හමට වද දෙන රූපලාවණ්‍ය ගැටළු සහ විසඳුම්

රූපලාවණ්‍ය සහ කේෂලාවණ්‍ය කියන්නෙ ඉතින් කතා කරන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නැති මහ විශාල මතෘකානේ. හැබැයි අපේ ගැහැණු පාර්ශවය වැඩියෙන්ම උනන්දුත් මේ ගැන කතා කරනවටම තමයි. ඉතින් බලමුද මුහුණේ වගේම අතේ පයේ හමටත් වද දෙන සාමාන්‍ය රුපලාවන්‍ය ගැටළු මොනවද කියල?

මේවා සාමාන්‍යයෙන් හැමෝටම වගේ මුහුණ දෙන්න වෙන පොදු ගැටළු. හැබැයි මූලිකම හේතු නොදන්න නිසාම විසඳගන්න විදිහක් හුඟක් දෙනෙක් දන්නෙත් නැහැ. හැබැයි මේ කියන්න යන විස්තර ටික කියවලනම් මේ හැම ගැටළුවක් ගැනම හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි.

 

1. කුරුලෑ

කුරුලෑ කියන්නෙ ඉතින් තරුණ තරුණියෝ දෙගොල්ලොන්ටම මුහුණ දෙන්න වෙන අතිශය අමිහිරි අත්දැකීමක්නේ. ඒ වගේම තමයි හරිම පොදු ගැටළුවක්. අහන අහන කෙනා මේ කුරුලෑ වලින් පීඩා විඳිනවා. 

කුරුලෑ කියන්නෙ මුහුණ, බෙල්ල සහ පිටේ උඩ කොටසේ ඇතිවෙන බිබිලි තත්ත්වයක්. මේ කුරුලෑ ඇතිවෙන්නෙ හමේ රෝමකූප වලට යටින් තියන කුහරය මැරුණු සෛල සහ හමේ තියෙන තෙල් වලින් අවහිර වීම නිසයි. කුරුලෑ ඇතිවෙන්න මූලික හේතු කීපයක්ම තියෙන්න පුළුවන්. ශරීරයේ හෝර්මෝන නිෂ්පාදනය අධික වීම, මුහුණේ තෙතමනයට අවශ්‍ය තෙල් නිෂ්පාදනය කරන ග්‍රන්ථි වලින් අනවශ්‍ය ලෙස තෙල් නිපදවීම, පිටතින් මුහුණට බලපෑම් කරන දුහුවිලි වගේම සෞඛ්‍යදායී නොවන ආහාර පරිභෝජනයත් හේතු වෙනවා.

මේ හැම හේතුවක්ම අපිට ලේසියෙන්ම විසඳ ගන්න පුළුවන්. තෙල්, දුහුවිලි රැඳෙන්නේ නැතිවෙන්න මුහුණ නිතර හොඳින් පිරිසිඳු කරන එක තමා ලේසිම විසඳුම. ඒ වගේම තෙල් සහිත ආහාර, චොකලට් වගේ කෑම, උෂ්ණාධික ආහාර එහෙම පාලනයක් ඇතුව ගන්න. හෝර්මෝන ගැටළු වලට හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකින් සහ නිරන්තර ව්‍යායාමයෙන් ලේසි​යෙන්ම විසඳුමක් හොයාගන්න පුළුවන්.

 

2. කුරුලෑ ලප කැළැල්  

ඊළඟ ගැටළු​ව තමයි කුරුලෑ ලප කැළැල්. කුරුලෑ හොඳ කර ගත්තට කලින් ඇතිවුන ලප කැළැල් සහ මුහුණේ කුරුලෑ නිසා ඇතිවුන වලවල් හොඳ කරගන්නෙ කොහොමද ඉතින්? දරුණු විදිහටම හානිවුන මුහුණක් තියෙන කෙනෙකුටනම් ලේසර් වගේ ප්‍රතිකාර හරහා උදව්වක් ගන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව අපි හැමෝටම තියෙන සාමාන්‍ය කුරුලෑ කැළැල් ගැටළුවටනම් තියෙන හොඳම විසඳුම තමයි මුහුණට හොඳට සත්කාර කරන එක. මීට කලින් අපි කතා කළානෙ ගෙදරදීම කරගන්න පුළුවන් පහසු ෆේස් පැක්ස් ගැන. ඒ වගේ සත්කාරයක් මුහුණට කාලයක් තිස්සෙ කරනකොට පැල්ලම් ඉබේම මැකිලා යනවා. මුහුණේ වලවල් වලට හොඳම ප්‍රතිකාරයක් තමයි අයිස්කැට සත්කාරය. ඒ ගැනත් අපි මීට කලින් මුහුණ ලස්සන කරන ස්වභාවික රූපලාවණ්‍ය රහස් යටතේ කතාකළා.

 

3. Blackheads

බ්ලැක්හෙඩ්ස් කියන්නෙ මුහුණ මත ඇතිවෙන කලුපාට පුංචි වලවල් වගේ තත්ත්වයක්. මේකත් එක්තරා කුරුලෑ තත්ත්වයක්ම තමයි. හැබැයි කුරුලෑවක් වගේ එලියට පේන්නෙ නැතුවම මේ බ්ලැක්හෙඩ් ඇතිවෙන්න පුළුවන්. මේ බ්ලැක්හෙඩ්ස් හුඟක්ම ඇතිවෙන්නෙ තෙල්ගතිය වැඩිපුර තියෙන සමක් තියෙන අයටයි. 

මේ බ්ලැක්හෙඩ්ස් තියෙන හුඟක් දෙනෙක් කරන නරකම වැඩක් තමයි බ්ලැක්හෙඩ්ස් හූරලා හෝ මිරිකලා ඉවත් කරන්න උත්සාහ කිරීම. ඒකෙන් හමට හානිවෙන්න පුළුවන්. බ්ලැක්හෙඩ්ස් එන එක ව​ළක්වා ගන්න පුළුවන් ක්‍රම තමයි මේ.

  • තෙල් අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය නවත්වන්න.
  • තෙතමනය සහිත පරිසරයෙන් හැකිතරම් ඈත් වෙලා ඉන්න.
  • ඇල්කොහොල් සහිත නිෂ්පාදන හම මත භාවිතා කිරීමෙන් ව​ළකින්න.

 

4. Whiteheads

වයිට්හෙඩ්ස් කියන්නෙත් බ්ලැක්හෙඩ්ස් වගේම කරදරකාරී හම මත ඇතිවෙන සුදුපාට වලවල් වගේ තත්ත්වයක්. මේකත් කුරුලෑ වර්ගයක්ම තමයි. කලින් කිව්ව වගේම රෝමකූප වල තෙල්, මැරුණු සම සහ බැක්ටීරියා තැන්පත් වෙලා අවහිර වීමෙන් තමයි මේ වයිට්හෙඩ්ස් ඇතිවෙන්නෙ. හැබැයි මේ වයිට්හෙඩ්ස් ඇතිවෙන්න වැඩිපුරම හැකියාව තියෙන්නෙ වැඩිවිය පත්වීම, ආර්ථවය, ආර්ථවහරණය සහ ගර්භණීභාවය කියන අවධි වලදී. වයිට්හෙඩ්ස් වලටනම් ගොඩක් වෙලාවට ක්‍රීම් වර්ග හෝ වෛද්‍යවරයෙක් නිර්දේශ කරන ප්‍රතිකාර තමයි කරන්න ඕන. ඒත් කලින් කිව්ව වගේම මුහුණ නිතර පිරිසිඳුව තියාගන්න එකෙන් වයිට්හෙඩ්ස් ඇතිවෙන එක වළක්​වන්න පුළුවන්.

 

5. ඇස් යට කළුවීම  

ඇස් යාට කළුවීම කියන්නෙත් තරුණ වයසේ හුඟක් අයට තියෙන ගැටළුවක්. මේ තත්ත්වය හුඟක් වෙලාවට ඇතිවෙන්නෙ ඇස් අධිකව වෙහෙසට පත්වීම, ඒ කියන්නෙ නින්ද අඩුවීම, අධික මත්පැන් දුම්වැටි භාවිතය සහ හිරු එළියට අධිකව නිරාවරණය වීම නිසා. මේක සුවකරන්න අමාරු තත්ත්වයක්නම් නෙමෙයි. ඒත් පෙනුමට බොහොම කැත නිසා, වයස පෙනුමක් ඇතිකරන නිසා ඉක්මනින් හොඳ කරගන්න ඕන තත්ත්වයක්. ලේසියෙන්ම ගෙදරදී කරන සත්කාර වලින් මේ ඇස් යට ඇතිවෙන කළුපැහැය නැති කරගන්න පුළුවන්. කලිනුත් සඳහන් ක​ළ මුහුණ ලස්සන කරන ස්වභාවික රූපලාවණ්‍ය රහස් කියන ලිපියේම විස්තර කරලා තියෙන tea bags සත්කාරය මේකට හොඳ විසඳුමක්. ඒ වගේම දීර්ඝකාලීනව මේ ගැටළු​ව ඇති නොවෙන්න හොඳ නින්දක් වගේම හොඳ සෞඛ්‍ය පුරුදු වලටත් හුරු වෙන්න ඕන.

 

6. හම රැලි වැටීම

හම රැලි වැටීම කියන්නෙ වයසත් එක්ක සිද්ධ වෙන සංසිද්ධියක්. හැබැයි අධික වෙහෙස සහ සමට හරිහමන් සත්කාරයක් නොමැතිවීම කියන කාරණා මත වයසට කලින්ම හැම රැලිවැටෙන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය ලෙස හිරු කිරණට නිරාවරණය වීම නිසාත් මේ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. හැබැයි මුහුණට හොඳින් සත්කාර කිරීම සහ මුහුණට කරන ව්‍යායාම මඟින් ලේසියෙන්ම මේ ගැටළු​ව අඩු කරගන්න පුළුවන්.

 

7. වයසට ඇතිවෙන කළු ලප

වයසට යනවත් එක්කම මුහුණේ සහ අතපය වලත් හම මතුපිට ඇතිවෙන තද දුඹුරු හෝ කළු පැහැති ලප තමයි මේ කළු ලප නැත්තම් age spots කියල හඳුන්වන්නෙ. මොකක් හෝ බාහිර හේතුවක් නිසා හම මත නිෂ්පාදනය වෙන මෙලනින් ප්‍රමාණය ඉහ​ළ යෑමෙන් තමයි මේ age spots ඇතිවෙන්නෙ. මේ ගැටළු​වටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. ඒ වගේම ඇතිවෙන්න කලින්ම මේ ලප වළක්​වාගන්න මේ ක්‍රම අනුගමනය කරන්නත් පුළුවන්.

  • දහවල් අධික හිරු කිරණ හැකිතාක් මඟහැරීම.
  • හොඳ තත්ත්වයේ sunscreen එකක් දිනපතා ආලේප කිරීම.
  • ශරීරයේ කොටස් හිරු එළියට නිරාවරණය නොවන පරිදි ඇඳුම් මඟින් ආවරණය කිරීම. උදා – තොප්පි, අත්දිග ඇඳුම්, scarf  

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *