හැමදාම ජූස් බොන ඔරේන්ජ් වලින් ඩෙසර්ට් 7ක් හදාගනිමු

ඔරේන්ජ් වලින් ජූස් විතරක් නෙමෙයි රසවත් ඩෙසර්ට් ටිකක් හදාගන්න හැටි අද කියලා දෙනවා. පාටි එකකට, ෆැමිලි ගැදරින් එකකට වගේ ලස්සන ඕනම ඉවෙන්ට් එකකදි කෑම මේසෙ ලස්සනට තියන්න පුළුවන් ඩෙසර්ට් ටිකක් තමයි මේ.

 

1. ඔරේන්ජ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ලෙල්ල පිටින් කෑලි කපාගත් දොඩම් ගෙඩි 1
  2. බිත්තර 2
  3. සීනි කෝප්ප 1/2
  4. වෙජිටබල් ඔයිල් කෝප්ප 1/2
  5. පාන්පිටි කෝප්ප 1
  6. බේකින් පව්ඩර් තේ හැඳි 1
  7. බේකින් සෝඩා තේ හැඳි 1/2

 

  • දොඩම් කෑලි වලට බිත්තර, සීනි හා තෙල් එකතු කරලා බ්ලෙන්ඩ් කරගන්න.
  • පාන්පිටි වලට බේකින් පව්ඩර් හා බේකින් සෝඩා එකතු කරලා හලාගන්න. හොඳට බ්ලෙන්ඩ් කරගත් දොඩම් මිශ්‍රණයට පිටි ටික ටික කලවම් කරමින් ලී පත්තකින් මිශ්‍ර කරගන්න. 
  • බේකින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න.

 

2. ඔරේන්ජ් බ්‍රවුනීස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බටර් ග්‍රෑම් 180
  2. සීනි ග්‍රෑම් 350
  3. ග්‍රේට් කරගත් දොඩම් පොතු කෝප්ප 1/4
  4. දොඩම් යුෂ කෝප්ප 1/2
  5. ඩාක් චොක්ලට් ග්‍රෑම් 120
  6. බිත්තර 4
  7. චොක්ලට් පව්ඩර් ග්‍රෑම් 40
  8. පාන්පිටි ග්‍රෑම් 80

 

  • භාජනයක් ලිපේ තියලා බටර් ටික මෙල්ට් කරගන්න. සීනි ටිකත් දාලා හැඳි ගාන්න. මේකට දොඩම් පොතු හා යුෂ ටික එකතු කරන්න.
  • ඒකට ඩාක් චොක්ලට් ටික දාලා මෙල්ට් වෙනකල් හැඳිගාන්න.
  • බිත්තර ටික වෙනම බීට් කරලා මේකට එකතු කරන්න. චොක්ලට් පව්ඩර් හා පාන්පිටි එකතු කරගන්න.
  • තව ටිකක් හැඳිගාලා ලිපෙන් බාලා ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න.

 

3. ඔරේන්ජ් ජෙලි ඩෙසර්ට්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. දොඩම් යුෂ කෝප්ප 3
  2. කෝන්ෆ්ලා මේස හැඳි 4
  3. සීනි කෝප්ප 1
  4. ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 1

 

  • භාජනයක් ලිපේ තියලා දොඩම් යුෂ හා සීනි දාලා හැඳිගාන්න.
  • කෝන්ෆ්ලා වලට වතුර ටිකක් දාලා කලවම් කරලා දොඩම් මිශ්‍රණයට දාගන්න. කැටි නැතිවෙනකල් හොඳට හැඳිගාන්න. 
  • අඩු ගින්දරේ අඩිය අල්ලන්නෙ නැති වෙන්න විනාඩි 20ක් විතර හැඳිගාන්න. ටික ටික මිශ්‍රණය තික් වේගෙන එයි. බුබුළු දාලා නටනකොට ලිපෙන් බාගන්න.
  • බටර් ගාගත් මෝල්ඩ් ට්‍රේ එකක මේක වක්කරලා සෙට්වෙනකල් ෆ්‍රිජ් එකේ තියන්න.
  • සෙට් උනාට පස්සෙ ඩීමෝල්ඩ් කරලා කැමති හැඩයකට කපාගෙන ඩෙසිකේටඩ් කොකනට් වල තවරගන්න.

 

4. ඔරේන්ජ් හල්වා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. දොඩම් ගෙඩි 2ක යුෂ
  2. කෝන්ෆ්ලා කෝප්ප 1/2
  3. සීනි කෝප්ප 1
  4. ලෙමන් ජූස් මේස හැඳි 1
  5. ෆුඩ් කලරින්
  6. දොඩම් පොතු ස්වල්පයක්
  7. ගී ඔයිල් මේස හැඳි 3
  8. චොප්කරගත් ආමන්ඩ් ඇට ටිකක්

 

  • දොඩම් යුෂ වලට කෝන්ෆ්ලා එකතු කරලා කලවම් කරගන්න.
  • පෑන් එකක් ලිපේ තියලා සීනි වලට වතුර කෝප්ප 1/2ක් දාලා හැඳිගාන්න. මේකට ලෙමන් ජූස් ටික දාගන්න. ටිකකින් දොඩම් මිශ්‍රණය එකතු කරල හොඳට හැඳිගාන්න.
  • කලරින්, දොඩම් පොතු ටික දාගන්න. මද ගින්නෙ හැඳිගාගන්න. තරමක උකු මිශ්‍රණයක් උනාම ගී ඔයිල් ටික එකතු කරන්න.
  • හැඳිගාමින් එක ගුලියක් වගේ එන පදම එනකල් ලිපේ තියාගන්න. දැන් ලිපෙන් බාලා බටර් ගාගත් තැටියක දාලා තුනී කරගන්න. කපාගත් ආමන්ඩ් ඇට ඉසගන්න. පැයක් වගේ ෆ්‍රිජ් එකේ තියලා කෑලි කපාගන්න.

 

5. ඔරේන්ජ් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. දොඩම් ගෙඩි 2ක යුෂ
  2. කෝන්ෆ්ලා මේස හැඳි 1
  3. සීනි මේස හැඳි 2

 

  • දොඩම් යුෂ පෑන් එකකට දාලා සීනි හා කෝන්ෆ්ලා එකතු කරලා හැඳිගාන්න. තික් වෙනකල් හැඳිගාගන්න.
  • හොඳට තික් උනාම බටර් ගාගත් බෝල් එකකට දාගන්න. පැය 5-6ක් ෆ්‍රිජ් එකේ තියන්න. සෙට් උනාම අනික් පැත්ත හරවලා කෑමට ගන්න.

 

6. ඔරේන්ජ් තිරමිසු

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. දොඩම් ගෙඩි 2ක යුෂ
  2. සීනි කෝප්ප 1
  3. බිත්තර 3
  4. Mascarpone Cheese 250g
  5. ග්‍රේට්කරගත් දොඩම් පොතු ස්වල්පයක්
  6. විපින් ක්‍රීම් 250 ml
  7. වැනිලා ස්වල්පයක්
  8. ඔරේන්ජ් කලරින් ටිකක් (කැමතිනම්)
  9. ලේඩීස් ෆින්ගර්ස් බිස්කට් ටිකක්

 

  • දොඩම් යුෂ වලට සීනි කෝප්ප 1/4 ක් දාලා කලවම් කරගන්න. බිත්තරවල සුදු මද කහමද වෙන් කරගන්න. 
  • දැන් බිත්තර කහමද ටික ඩබල් බොයිල් කරමින් හැඳිගාන්න. මේකට ඉතුරු සීනි ටික දාගන්න. සීනි දියවෙනකල් හැඳිගාලා ලිපෙන් බාලා චීස් ටික දාගන්න.
  • චීස් ටික හොඳට දිය කරලා දොඩම් පොතු ටික දාගන්න. විප් ක්‍රීම් ටික ස්ටිෆ් වෙනකල් බීට් කරලා බිත්තර කහමද මිශ්‍රණයට දාගන්න. එකම පැත්තට කලවම් කරගන්න. වැනිලා සහ කලරින් එකතු කරගන්න.
  • බිත්තර සුදුමද ටික ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. මේක බිත්තර කහමද මිශ්‍රණයට එකතු කරන්න.
  • බිස්කට් ටික දොඩම් යුෂ වල පොඟවලා ට්‍රේ එකක අතුරගන්න. 
  • දැන් මේක උඩින් චීස් බැටර් එකෙන් ලේයර් එකක් දාගන්න. ඊළඟට තව පොඟවාගත් බිස්කට් ලේයර් එකක් දාගන්න. නැවත බැටර් එකෙන් දාගන්න. මේ වගේ ලේයර්ස් කිහිපයක් දාගන්න. මේක පැය 6ක් ෆ්‍රිජ් එකේ දාගන්න. උඩින් දොඩම් පොතු ටිකක් ග්‍රේට් ​කරගන්න.

 

7. දොඩම් පන්න කොත්තා (Orange Panna Cotta)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ජෙලටින් තේ හැඳි 2
  2. වතුර මේස හැඳි 2
  3. කිරි 300ml
  4. සීනි කෝප්ප 1
  5. වැනිලා ස්වල්පයක්
  6. දොඩම් ගෙඩි 2ක යුෂ

 

  • ජෙලටින් තේ හැඳි 1 හා වතුර මේස හැඳි 1 එකතු කරගන්න. කැටි නොගැසෙන්න දියකරගන්න. 
  • කිරි ටික ලිපේ තියලා සීනි කෝප්ප 1/2ක් දාලා දියකරගන්න.
  • වැනිලා සහ දියකරගත් ජෙලටින් ටික එකතු කරන්න.
  • අඩු ගින්දරේ හැඳිගාන්න. පෙරලා නිවෙන්න තියන්න. ඩෙසර්ට් ග්ලාස් ටිකක් අරන් ට්‍රේ එකක හැඩේට තියාගන්න. කිරි මිශ්‍රණය ග්ලාස් එකෙන් බාගයක් වගේ වෙන්න දාගන්න. දැන් මේක සෙට් වෙනකල් ෆ්‍රිජ් එකේ තියන්න.
  • ඉතිරි ජෙලටින් තේ හැඳි එකකට වතුර මේස හැඳි 1ක් දාලා දියකරගන්න.
  • දොඩම් යුෂ ටික ලිපේ තියලා රත්වෙනකොට සීනි කෝප්ප 1/4ක් දාගන්න. මේකට ජෙලටින් ටික දාලා දියකරගන්න. ලිපෙන් බාලා නිවෙන්න තියලා අර සෙට් වෙන්න තිබ්බ ග්ලාස් වලට පුරවගන්න. නැවත සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ දාගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *