පොඩි ළමයින්ට ඇතිවෙන ගැටළුවක් කියල මාතෘකාවෙන් කිව්වට ඇත්තටම මේ ඔටිසම් කියන්නෙ පුද්ගලයෙකුගේ මුළු ජීවිත කාලෙටම බලපාන තත්ත්වයක්. හැබැයි පොඩිම කාලෙදි හඳුනාගන්න පුළුවන් නිසාත්, බොහෝවිට පාලනය කරන්න පුළුවන් නිසාත් තමයි මේ විදිහේ මාතෘකාවකින් අපි මේ කාරණය ගැන කතා කරන්න හිතුවේ. 2009 වර්ෂයේදී ලංකාවේ කරපු සමීක්ෂණයක ප්‍රතිඵල වලට අනුව අපේ රටේ අවුරුදු 18ත් 24ත් අතර තරුණ තරුණියෝ සෑම 93 දෙනෙකුගෙන් එක් අයෙකුටම මේ ඔටිසම් තත්ත්වය තියෙන බව කියනවා. හැබැයි මේ සමීක්ෂණයට පාවිච්චි කරල තියෙන සාම්පලය හරිම පොඩි එකක් නිසාත්, මේ වෙනකොට ලෝකයේ ඔටිසම් තත්ත්වය එන්න එන්නම වැඩි තත්ත්වයක් පෙන්නුම් කරන නිසාත් ඒ සංඛ්‍යා දත්ත අද වෙද්දී වැඩි මිසක් අඩුනම් වෙන්න බැහැ. කොහොම උනත් පොඩි දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම කෙනෙක්ම දැනුවත් වෙලා ඉන්නම ඕන තත්ත්වයක් මේක.
1. මොකක්ද මේ ඔටිසම් කියන්නෙ?
Autism එහෙමත් නැත්තම් autism spectrum disorder (ASD) කියන්නෙ මූලිකවම ස්නායු සම්බන්ධ රෝග තත්ත්වයක්. දරුවාගේ සන්නිවේදන හැකියාවන්, සමාජීය අන්තර්ක්‍රියා සහ පරිකල්පන ශක්තිය පිලිබඳ ගැටළුකාරී තත්ත්වයක්. මේ රෝග තත්ත්වයේදී සිදුවෙන්නෙ මොළයේ තොරතුරු සකස් කිරීමේ ක්‍රියාවලියට බලපෑම් ඇතිකිරීම සහ ඒ තොරතුරු ස්නායු හරහා සම්බන්ධ වීමට බාධා කිරීම කියල දළ වශයෙන් කිව්වත් මේකෙ ක්‍රියාවලිය මොකක්ද කියල හරිම පැහැදිළි කිරීමක් නම් කිසිම තැනක සඳහන් වෙන්නෙ නැහැ. පුංචි කාලෙදිම හඳුනාගන්න පුළුවන් තත්ත්වයක් වගේම හඳුනානොගෙන, නිසි පාලනයකින් තොරව තිබුනොතින් වයසෙන් වැඩුනට පස්සෙත් සාමාන්‍ය ජීවන රටාවක් ගෙනියන්න බැරි තරමට ගැටළුකාරී තත්ත්වයක්.
2. ඇයි මේ ඔටිසම් ඇතිවෙන්නෙ?
ඔටිසම් කියන රෝග තත්ත්වය ඇතිවෙන්න ප්‍රධානම හේතු විදිහට ජානමය සහ පාරිසරික තත්ත්වයන් කියන දෙකම වෛද්‍යවරු සඳහන් කරනවා. ගර්භනී කාලයේදී ඇතිවෙන අසාදන, රුබෙල්ලා, මත්පැන්, කොකේන්, කෘමිනාෂක සහ දූෂිත වායු වගේ කාරණා තමයි ප්‍රධානම හේතු විදිහට සඳහන් කරන්නෙ. ඒ වගේම අඩු උපත් බර, වයස්ගත දෙමව්පියන්ගේ දරුවෙක්ව ඉපදීම, පවුලේ වෙනත් අයට මේ තත්ත්වය පැවතීම, මින්පෙර පැවති වෛරස් රෝග තත්ත්වයන් වගේ හේතුත් මේ තත්ත්වය ඇතිවෙන්න බලපාන හේතු විදිහට සඳහන් වෙනවා.
3. විවිධ ඔටිසම් තත්ත්ව
මේ Autism Spectrum Disorder කියන රෝගයේ විවිධ තත්ත්වයන් මේ විදිහට හඳුන්වන්න පුළුවන්.
- Autistic Disorder – මේ තත්ත්වය තියෙන අයට කථන ප්‍රමාද, සමාජීය හා සන්නිවේදන ගැටළු සහ විශේෂයෙන්ම වෙනස් පුරුදු සහ ආසාවන් තියෙන්න පුළුවන්. මේ තත්ත්වයෙන් පෙළෙන රෝගීන් ගොඩක් වෙලාවට බුද්ධිමය දුර්වලතාවයන් සහිත පුද්ගලයින්.
- Asperger Syndrome – Autism තත්ත්වයේම මද වශයෙන් රෝග ලක්ෂණ පවතින මට්ටමක් තමයි මේ. භාෂා භාවිතය, සන්නිවේදනය හෝ බුද්ධිමය ගැටළු මේ අයට නැහැ.
- Pervasive Developmental Disorder – ඔටිසම් රෝගයට අදාළ සමහර රෝග ලක්ෂණ සහිත, ඒත් ඔක්කොම ලක්ෂණ නැති බොහෝවිට සමාජීය අන්තර්ක්‍රියා සහ සන්නිවේදන ගැටළු පමණක් මද වශයෙන් ඇති අය.
4. හඳුනාගන්නෙ කොහොමද?
මෙය ඉතා කුඩා කාලයේ, ඒ කියන්නෙ අවුරුදු 3ට පමණ කලින්ම හඳුනා ගන්න පුළුවන් තත්ත්වයක්. හැබැයි හඳුනා ගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. දරුවෙකුගේ චර්යා රටාවන් ගැන කොහොමත් ඕනම දෙමව්පියෙක් අවධානයෙන් ඉන්නවනෙ. රජයෙන් ලබාදෙන දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන් පොත අනුවත් දරුවාගේ විවිධ වර්ධන අවධි ගැන අපි අවධානය යොමු කරනවා. ඉතින් ඒ වර්ධන අවධි වලදී යම්කිසි වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරනවනම් විශේෂයෙන්ම ටිකක් වැඩි අවධානයක් දෙන්න ඕන.
මේ ඔටිසම් තත්ත්වයේ ප්‍රධානම රෝග ලක්ෂණය තමයි කථන ප්‍රමාදය. අවුරුද්දකට අඩු දරුවෙක්නම් කටින් විවිධ ශබ්ද නිකුත් නොකරනවානම්, දුරුවෙක් නිසි වයසට කතා නොකරනවානම්, එකම ශබ්ද හෝ වචන නැවත නැවත උච්චාරණය කරනවානම් වගේ මේ ඔටිසම් කියන තත්ත්වයේ ලක්ෂණ වෙන්න පුළුවන්. මේ ඔටිසම් රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ ගැන අපි මීට කලින් විස්තරාත්මකව කතා කළා, “මේ ලක්ෂණ පෙන්වනවානම් ඔබේ දරුවාටත් ඔටිසම් රෝග අවදානමක් තිබිය හැකියි” කියන ලිපියෙන්.
5. රෝග විනිශ්චය
මේ රෝගය හඳුනාගන්න සම්මත රුධිර පරීක්ෂණ හෝ ස්කෑන් පරීක්ෂණ වගේ කිසිම පරීක්ෂණයක් නම් නැහැ. හැබැයි සුදුසකම් ලත් වෛද්‍යවරයෙකුට දරුවාගේ වර්ධන ඉතිහාසය සහ හැසිරීම පරික්ෂා කරල මාස 18ක්, ඒ කිව්වේ අවුරුදු එකහමාරක් වගේ පුංචි කාලෙදිම මේ ගැටළුව හඳුනාගන්න පුළුවන්. ඒ නිසා දරුවාගේ හැසිරීම දකිනකොට මේ වගේ ගැටළුවක් කියලා පුංචිම හරි සැකයක් තියෙනවනම් සුදුසුකම්ලත් ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නන එක තමයි සුදුසුම පියවර.
6. ප්‍රතිකාර
කලිනුත් කිව්ව වගේ මේ ඔටිසම් කියන්නෙ සුව කළ හැකි රෝග තත්ත්වයක් නම් නෙමෙයි. හැබැයි පාලනය කරන්න පුළුවන්. එහෙම පාලනය කරල බොහෝදුරට සාමාන්‍ය ජීවිතයක් ගෙවන මට්ටමට රෝගියාව පත්කරන්න පුළුවන්. සමාජ සන්නිවේදන කුසලතා වර්ධනය, කථන චිකිත්සාව වගේ විවිධ චිකිත්සා වර්ග වගේම බාහිර ප්‍රතිකාර මගිනුත් එකිනෙකට වෙනස් මට්ටම් වලට ප්‍රතිකාර කෙරෙනවා. මේ ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙන්න පුළුවන්.
7. ඔටිසම් සහ පවුල
පවුලේ එක් දරුවෙකුට මේ ඔටිසම් තත්ත්වය තියෙනව කියන්නෙ ඒක පවුලේ හැම දෙනාටම විවිධාකාර විදිහට බලපාන්න පුළුවන්. දෙමව්පියන් රෝගී දරුවට වැඩි අවධානයක් යොමු කිරීම අනිත් දරුවන්ට වගේම ඒ යුවළගේ සම්බන්ධතාවයට, ගෙදර ආර්ථිකයට වගේ හුඟක් පැති වලට බලපාන්න පුළුවන්. ඒ වගේම අනිත් දරුවන් පාසලෙන්, සමජයෙන් විවිධ අපහසුතා වලට ලක්වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැටළුව ගැන නිරන්තරයෙන් පවුලේ සියළුදෙනා සාකච්ඡා කරල, අනිත් දරුවනුත් දැනුවත් කරල තියන ඒකෙන් බාහිරින් ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න වගේම ගෙදර අය අතරේ ඇතිවෙන්න පුළුවන් මතභේද උනත් පාලනය කරගෙන පවුලේ සමඟිය ආරක්ෂා කරගන්න පුළුවන්.
Leave a Reply