අපේ නූතන පරපුරේ ප්‍රසිද්ධ ලේඛකයෙකුත් කියපු විදියට “වයර් පොටක” සුන්දරත්වයක් තියෙන්න පුළුවන් තමයි. තාමත් අර වයර් තියෙන, 3.5mm ජැක් එකෙන් ෆෝන් එකට කනෙක්ට් වෙන හෙඩ්සෙට් එකක පොඩි අතීතකාමී ආතල් එකකුත් තියෙනවා තමයි. හැබැයි ඉතින් අද කාලේ අපේ වැඩ කටයුතුත් එක්ක බැලුවහම නම් අපිට සෙට් වෙන්නේම වයර්ලස් හෙඩ්සෙට් තමයි. ආයෙ දැන් කාලේ තියෙන හොඳ වයර්ලස් හෙඩ්සෙට් එකක් ගත්තහම, ෆෝන් එකේ බැටරි බහිනවා කියලා කරදරේකුත් නෑ. බෑග් එක ඇතුළේ වයර් පටලැවිලා, ගැටගැහිලා අලකලංචි වෙන්නෙත් නෑ. වයර් නැවිලා කැඩෙන නිසා හෙඩ්සෙට් එක විසි කරන්න වෙන්නෙත් නෑ. ඒ ඔක්කොටමත් වැඩියෙන්, වයර් තියෙන හෙඩ්සෙට් එකක තියෙන අපහසුවත් නෑ. සරල උදාහරණයක් ගමු. ජිම් එකට ගිහිල්ලා වර්ක් අවුට් කරන ගමන් මියුසික් අහන්න නම් සෙට් වෙන්නේ වයර් තියෙන හෙඩ්සෙට්ද? නෑනේ. අන්තිමට ඔය වයර් පටලැවිලා හදිසි අනතුරුත් වෙනවා හිටපු ගමන්. හැබැයි වයර්ලස් හෙඩ්සෙට් එක ගහගත්තා නම්, ෆෝන් එකත් පැත්තකින් තියලා නිවී සැනසිල්ලේ මියුසික් අහන ගමන් වර්ක් අවුට් එක කරන්න පුළුවන්. ඔය වගේ අද ලෝකේ අපිට වැඩ කටයුතු කරන ගමන් මියුසික් අහන්න, ෆෝන් කෝල් වලට සෙට් වෙන්නේම වයර්ලස් හෙඩ්සෙට් තමයි.
ආන්න ඒ නිසා අපි හිතුවා වෙළෙඳපොලේ මේ දවස් වල තියෙන හොඳ වයර්ලස් හෙඩ්සෙට්, ඉයර්බඩ් සෙට් කීපයක් ගැන විස්තර කියන්න!
1. Huawei Free Buds 3
ටිකක් ගණන් වැඩි ඉයර්බඩ් වයර්ලස් හෙඩ්සෙට් එකක් තමයි Huawei Free Buds 3 කියන්නේ. මේක පැය 4 ක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන් එක පාරක් චාර්ජ් කළාට පස්සේ. ඒ වගේම සෙන්සර්ස්, ටැප් කන්ට්‍රෝල් අනං මනං ඔක්කොමත් මේකේ තියෙනවා. එතකොට මේක ටිකක් වැඩි ගාණක් වෙන්න හේතුව මොකද්ද? Huawei කට්ටිය කියන විදියට මේ Free Buds 3 වයර්ලස් හෙඩ්සෙට් එකෙන් අපිට ස්ටුඩියෝ කොලිටි එකේ ඕඩියෝ අවුට්පුට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ලු. ඒ කියන්නේ සුපිරි කොලිටියට මියුසික් අහන්න පුළුවන් නිසාලු මේ විදියේ ගාණක් වෙන්නේ. මේක ලංකාවේ රුපියල් 31,000 ඉඳලා මිලකට ලබාගන්න පුළුවන්.
2. OPPO Enco W31
OPPO කියන්නේ දැන් දැන් ලංකාවේ තරුණ පරම්පරාවේ විශ්වාසය දිනාගනිමින් තියෙන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් OPPO කට්ටිය හඳුන්වලා දුන්නු ඉයර්බඩ් ස්ටයිල් එකේ නියම වයර්ලස් හෙඩ්ෆෝන්ස් අතුරින් OPPO Enco W31 කියන්නේ බොහොම විශ්වාසය තියන්න පුළුවන් වයර්ලස් හෙඩ්සෙට් එකක් කියලා තමයි කියවෙන්නේ. මේකේ තියෙන binaural low latency bluetooth තාක්ෂණය නිසා, වෙළෙඳපොළේ තියෙන මේ මට්ටමේ වයර්ලස් හෙඩ්සෙට් වලට සාපේක්ෂව ඉතාම අඩු ඩිලේ එකක් සහිතව හඬ සම්ප්‍රේෂණය සිද්ධ වෙනවලු. ඒ වගේම මේකේ Bass mode එකකුත් තියෙනවා, වඩාත් සුවිශේෂී මියුසික් එක්ස්පීරියන්ස් එකකට. එතකොට මේක පැළඳගෙන ඉන්නවා කියලා අඳුනාගන්න එහෙමත් සෙන්සර්ස් තියෙනවා. මේක ලංකාවේ ගන්න පුළුවන් රුපියල් 15,000 කට අඩු ගාණකට.
3. OPPO Enco W11
OPPO ලාගේම තවත් ඉයර්බඩ් ස්ටයිල් එකේ වයර්ලස් හෙඩ්සෙට් එකක් තමයි මේ. මේකේ විශේෂත්වය වෙන්නේ උඩින් කියපු හෙඩ්සෙට් එකට වඩා සෑහෙන්න දිගින් අඩු, වඩාත් සංයුක්ත නිමාවකින් යුක්ත වීම තමයි. මේකෙත් OPPO ලගේ binaural low latency bluetooth තාක්ෂණය තියෙනවා. ඒ වගේම වඩාත් ඉහළ කොලිටියක බේස් හඬක් එක්ක හොඳ මියුසික් එක්ස්පීරියන්ස් එකක් ලබාගන්න හැකියාවත් තියෙනවා. මේක රුපියල් 9,000 කට අඩු ගාණකට මිලදී ගන්න පුළුවන් ලංකාවේ.
4. Samsung Galaxy Buds
Samsung Galaxy Buds කියන්නේ වෙළෙඳපොලේ තියෙන තවත් කොලිටි ඉයර්බඩ් ස්ටයිල් වයර්ලස් හෙඩ්සෙට් එකක්. විශේෂයෙන්ම මේකේ සවුන්ඩ්ස් ගැන විස්තර කරලා තියෙන්නේ sound by AKG කියලා. ඒ කියන්නේ කොලිටි හෙඩ්ෆෝන් නිෂ්පාදනය කරන විශේෂිත බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම මේකේ තියෙන Ambient aware පහසුකම ඔන් කළාට පස්සේ, ඉතාම ඉහළ මට්ටමකින් වටේ තියෙන නොයිස් එක අඩු කරලා දෙනවා. ඒ වගේම Ambient mode එකට දැම්මොත්, අවට ශබ්ද හොඳින් අහන්න හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් එක චාර්ජ් එකකින් පැය 6 ක් වගේ පාවිච්චි කරන්න පුළුවන් මේ ඉයර්බඩ් සෙට් එක විනාඩි 15 ක් ක්වික් චාර්ජ් කරලා පැය 1.5 ක විතර වෙලාවක් පාවිච්චි කරන්නත් පුළුවන්ලු. මේක රුපියල් 20,000 අවට මුදලකට ලබාගන්න පුළුවන් මේ වෙනකොට.
5. JBL Tune Wireless
සාමාන්‍යයෙන් JBL කියන බ්‍රෑන්ඩ් එක දැක්ක හැටියේ අපේ හිතට එන කාරණාව වෙන්නේ ෂුවර් එකටම සුපිරි කොලිටියට මියුසික් අහන්න පුළුවන් ඇති කියලා තමයි. ඒක තමයි JBL ගැන තියෙන විශ්වාසය. එතකොට මේ JBL Tune Wireless Earbuds ගැනත් ඒ විශ්වාසයම තියාගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ තියෙන JBL Pure Bass sound එක ඉතාම ඉහළ කොලිටියක මියුසික් අහන්න අවකාශය දෙනවා කියලා තමයි කියවෙන්නේ. ඒ වගේම මේකේ ඩිසයින් එකත් බොහොම අපූරුයි. පැය 4 ක් එක චාර්ජ් එකකින් භාවිතා කරන්නත් පුළුවන්. මේ වෙනකොට ලංකාවේ රුපියල් 20,000 ක වගේ ගාණකට JBL Tune 220TWS Wireless Earbuds මිලදී ගන්නත් පුළුවන්.
6. Xiaomi Redmi Airdots
මේ තියෙන්නේ බොහොම ලාබෙට ගන්න පුළුවන් වයර්ලස් හෙඩ්සෙට් එකක් නැතිනම් වයර්ලස් ඉයර්බඩ් සෙට් එකක්. හැබැයි ලාබ වුනාට කොලිටියේ අඩුවක් නෑ කියලා තමයි Xiaomi කට්ටිය කියන්නේ. මේක IPX4 වෝටර්පෘෆ් නිසා දාඩිය දාන වෙලාවක වුනත්, පොද වැස්සක වුනත් මේ ඉයර්බඩ් දාගෙන ගියා කියලා අවුලක් නෑ. මේකේ පාලනයට බට්න්ස් දෙකක් තමයි තියෙන්නේ. ඕන නම් කෝල්ස් වලට විතරක් එක ඉයර්බඩ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ Xiaomi Redmi Airdots වල ගාණ ගත්තොත් රුපියල් 5000 ට අඩුවෙන් ගන්න තියෙනවා.
7. Apple AirPods 2
ඇපල් පාවිච්චි කරන අයට නම් එයාර්පොඩ්ස් ගැන අමුතුවෙන් කියලා දෙන්න වුවමනාවක් නැහැනේ. මේකේ ඩුවල් බීම්ෆෝර්මින් මයික්‍රෆෝන් වගේම ඩුවල් ඔප්ටික් සෙන්සර්ස් තියෙනවා. ඒ වගේම චලනයන් හඳුනාගන්න, කතා කරනවා කියලා අඳුනගන්න ඇක්සෙලොමීටර් සෙන්සර් දෙකකුත් තියෙනවා. බොහොම සරල ටැප් කීපයකින් මේක පාලනය කරන්නත් පුළුවන්. චාර්ජින් කේස් එකක් එක්ක තමයි එන්නේ. මේක එක පාරක් චාජ් කළහම පැය 5 ක් විතර යනකල් මියුසික් එහෙම අහන්නත්, පැය 3 ක් විතර ෆෝන් කෝල් එකක කතාකරන්නත් පුළුවන් ලු. ගාණ වෙන්නේ දළ වශයෙන් රුපියල් 30,000 කට අඩුවෙන්.
අපි මේ මිල ගණන් හොයාගත්තේ මේ මොහොතේ ඔන්ලයින් දකින්න ලැබෙන මිලගණන් ඔස්සේ කියන එක මතක තියාගන්න ඕන. සමහර වෙලාවට මේ මිල ගණන් තවත් තැනක සෑහෙන්න වෙනස් වෙන්න පුළුවන්. කාලයත් එක්කත් වෙනස් වෙන්න පුළුවන්.
Leave a Reply