අපි කලිනුත් කතා කරලා තියෙනවනේ බකට් ලිස්ට් ගැන. ඒ කියන්නේ මනුස්සයෙක්ට මැරෙන්න කලින් කරන්න ඕන වැඩ ලැයිස්තුවක් කියන එක. ඔය බකට් ලිස්ට් එකට ගිටාර් ගහන්න ඉගෙන ගන්න එකේ ඉඳලා, කැරිබියන් මුහුදේ කිමිදෙන්න යන එක දක්වා දේවල් ඇතුළත් වෙන්න පුළුවන්. හැබැයි ඉන්‍ටර්නැෂනල් ෆෙස්ටිවල් එකකට යන එක ඔය බකට් ලිස්ට් එකට ඇතුළත් කරලා තියෙනවද? මෙතනදී ඇත්තටම බකට් ලිස්ට් එකට එන්න ඕන කරන්නේ ඕනෑම ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල් එකකට යෑම නෙවෙයි. ඒ වෙනුවට තමන් ආස කරන, තමන්ට සෙට් වෙන ජාත්‍යන්තර මට්ටමේ ෆෙස්ටිවල් එකක් හෝ කීපයක් තමයි බකට් ලිස්ට් එකට එන්න ඕන. කොහොමහරි, අපි හිතුවා කාගේ කාගේත් බකට් ලිස්ට් එකට උදවුවක් විදියට, මේ විදියේ ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල්ස් කීපයක් ගැන පොඩ්ඩක් ලියන්න කියලා. බලන්න තමන්ට හරියන එකක් එතන තියෙනවද කියලා!
1. Tomorrowland
ලෝකේ ලොකුම මියුසික් ෆෙස්ටිවල් එකක් දකින්න බෙල්ජියම පැත්තේ රවුමක් ගහලා එමුද? ඇත්තටම ටුමාරෝලෑන්ඩ් කියන්නේ ලෝකේ සුවිශාලතම ඉලෙක්ට්‍රොනික් ඩාන්ස් මියුසික් ෆෙස්ටිවල් එකක්. ලෝකේ ඉන්න ඉලෙක්ට්‍රොනික් මියුසික් වලට සුප්‍රසිද්ධ වුණු ඩීජේලා ප්ලේ කරන, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්රැස් වෙන, අතිශයින්ම වර්ණවත් ජාත්‍යන්තර මියුසික් ෆෙස්ටිවල් එකක් වෙන ටුමාරෝලෑන්ඩ් සාමාන්‍යයෙන් සති අන්ත දවස් දෙකක් පුරාවට තමයි පැවැත්වෙන්නේ. හැබැයි ටුමාරෝලෑන්ඩ් කොයි තරම් ලෝකේ ජනප්‍රියද කියනවා නං, මේකේ ටිකට් මිනිත්තු ගාණක් ඇතුළතදී විකිණිලා අවසන් වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් EDM මියුසික් වලට ආස කෙනෙක්ට, ලෝකේ වටෙන්ම එන ඉලෙක්ට්‍රොනික් ඩාන්ස් මියුසික් ලෝලීන් එක්ක උරෙනුර ගැටිලා ලෝකේ විශිෂ්ටතම EDM ඩීජේස්ලා ප්ලේ කරන ටුමාරෝලෑන්ඩ් ෆෙස්ටිවල් එක අත්විඳින්න, සිත් මවිත කරවන විදියේ සුන්දරත්වය අත්විඳින්න අවස්ථාවක් ලැබෙන එක මාරයි. ආන්න ඒකයි මේක බකට් ලිස්ට් එකට ඇතුළත් වෙන්නම ඕන කියන්නේ!
2. Oktoberfest
ආයෙ ඉතිං ඔක්ටෝබර්ෆෙස්ට් නං ලංකාවෙත් තියෙනවනේ. හා නැද්ද? විශේෂයෙන්ම ලංකාවේ හොටෙල්ස් වලින් එහෙම ඕගනයිස් කරන ඔක්ටෝබර්ෆෙස්ට් එක ගැන කියනකොටම අපිට මතක් වෙන්නේ බියර්. හැබැයි ඔරිජිනල් ඔක්ටෝබර්ෆෙස්ට් එක කියන්නේ වෙනමම අත්දැකීමක්. ජර්මනියේ මියුනිච් වල පුරා සති දෙකක විතර කාලයක් තිස්සේ පැවැත්වෙන ඔක්ටෝබර්ෆෙස්ට් එක පටන් අරගෙන තියෙන්නේ 1810 ඔක්තෝබර් 12 වෙනිදා. ඒ, පස්සේ කාලෙක පළවෙනි ලුවී රජු විදියට කිරුළු පළන්, බැවේරියාවේ කිරුළ හිමි ලුද්විග් කුමාරයා සහ තෙරේසා කුමරිය අතර විවාහය සමරන්න. කොහොම වුනත් දැන් වෙනකොට ඔක්ටෝබර්ෆෙස්ට් කියන්නේ බියර් ගලා යන, මිලියන හයක විතර සෙනඟක් ලෝකේ පුරාම රටවල් වලින් ඇදිලා එන, විවිධාකාරයේ විනෝදජනක අංග රාශියක් තියෙන ජන උත්සවයක්. මේක ජර්මානු/බැවේරියානු සංස්කෘතිය අත්විඳින්නත්, හිතේ හැටියට විනෝද වෙන්නත්, පෙඟෙනකල් බියර් බොන්නත් හොඳ අවස්ථාවක්!
3. Holi
ලංකාවේ ඉන්න මනුස්සයෙක් නම්, හින්දි චිත්‍රපටි එහෙම බලලා තියෙනවා නම් කවදාවත් හෝලි උත්සවය ගැන නොදැන ඉන්න විදියක් නෑ. විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාවේ ප්‍රධානතම උත්සවයක් වෙන හෝලි උත්සවය දැන් ලංකාවේත් තැන් තැන් වල පැවැත්වෙන නිසා, මේ ගැන කොහොමටවත් නොදැන ඉන්න විදියක් නෑ. ඇත්තටම ඉන්දියානු සංස්කෘතික උත්සවයක් විදියට හෝලි උත්සවය ලෝකේ පුරාම පැවැත්වෙනවා. හැබැයි ඉතින් හෝලි උත්සවය සරුසාරෙටම පැවැත්වෙන්නේ ඒකේ නිජබිම වුණු ඉන්දියාවේ කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හෝලි උත්සවයේ විශේෂම අංගය වෙන්නේ විවිධ පාට වල කුඩු එකිනෙකාගේ ඇඟේ තවරාගනිමින්, පාට කුඩු එකිනෙකාට ගසා ගනිමින් විනෝද වෙන එක කියලා හින්දි ෆිල්ම් බලපු අපි හිතාගෙන ඉන්නවා. ඒ වගේම ඉතින් ලස්සන ගෑණු ළමයෙක්ව එහෙම යාලු කරගන්නත් හෝලි උත්සවේ මරු කියලා තමයි හින්දි ෆිල්ම් බලපු අපි හිතාගෙන හිටියේ. ඒවා කොහොම වුනත්, ඉන්දියාව පැත්තේ මාර්තු මාසෙදී එහෙම යනවා නම්, මේ සුන්දර, වෛවර්ණ ඉන්දියානු වසන්ත උත්සවයේ කොටස්කාරයෝ වෙන්න කෙනෙක්ට පුළුවන්.
4. Día De Los Muertos
Día De Los Muertos නැතිනම් මළවුන්ගේ දිනය කිව්වහම නිකං බය හිතෙනවා වගේ නෙහ්? හැබැයි ඇත්තටම මෙක්සිකෝ වල පැවැත්වෙන මළවුන්ගේ දිනය කියන්නේ එහෙම බය හිතෙන එකක් නෙවෙයි. ඊට වඩා ඒක මෙක්සිකානු සංස්කෘතිය එක්ක බැඳුණු විනෝද උත්සවයක්. හැබැයි ඇමරිකාවේත් මළවුන්ගේ දිනය මේ විදියට විනෝද උත්සවයක් විදියට සැමරෙනවා. මෙක්සිකෝවේ තරම් සංස්කෘතික විදියට නෙවෙයි හැබැයි. මෙතනදී ඇත්තටම වෙන්නේ කෑම, බීම එක්ක පාරවල් දිගේ පාටි දානවා වගේ සීන් එකක් තමයි. ඒ වගේම වෙස්මුහුණු පැළඳගෙන, විවිධ ඇඳුම් ඇඳගෙන හැලෝවීන් ලෙවල් එකෙන් සතුටු වෙන්නත් පුළුවන්. ඇත්තටම මළවුන්ගේ දිනය මේ විදියේ විනෝද උත්සවයක් වෙලා තියෙන්නේ, මෙක්සිකානු සංස්කෘතියේ හැටියට මළවුන් කියන්නෙත් තමන්ගේ ප්‍රජාවේම කොටසක් වීම තමයි. ඉතින් Día De Los Muertos කියන්නේ අනිවාර්යයෙන්ම බකට් ලිස්ට් එකේ තියෙන්න ඕන එකක්.
5. Carnival of Venice
වැනීසිය ගැන මොනවද දන්නේ? වැනීසියේ වෙළෙන්දාව දන්නවා. එතකොට වැනිසීය පිහිටලා තියෙන්නේ වතුරේ කියන එක, වැනීසියේ එහා මෙහා යන්න පුළුවන් බෝට්ටු වලින් කියන එකත් දන්නවා. හැබැයි වැනීසියේ මහා කානිවල් එක ගැන දන්නවද? ආන්න ඒක ගැන දැනගත්තොත්, කෙනෙක් අනිවාර්යයෙන්ම වැනීසියේ කානිවල් එක තමන්ගේ බකට් ලිස්ට් එකට දාගන්නවා. ඇත්තටම ඉතාලියේ වැනීසියේ පැවැත්වෙන මේ වාර්ෂික කානිවල් එක, ලෝකේ පුරාම කානිවල් පැවැත්වෙන කාලයකදී තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලෙන්ට් උත්සවයට පෙර. හැබැයි වැනීසියේ කානිවල් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ග්‍රේට් මස්කරේඩ් බෝල් එක. කොටින්ම කිවුවොත්, 18 වෙනි සියවසේ ඇඳුම් පැළඳුම් වලින් සැරසිලා, ඒ ශතවර්ෂයේදී ජනප්‍රිය වෙලා තිබුණු වෙස්මුහුණු වලින් සැරසිලා ග්‍රෑන්ඩ් ලෙවල් එකෙන් පාටි කරන්න පුළුවන්. හැබැයි මේ සැමරුම් බොහොම ගරුගාම්භීර ආකාරයකින් පැවැත්වෙනවා කියලා තමයි සමහරු කියන්නේ. කොහොම කළත්, වැනීසිය දකින එක පවා බකට් ලිස්ට් එකකට ඇතුළත් වෙන්න ඕන කාරණයක්නේ.
6. San Diego Comic-Con International
කොමික් කොන් ගැන කියනකොට ලංකාවේ ඉන්න කොමික් කොන් ෆෑන්ස්ලට ලොකූ අරුමයක් නෑ. ඇයි? දැන් ලංකාවේත් පිට පිට වසර කිහිපයක්ම කොමික් කොන් එකක් පැවැත්වුණු නිසා. හැබැයි ඉතින් ලෝකේ ජාත්‍යන්තර මට්ටමෙන් පැවැත්වෙන විශාලතම කොමික් කොන් එක තියෙන්නේ සැන් ඩියේගෝ වල. ඔය නියමම කොමික් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සැන් ඩියේගෝ කොමික් කොන් එකත් තමන්ගේ බකට් ලිස්ට් එකට ඇතුළත් කරගන්නවා. මෙතනදී ඇත්තටම දකින්න ලැබෙන්නේ කොමික් පොත් සහ ඒ ආශ්‍රිත දේවල් විතරක් නෙවෙයි. කොමික් ෆෑන්ස්ලට විනෝදය ලබන්න පුළුවන් දහසකුත් එකක් අංගයන්, සභහාගි වෙන්න පුළුවන් විනෝද අවස්ථාවන් වගේම මිලදී ගන්න පුළුවන් දේවලුත් ඇතිවෙන්න සැන්ඩියේගෝ කොමික් කොන් ඉන්ටර්නැෂනල් එකේ තියෙනවා. මේකටත් ලෝකේ වටෙන්ම කොමික් ලෝලියෝ එන්නේ ලක්ෂ ගාණෙන්. ඒ වගේම විවිධාකාරයේ ස්ටෝල් දාස් ගාණකුත් මේ කොමික් කොන් එකේ දැකබලාගන්න පුළුවන්.
7. Mardi Gras
මාර්ඩි ග්‍රා එහෙම නැතිනම් ෆැට් ටියුස්ඩේ නැතිනම් තඩි අඟහරුවාදා කියන්නේ ඇමරිකාවේ නිව් ඕර්ලියන්ස් වල තියෙන අතිවිශාල ක්‍රිස්තියානු සැමරුම් උළෙලක ආරම්භය. මේ අළු බදාදාට කලින් පැවැත්වෙන උත්සව වල අවසානයත් වෙනවා. කොහොම වුනත් මේ කානිවල් සමය සම්පූර්ණයෙන් ගත්තහමත්, සංචාරකයන්ට පිස්සු හැදෙන විදියේ කෑම, බීම, නොයෙකුත් අංගයන් තියෙන කාලයක්. එතකොට මේ මාර්ඩි ග්‍රා පෙළපාලියත්, සංචාරකයන්ට විනෝද වෙන්න වගේම තව ඇතිවෙනකල් කන්න සහ පාටි කරන්නත් හොඳ අවස්ථාවක්. විශේෂයයෙන්ම මේ ෆැට් ටියුස්ඩේ එක සමරන්නත් හැමතැනකින්ම විනෝදකාමියෝ එන නිසා වැඩේ තවත් ජොලි.
Leave a Reply