Nvidia අළුත්ම RTX 3000 වීඩියෝ පෙරළිය

වීඩියෝ ගේම්ස් වලට සහ වීඩියෝ සංස්කරණ කටයුතු වලට තමයි අපිට සාමාන්‍යයෙන් බලගතු කම්පියුටර් එකක් ඕනි වෙන්නේ. ගේමර්ස්ලා අතර හාඩ්වෙයාර් ගැන තියෙන්නේ තරගයක්. හොඳම සුපිරි ගේමර් කෙනෙක්ට පොඩි ලැග් එකක්වත් නැති සුපිරි මැෂින් එකක් කියන්නේ ලොකු ඉලක්කයක්. අලුතින් එන රෙසලූෂන් වැඩි, ෆ්‍රේම් රේට් වැඩි, වීඩියෝ ගේම්ස් වල තියෙන අලුත් ඉෆෙක්ට්ස් වලට ඔරොත්තු දෙන සුපිරි වීඩියෝ කාඩ් එකක් දැන් සම්පූර්ණ ඩෙස්ක්ටොප්, ලැප්ටොප් පරිගණකයකටත් වඩා මිල අධික වෙනවා. ඒත් ගේමර්ස්ලා සහ වීඩියෝ එඩිටර්ස්ලා ඒවා මිලදී අරගෙන, ඒ අත්දැකීම සුපිරියටම ලබාගන්නවා. 

 

1. ගේම් සහ Nvidia

ගේම් වලට වීඩියෝ කාඩ් සප්ලයි කරන්න මූලික වශයෙන් කාණ්ඩ දෙකක් ඉන්නව. එයින් AMD සහ Nvidia තමයි ගේම් එකේ උඩම ඉන්නේ. එන් Nvidia, AMD වලට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නවා පර්ෆෝමන්ස් අතින්. ඒත් මිල අතින් ඒ AMD ප්‍රොසෙසර් වගේම වීඩියෝ කාඩ් පවා ලාබයි. APU හෙවත් සාමාන්‍ය ප්‍රොසෙසරයටම වීඩියෝ මෙමරියත් එකතු කරලා අලුත් ජාතියේ AMD Ryzen සීරීස් එකක් AMD අය පහුගිය වසර දෙකක කාලය තුළ රිලීස් කරලා වැඩිදියුණු කළා. ඒ හරහා ගොඩක් උඩ ගේම්ස් බැරි වුණත්, ඒ හයිබ්‍රිඩ් ප්‍රොසෙසර් හරහා AMD Vega Graphics 8, AMD Vega Graphics 11 ලෙසින් සාමාන්‍ය ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් වීඩියෝ මෙමරියක් ආවා. ඒක හාඩ්වෙයාර් සඳහා ලොකු මිල ගෙවන්න බැරි එන්ට්‍රි ලෙවල් ගේමර්ස්ලාට වැදගත් වුණා. ඒත් Nvidia අයගේ වීඩියෝ කාඩ් වල තිබුණ මහේශාඛ්‍ය පර්ෆෝමන්ස් වලට නම් AMD අයට එච්චරම කිට්ටු කරන්න අමාරු වුණා කියල තමයි සුපිරි ගේමර්ස්ලා කියන්නේ. 

 

2. කල්ගත වුණු අලුත් එක 

Nvidia Geforce අලුත් RTX 3000 සීරීස් එක මෙලොව එළිය දැක්කේ 2020 සැප්තැම්බර් මුල. මීට කලින් Nvidia RTX 2000 සීරීස් එක රිලීස් කරලා අවුරුදු දෙකකට විතර පස්සේ තමයි මේ අලුත් RTX 3000 කරළියට එන්නේ. 2020 මුලදිම මේ ගැන කතාබහ තිබුණත්, කොරෝනා තත්ත්වය සහ වෙනත් හේතු නිසා වැඩේ සැප්තැම්බර් වලට කල් ගියා. ඒ වගේම මේ වීඩියෝ කාඩ් ඇතුළත් කරලා හැදෙන හොඳ වීඩියෝ කාඩ් වල වෙනත් Asus, Biostar, MSI වර්ෂන් එන්න තවත් මාසයක් දෙකක් වත් යාවි කියලා තමයි ආරංචි මාර්ග කියන්නේ. සාමාන්‍යයෙන් ටෙකී දේවල් අලුතින් රිලීස් කරන විදිහට වෙනස් ආකාරයකට තමයි මේ පාර RTX 3000 රිලීස් කළේ. සමාගමේ CEO තමුන්ගේ ගෙදර කුස්සිය වගේ තැනක කරපු වීඩියෝවක් හරහා මේ වීඩියෝ කාඩ් සහ ඒවායේ පර්ෆෝමන්ස් ගැන ඉදිරිපත් කිරීමක් සරලව කරමිනුයි ඒ වැඩේ කළේ. 

 

3. අලුත් එකේ බලගතු කම

  GeForce RTX 3090 GeForce RTX 3080 GeForce RTX 3070
CUDA Cores 10,496 8,704 5,888
VRAM 24 GB GDDR6X 10 GB GDDR6X 8 GB GDDR6
Prices Starting At $1499 $699 $499
Release Date September 24 September 17 Available October

 

මේ වගුවේ තියෙන විදිහට අලුත් වීඩියෝ මෙමරි වර්ග තුනකින් ආවා. ඒත් පෙර වතාවන් වලට වඩා මේ වතාවේ මැද සහ මූලික මට්ටමේ වීඩියෝ කාඩ් වල මිල ගණන් සෑහෙන අඩුයි. ඒ වගේම පර්ෆෝමන්ස් වැඩියි. RTX 3090 කියන වර්ගයට ප්‍රොසෙසරය හරහා නොගොස් කෙලින්ම පරිගණකයෙන් මෙමරිය ලබාගන්න පුළුවන් හැකියාව තියෙන බවක් තමයි කියන්නේ. ඒ වගේම මේ මෙමරි කාඩ් තුනෙන් 3080,3090 දෙක අමුතුම අලුත් තාලේ කූලින් සිස්ටම් එක්ක ඇවිල්ල තියෙනවා. ඒ කූලින් සිස්ටම් එක මගින් රත්වීම වැඩි මේ වීඩියෝ කාඩ් ඉක්මනින්ම කූල් කරන්න කටයුතු කරනවා කියලා තමයි සමාගම කියන්නේ. කොහොම වුණත් කලින් වතාවන් වලට වඩා සාපේක්ෂව අඩු මිලකට පර්ෆෝමන්ස් වැඩි කරපු වර්ෂන් එකක් ආපු නිසා බොහෝ පිරිසක් මේ අලුත් විඩියෝ මෙමරි කරා යන්න බලාපොරොත්තුව ඉන්නවා. 

 

4. දැනට තියෙන අවුල් 

මේ වීඩියෝ කාඩ් වල දැනට තියෙන අවුල් විදිහට ඇතැම් තාක්ෂණික විශේෂඥයින් විවිධ හේතු කියනවා. සමහර විට මේ වීඩියෝ මෙමරි ASUS, MSI වගේ කම්පැනි හරහා එද්දි ඒ අවුල් නැතිවෙන්නත් පුළුවන්. ඔවුන්ගේ අලුත් ෆෑන් ක්‍රමය නිසා එක් පසකට පමණක් නොවෙයි, දිශාවන් දෙකකට ෆෑන්ස් වලින් නිකුත්වෙන රත් වූ හුළං ගමන් කරනවා. ඒ නිසා එක් එක් මදර්බෝඩ් කේසින් සහ අනෙක් උපාංග සවිකිරීම ගැන අවුලක් එන බව කියවෙනවා. ඒ වගේම මේ අලුත් වීඩියෝ කාඩ් වලට ලබාගන්න බලයත් කලින්ට වඩා වැඩිවෙලා තියෙනවා. මුල්ම 3070 කාඩ් එකට නැති වුණත් අනෙක් කාඩ් වලදි පවර් සප්ලයි එක ගැනත් පොඩ්ඩක් හිතන්න වෙනවා කියලා තමයි ටෙක් රිවිවර්ස්ලා කියන්නේ. සාමාන්‍යයෙන් ඉතා බලගතු මට්ටමේ 3090 දී කියන පර්ෆෝමන්ස් ඇත්තටම ගන්න පුළුවන්ද කියලා ගැටළුවක් තියෙනවා. ඒ කියන විදිහට ඒ වීඩියෝ මතකය තුළින් 8K , 60FPS අවුට් එක්ක ගන්න පුළුවන්. ඒත් ප්‍රායෝගික ලෝකයේ තවම ඒ ජාතියේ මොනිටර් සහ තිර නිෂ්පාදන සුලභ වෙලත් නැහැ. 

 

5. ප්‍රොසෙසරය බයිපාස් කිරීම යථාර්තයක්ද? 

නවතම RTX 3000වලදි පරිගණකයේ මූලික ප්‍රොසෙසරය හරහා නොගොස් කෙලින්ම දත්ත ග්‍රැෆික් කාඩ් එකට හැන්ඩ්ල් කරන්න හැකියාවක් ඇති බවක් ඒ මූලික ඉදිරිපත් කිරීමෙදි කියවුණා. ඒත් ඒක වෙන්නේ කොහොමද කියන එක ගැන වැඩි අවධානයක් යොමු වුණේ නැහැ. මදර්බෝඩ් එකේ ප්‍රොසෙසරය හරහා නොගොස් කෙලින්ම වීඩියෝ මතකයෙන් වැඩ ගන්න පුළුවන් වෙන එක තුළ මදර්බෝඩ් වගේම වින්ඩෝස් ආදී මෙහෙයුම් පද්ධතිත්, නවතම ගේම් ආදියත් ඒ වෙනුවෙන් සකසන්න වෙන බවක් කියවෙනවා. මොකද දැනට මේවා හැදිලා තියෙන්නේ දැන් තියෙන ආකිටෙක්චර් එක අනුව. එය වෙනස් වෙනවා නම් අවශේෂ දේවලුත් වෙනස් වෙන්නට ඕනි. 

 

6. නව ඇම්පියර් ආකිටෙක්චර් එක

අලුත් RTX 3000 වලදි පර්ෆෝමන්ස් වැඩිවෙන්න චිප් නිපදවීමේ නව ඇම්පියර් ආකිටෙක්චර් එක හේතු වුණ බවක් කියවෙනවා. ඒ ආකිටෙක්චර් එක තවමත් අලුත් නිසා මේ නිපදවෙන අලුත් වීඩියෝ මතක වලට ලබාගන්නා බලශක්තිය වැඩිවෙලා වගේම රත්වෙන ප්‍රමාණයත් සාපේක්ෂව වැඩිවෙලා තියෙනවා. ඒත් ඉදිරියේදී තාක්ෂණය ටිකක් පැතිරෙද්දි අඩු බලයකින් අඩුවෙන් රත් වෙලා වැඩි පර්ෆෝමන්ස් දෙන චිප්ස් ඇම්පියර් ආකිටෙක්චර් එක හරහා නිපදවාගන්න Nvidia අයට පුළුවන් වෙයි. මෙතැනදී විඩියෝ එකේ කොලිටි එක අඩු නොවී වැඩි ෆ්‍රේම් රේට් කරා යන්නත් ඇම්පියර් ආකිටෙක්චර් එක උදව් වෙනවා. 

 

7. දැන් තියෙන කාඩ් එක මාරු කරන්න කාලේ හරිද? 

වීඩියෝ කාඩ් එකක් ආපු ගමන් ඒකේ ත්‍රිල් එක ගන්න ඕනි වෙන සෙට් එකක් ඉන්නවා.  ඒ අය කොහොමත් අලුත් කාඩ් එකට යනවා. ඒ හැර දැනට තියෙන පවර්ෆුල් මෑතකදි ගත් වීඩියෝ කාඩ් එක අත හැරලා අලුත් එකට යන එක නම් එච්චර තේරුමක් නැති වෙයි. අලුත් ආකිටෙක්චර්, අලුත් පර්ෆෝමන්ස් ආවත් ඒවා හරහා හරියට වැඩගන්න ටෙක්නොලොජි ටියුන් වෙන්න තව ටික කලක් යනවා. ඒ වගේම දැනට තියෙන කාඩ් වල සුපිරි ඒවා වලින් දැන් තියෙන ගේම්ස් ගහන්න කිසිම අමාරුවක් වෙන්නෙත් නැහැ. ඒ නිසා තියෙන සුපිරි මෑතකදි මිලදීගත් කාඩ් එක විකුණලා අලුත්ම එකට යන්න ලොකු හේතුවක් නැති බවක් තමයි තාක්ෂණික විශේෂඥයින් කියා තියෙන්නේ. 

 

RTX වීඩියෝ කාඩ් එකේ අභ්‍යන්තර සැකැස්ම, එහි දියුණු වී ඇති තාක්ෂණික කරුණු ටිකක් බරසාර දේවල්. වීඩියෝ කාඩ් එකක් නම් ඒක ගෙනත් මදර් බෝඩ් එකට ප්ලග් කරලා වැඩේ ලේසි කරගන්න බලන අපිට ඒ පෙළක් දේවල් බරපතල වැඩියි. ඒ නිසා සැකැස්ම සහ තාක්ෂණය සම්බන්ධ සියුම් කාරණා මේ ආටිකල් එකේ නැහැ. ඉතින් අලුත් තාක්ෂණය හරහා අලුත් වෙන වීඩියෝ කාඩ් වලට උනන්දු අයට RTX 3000 සීරීස් එක ගැන යම් අදහසක්, හෝඩුවාවක්  මේ හරහා එන්නට ඇති.