලයා තමයි සේනක බිබිලේ මහත්තයා. අවසානයේදී ලංකාවට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වලා දීලා ඒ ප්‍රතිපත්තිය ගැන තුන්වැනි ලෝකයේ රටවල් බොහොමයක අවධානය යොමු වෙද්දී එතුමාට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. අපි ජාතියක් විදිහට එතුමාට ලබා දිය යුතු නිසි ගෞරවය ලබා දුන්නද කියන එකත් ප්‍රශ්නයක්.

 

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අති දැවැන්ත මෙහෙයක් කරපු මේ සුවිශේෂී චරිත ගැන ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට පළකරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ආටිකල් එක හැකි පමණ ෂෙයාර් කරන්න කියන කාරුණික ඉල්ලීමත් අපි කරන්න කැමතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *