සුන්දර, නිරෝගී කෙස් කළඹකට ගෙදරදීම හදාගන්න පුළුවන් හෙයා මාස්ක්ස් 7ක්

කාළගුණේ වෙනස් වීම් එක්ක අපේ ශරීර ස්වභාවය වෙනස් වෙන නිසා කාලෙන් කාලෙට කොණ්ඩෙ හැලී​ම, කෙස් වියළීම, තුනීවීම, හිස්කබල කසන්න සහ වියළෙන්න ගැනී​ම වගෙ නොයෙක් ගැටළු ඇති වෙනව. මේක කාන්තා පිරිමි අපි හැමෝටම පොදු ගැටළුවක්. අද ලයිෆි බියුටි ආර්ටිකල්ස් වලින් අපි හිතුව සැලෝන් නොයා හිසකෙස් වලට සත්කාර කරන්න ඔයාලව කුස්සියට එක්කන් යන්න. ඔව් හිතුව හරි… ගෙදරදීම ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් හදාගන්න පුළුවන් හෙයා මාස්ක් ටිකක් ගැන තමා මේ කියන්න හදන්නෙ.

 

මොනවද මේ හෙයා මාස්ක් කියන්නෙ මොකක්ද ඒකෙන් වෙන්නෙ?

 

ඔක්කොටම කලින් ඒක දැනගෙන ඉන්න එපැයි නේද? හෙයා මාස්ක් එකක් කියන්නෙ ඩීප් කන්ඩිෂනින් ට්‍රීට්මන්ට් එකක්. කොණ්ඩෙට අපි ගා​න හෙයා කලර්ස් වලින්, එදිනෙදා පාවිච්චි කරන ස්ප්‍රේ සහ ජෙල් වලින් වගෙම හිරු එළියෙන් වගේ සිද්ධ වෙන හානිය අවම කරගෙන කොණ්ඩයට නිසි පෝෂණ​ය සපයන එක තමයි හෙයා මාස්ක් එකකින් වෙන්නෙ. උඩ කිව්ව වගේ කාළගුණේ වෙනස් වීම් නිසා ඇති වෙන බලපෑම් වලටත් මේ මාස්ක් දැමීම හොඳම පිළියමක්. මේක සතියකට වතාවක් කිරීම හොඳටම ප්‍රමාණවත්. හෙයා මාස්ක් එකේ ස්වභාවය අනුව විනාඩි 3 ඉඳන් සම්පූර්ණ රැයක්ම තියාගන්න වෙන හෙයා මාස්කුත් තියෙනව. 

 

1. අලිගැටපේර සහ ඔලිව් ඔයිල් මාස්ක්

හෙයා ස්ටයිල් වලින්, කලර් කිරීමෙන්, පරිසර දූ​ෂණයෙන් හානි වෙන හිසකෙස් වලට පිළියම් කරන්න තමයි මේ මාස්ක් එක වැදගත් වෙන්නෙ. 

 

අවශ්‍ය වෙන්නෙ,

 

  • අලිගැට පේර ගෙඩි භාගයක්
  • බිත්තරයක්
  • ඔලිව් තෙල් මේස හැන්දක්
  • මී පැණි මේස හැන්දක්

 

මේ ටික සේරම තලපයක් වගේ වෙන්න කලවම් කරගන්න. හොඳින් තෙමාගෙන වැඩි පුර වතුර මිරිකගත්ත කෙස් වල අගිස්සෙ ඉඳන් උඩට හෙමින් හෙමින් ආලේප කරන්න. හිස් කබලේ තවරා ඇඟිලි තුඩු වලින් මසාජ් කරන්න. කොණ්ඩෙ උඩට කරල බැඳගෙන ශවර් කැප් එකකින් වහල විනාඩි 30ක් තියල සෝදා, සාමාන්‍ය විදියට ෂැම්පු කරල කන්ඩිෂනර් කරල නාන්න.

 

2. කුරුඳු කුඩු සහ පොල් තෙල් මාස්ක්

කොණ්ඩෙ වැවෙන්නෙ නෑ කියල දුක් වෙන අයට මෙන්න මේ මාස්ක් එක වඩාත් සුදුසුයි. හිස් කබලේ තවරා මසාජ් කරන එකෙන් රුධිර සංසරණය හොඳින් සිද්ධ වෙලා නිරෝගී සුන්දර කෙස් කළඹක් ලබාගන්න පුළුවන්.

 

අවශ්‍ය වෙන්නෙ,

 

කුරුඳු කුඩු සහ පොල් තෙල් සම ප්‍රමාණයෙන් 

 

මේ දෙක හොඳින් මිශ්‍ර කරගන්න. හිසකෙස් මුල් වල සහ හිස්කබලේ තවරා හොඳින් මසාජ් කරන්න. කොණ්ඩෙ උඩට කරල බැඳගෙන, ශවර් කැප් එකකින් වහල විනාඩි 30-45ත් අතර කාලයක් තියෙන්නට හැර සෝදා, සාමාන්‍ය පරිදි ෂැම්පු සහ කන්ඩිෂනර් යොදා සෝදන්න.

 

3. බිත්තර සුදුමද සහ ලෙමන් මාස්ක්

අධික තෙල් ගතියෙන් යුතු හිසකෙස් සඳහා මේ මාස්ක් එක සුදුසුයි. හිස් කබලේ අධික තෙල් ගතිය නිසා කුණු දූවිලි රැඳීම වැඩි වෙන නිසා හිසකෙස් හැලෙන්නත් මුහුණේ කුරුලෑ ඇති වෙන්නත් ඉඩ තියෙනව. 

 

අවශ්‍ය වෙන්නේ,

 

  • බිත්තර සුදු මදයක්
  • ලෙමන් ගෙඩි භාගයක යුෂ

 

හිසකෙස් අගිස්සේ ඉඳන් හිස්කබලේ තවරා, ශවර් කැප් එකකින් වහල විනාඩි 30ක් හෝ 45ක් තියෙන්නට හරින්න. ඉන්පසු මද උණුසුම් ජලයෙන් සෝදා හැර සාමාන්‍ය පරිදි ෂැම්පු සහ කන්ඩිෂනර් යොදා සෝදාහරින්න.

 

4. ග්‍රීන් ටී සහ ඇපල් සයිඩර් විනාකිරි මාස්ක්

නිතරම කසන හිස් කබලක් ඇති කෙනෙක්ට මේ මාස්ක් එක සුදුසුයි. හිස් කබල කසන්න මූලිකවම හේතු වෙන්නෙ වියළීම. මේ තත්ත්වය වළක්ව ගන්න මේ මාස්ක් එක සාර්ථක පිළියමක්.

අවශ්‍ය වෙන්නේ,

 

  • ග්‍රීන් ටී කප් 1
  • පෙපර්මින්ට් ඔයිල් බිංදු 2
  • ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක්

 

මේ ටික හොඳින් මිශ්‍ර කර හිස්කබලේ තවරා, ශවර් කැප් එකකින් වහල විනාඩි 5-6ක් තියෙන්නට හැර හෝදා හරින්න.

 

5. මී පැණි, ඇපල් සයිඩර් විනාකිරි සහ පොල් තෙල් මාස්ක්

කිසිම පෝෂණීය පෙනුමක් නැති වියළි කෙස් කළඹකට නැවුම් සහ නිරෝගී පෙනුමක් ලබාදෙන මාස්ක් එකක් මේ.

 

අවශ්‍ය වෙන්නේ,

 

මී පැණි, ඇපල් සයිඩර් විනාකිරි සහ පොල් තෙල් සම ප්‍රමාණයෙන්

 

මේ ටික හොඳින් මිශ්‍ර කර තෙත හිසකෙස් මත ආලේප කරන්න. ශවර් කැප් එකකින් වහල විනාඩි 20ක් තබා සෝදා, ෂැම්පු කර කන්ඩිෂනර් දමා සෝදා හරින්න.

 

6. පොල් තෙල්, සීනි සහ පෙපර්මින්ට්, ටී ට්‍රී තෙල් මාස්ක්

හිස් හොරි ගැටළුවෙන් පීඩා විඳින කෙනෙක්ට මේ මාස්ක් එක ඉතාම හොඳයි. ටී ට්‍රී සහ පෙපර්මින්ට් තෙල් සුපිරි වෙළඳ සැල් වල වගේම බෙහෙත් කඩ වලිනුත් ලබාගන්න පුළුවන්.

 

අවශ්‍ය වෙන්නෙ,

 

  • පොල් තෙල් මේස හැඳි 2
  • සීනි තේ හැඳි 4
  • පෙපර්මින්ට් ඔයිල් බිංදු 5
  • ටී ට්‍රී ඔයිල් බිංදු 2

 

මේ සේරම හොඳින් මිශ්‍ර කරගෙන තෙත හිසකෙස් අතරින් හිස් කබලේ තවරන්න. සමානව හිස් කබල පුරාම තැවරුනාට පස්සෙ විනාඩි දෙක තුනක් හිමින් මසාජ් කරන්න. ශවර් කැප් එකකින් වහල විනාඩි 15 20 තියෙන්නට හැර සාමාන්‍ය පරිදි සෝදා හරින්න. 

 

7. මී පැණි, බිත්තර සහ ඇපල් සයිඩර් විනාකිරි මාස්ක්

වියළි හිසකෙස් සඳහාම උචිත මාස්ක් එකක්. හිසකෙස් වල තෙතමනය නැවත ලබාගන්න ඉතාම හොඳ මාස්ක් එකක් මේ. වඩා හොඳ පෝෂණ​යක් සඳහා ඕනෑම හිසකෙස් වර්ගයකට මේ මාස්ක් එක පාවිච්චි කරන්න පුළුවන්.

 

අවශ්‍ය වෙන්නෙ,

 

  • මී පැණි තේ හැන්දක්
  • බිත්තරයක්
  • ඇපල් සයිඩර් විනාකිර් මේස හැන්දක්

 

මේ ටික එකට මිශ්‍ර කරගෙන කොණ්ඩයේ සහ හිස් කබලෙහි තවරා, ශවර් කැප් එකකින් වහල විනාඩි 30- 40ක් තියාගෙන සාමාන්‍ය පරිදි සෝදා හරින්න.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *