මෑත කාලයේ දේශපාලනඥයන්ට එල්ල වූ විරෝධතා

අපේ රටේ හැමෝම පිළිගන්න දෙයක් තමයි දේශපාලනඥයෝ දූෂිතයි කියන දේ. හැබැයි හැමදාම මැතිවරණවලින් මේ දූෂිත දේශපාලකයෝ මැතිසබයට යනවා. ජනතාව අතරින් ඔවුන් ප්‍රතික්ෂේප වෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ වගේම එයාලා කරන ඕනම දේකට බොහෝ වෙලාවට කිසිම විරෝධයක් දක්වන්නේ නැතුව ඉන්නවා. හැබැයි මෑත කාලයේදී නම්  දේශපාලනඥයන්ට විරෝධය දක්වපු අවස්ථා කීපයක් අපි දැක්කා. අපේ මෙම සටහන එවැනි අවස්ථා කීපයක් ගැනයි.

 

1. මර්වින් සිල්වා

වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂය පැත්තට කරණමක් ගහලා ඉන්න මර්වින් සිල්වා, කාලයක් මහින්ද රාජපක්ෂටත් වඩා රාජපක්ෂවාදියෙක් වෙලා හිටියා. සමෘද්ධි නිලධාරියෙක් ගස් බැඳීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියක වූ නවීපිල්ලේට විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීම වගේ දේවල් හරහා රජය දේශීයවත් ජාත්‍යන්තරවත් අපකීර්තියට පත් කරන්න මුල් වෙච්ච පුද්ගලයෙක් විදිහට මර්වින් සිල්වා ආන්දෝලනාත්මක චරිතයක් වුණා. ජාතික රූපවාහිනියට කඩා වැදී එහි සේවකයෙක්ට පහරදීම නිසා කුපිත වූ සේවකයන් පැය ගණනාවක් පුරා මර්වින් සිල්වාව එම ආයතනයේ නිවාස අඩස්සියේ තබා ගත්තා. අවසානයේදී ඔහුව මුදවා ගැනීමට ආරක්ෂක අංශවලට මැදිහත් වෙන්න වුණා. ඒ ආරක්ෂාව යටතේ පිටතට ගියත් ඔහුට තීන්ත ප්‍රහාරයක් එල්ල වුණා. නමුත් මේ විරෝධය පෑම නිසා රූපවාහිනියේ සේවකයන් ගණනාවකට විවිධ අයුරින් වන්දි ගෙවීමට සිදුවුණා. අවස්ථා ගණනාවකදී රූපවාහිනී සේවකයන්ට දරුණු ගණයේ මැර ප්‍රහාර එල්ල වුණා.

 

2. චතුර සේනාරත්න, රාජිත සේනාරත්න ඇතුළු පිරිස

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂව අගමැති ධූරය සඳහා නැවතත් පත් කිරීම මුළු රටම අන්දුන්කුන්දුන් කිරීමට සමත් වුණා. ඒ අවස්ථාවේදී සේනාරත්න පිය පුතු යුගලය ඇතුළු දේශපාලනඥයන් පිරිසක් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වීමට උත්සහ දැරුවත් ජනප්‍රිය නළු රොජර් සෙනවිරත්න ඇතුළු රූපවාහිනී සේවකයන් පිරිසක් ඊට බාධා එල්ල කළා. මේ නිසා එම පිරිස මුදවා ගැනීමට ආරක්ෂක අංශවලට මැදිහත් වෙන්න වුණා. එහිදීත් මේ දේශපාලකයන් පසුපස පැමිණි පිරිස දැවැන්ත විරෝධයක් ඔවුන්ට එල්ල කළා.

 

3. රන්ජන් රාමනායක

මේ වසරේ මූල්‍ය ආයතනයකදී ලීසිං සහනයක් ලබා ගැනීමට ඒ වෙත ගිය පුද්ගලයෙකු එහි සේවකයන් අතින් මරණයට පත්වීම මුළු සමාජයම කම්පනයට පත් කළා. ඔහුට සාධාරණය පතා ලිසීං ආයතනවලට විරුද්ධව පිරිසක් විසින් මාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබුණා. නමුත් මෙම මාධ්‍ය හමුවීමට රන්ජන් රාමනායක පැමිණීම නිසා ඊට සහභාගී වූ පිරිස් දැඩිව විරෝධය දැක්වූවා. අවසානයේදී එම මාධ්‍ය හමුවෙන් රාමනායක මන්ත්‍රීවරයා ඉවත්ව ගියා.

 

4. පැතුම් කර්නර්

දියමන්තිය ලකුණෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කළ වෛද්‍ය පැතුම් කර්නර් ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළා. නමුත්  පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයෙක් වීමට අවශ්‍ය තරම් ඡන්ද ගණනක් ඔහුට ලැබී තිබුණේ නෑ. මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් ලංකාගම මාර්ගය පිළිබඳ ගැටළුව සොයා බැලීමට ඒ වෙත ගිය ඔහුට එම ප්‍රදේශයේ වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. පසුව කියවුණු පරිදි කර්නර් ඊට පක්ෂව අදහස් දක්වා තිබෙනවා. ඉන් දින කිපයක් ගතවන්නට පෙර ෆේස්බුක් අඩවියේ ගිණුමක් පිළිබඳව දැක්වූ අදහස් නිසා ඔහුව දැඩි විවේචනයට ලක්වීම සිදු වුණා.

 

5. ඉසුරු සුබසිංහ

මෑත කාලයේ සමාජ මාධ්‍ය ජාලය තුළ වැඩිම විරෝධයකට ලක් වු දේශපාලනඥයෙක් විදිහට ඉසුරු සුබසිංහව හඳුන්වන්න පුළුවන්. ලංකාවට paypal ලබාගැනීම සඳහා තමන් මැදිහත් වන බව පවසමින් එම සමාගමට ඊමේල් ලිපියක් යවන ලෙස ඔහු විසින් ඉල්ලනු ලැබුවා. නමුත් එම ක්‍රියාවලිය ඵලරහිත දෙයක් බව පැහැදිලි කරමින් විවිධ පාර්ශ්ව අදහස් පළ කරන්නට පටන් ගත්තා. ඇතැම් අය චෝදනා කළේ මේ හේතුවෙන් ලංකාවේ අය දැනට භාවිතා කරන paypal  පහසුකම් පවා අවහිර වී යා හැකි බවයි.

 

6. උදය ගම්මන්පිල සහ දුමින්ද දිසානායක 

පසුගිය වසරේ පැවති යොවුන් නාට්‍ය සම්මාන උළෙලේදී  දුමින්ද දිසානායක සහ උදය ප්‍රභාත් ගම්මන්පිල යන අයගෙන්  සම්මානය ලබා ලබාගැනීම තරුණ කලාකරුවන් දෙදෙනෙක් ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ඔවුන් තම සම්මානය ලබාගත්තේ එම අවස්ථාවේ වේදිකාවේ සිටි ශ්‍රියන්ත මෙන්ඩිස් අතින්. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිදුවූ ආණ්ඩු පෙරළියට විරෝධය පෑමක් ලෙස ඔවුන් මෙලෙස ක්‍රියා කර තිබුණා.

 

7. රනිල් වික්‍රමසිංහ 

පසුගිය මහ මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සංගම් රැස්වීමක් අතරතුර බොහෝ පිරිසක් ඔහුගේ නායකත්වයට එරෙහිව දිගින් දිගටම විරෝධය පළ කරා. එහෙත් සුපුරුදු ආකාරයෙන්ම එම ස්ථානයෙන් ලිස්සා යාමට රනිල් වික්‍රමසිංහ කටයුතු කරනු ලැබුවා. ඉන්පසුව එම සභාව සන්සුන් කිරීමට උත්සාහ කළ පාලිත රංගේ බණ්ඩාර, දයා ගමගේ වැනි දේශපාලනඥයන්ටද මේ ආකාරයෙන්ම විරෝධය එල්ල වුණා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *