මේ සුපිරි බොලිවුඩ් තරු අමද්‍යපයි කියලා ඔබ දැනගෙන හිටියාද?

බොලිවුඩ් තරු කියන්නේ ඉතින් නිතරම ප්‍රිය සම්භාෂ​ණ වලට සහභාගී වෙන අය. ඒ අවස්ථාවල මත්පැන්වලින් එහෙම යහමින් සන්තර්පණය වෙන උදවිය. ඒ වගේම තවත් තාරකාවන් ​මේ රැකියාවේ තියන කාර්බහු​ලකම නිසාම ලැබෙන විරාමයකදී මත්පැන් පොදක් තොළ ගාන්න හුරුවෙලා ඉන්නවා. අපි මීට කලින් ලිපියකදී ඔබට කිවුවා මත්පැන් වලට ඇබ්බැහි වීම නිසා තමන්ගේ වෘත්තීය ජීවිතයටත් හානි කරගත්ත බොලිවුඩ් තරු ගැන. අද කියන්නේ ඒ ලිපියේ අනිත් පැත්ත ගැනයි. ඒ කිවුවේ මත්පැන් නොබොන බොලිවුඩ් තරු 7ක් ගැනයි අද අපි කියන්නේ…

 

1. අමිතාබ් බච්චන්

ප්‍රවීණ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ට දැන් වයස අවුරුදු 77ක්. මහළු වියේ පසු වුණත් තවමත් ඒ කඩවසම් පෙනුම සහ දැවැන්ත පෞරුෂය අමිතාබ්ගෙන් ඈත් වෙලා නැහැ. අමිතාබ් දැන් අවුරුදු 40කට ආසන්න කාලයක් තිස්සේ මත්පැන් පානයෙන් වැළකිලයි ජීවත් වෙන්නේ. ඔහු දුම් පානය කරන්නෙත් නැහැ. කාබනීකෘත බීමවලින් විතරක් නෙමෙයි, තේ සහ කෝපි ආදිය පානය කරන එකෙනුත් වැළකිලා ඉන්න අමිතාබ්ගේ ප්‍රියතම පානයන් වෙන්නේ වතුර සහ දෙහි යුෂ කියලයි ඔහු කියන්නේ. ඒ වගේම අමිතාබ් කියන්නේ නිර්මාංශී පුද්ගලයෙක්. 

 

2. ආක්ෂේ කුමාර්

බොහොම විනෝදකාමී නළුවෙක් හැටියට අපිට පිටතින් පෙනුනාට ආක්ෂේ කුමාර් කියන්නේ පාටි දාලා විනෝද වෙන්න ඒ තරම්ම ප්‍රිය නොකරන නළුවෙක් හැටියටයි දැනගන්න ලැබෙන්​නේ. ඔහුත් අමිතාබ් වගේම මත්පැන් පානයෙන් සහ දුම් පානයෙන් වැළකිලායි ජීවත් වෙන්නේ. මාර්ෂල් ආර්ට්ස් ක්‍රීඩකයෙක් හැටියට ඉඳලා සිනමා ක්ෂේත්‍රයට පිවිසුණු ආක්ෂේ අදටත් තමන්ගේ ශරීරය මනාව පවත්වාගෙන යන කඩවසම් නළුවෙක්. අතීතයේදී මත්පැන් සහ දුම්වැටි වෙළඳ දැන්වීම් සඳහා පෙනී හිටියත් වර්තමානය වෙද්දී ආක්ෂේ එවන් දැන්වීම්වලට පෙනී සිටීමෙන් වැළකෙනවා. ඒ තරුණ පරපුරට ආදර්ශයක් වනු පිණිසයි. 

 

3. අභිෂේක් බච්චන්

අභිෂේක් බච්චන් රඟපාපු චරිත බොහොමයක ඔහු මත්පැන් ගන්න ජවනිකා බොහොම තාත්වික අයුරින් රඟ දක්වනවා අපි දැකලා තියනවා. නමුත් සැබැවින්ම ඔහු තමන්ගේ පියා වගේ​ම අමද්‍යප නළුවෙක්. ඒ වගේම මත්පැන් සම්බන්ධ වෙළඳ දැන්වීම්වල පෙනී ඉන්න එකත් අභිෂේක් ප්‍රතික්ෂේප කරනවා. පහුගිය දවස්ව​ල ඉන්දියානු රුපියල් කෝටි 10ක පමණ මුදලකට එවැනි දැන්වීමක පෙනී ඉන්නට ඔහුට ලැබුණු ආරාධනාවකුත් අභිෂේක් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ ඒක තමන්ගේ ප්‍රතිපත්ති වලට පටහැනි බව කියමින්.

 

4. සිද්ධාර්ත් මල්හෝත්‍රා

2012 වසරේ ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ චිත්‍රපටය හරහා බොලිවුඩයට පිවිසිලා, අද වෙද්දී ජනප්‍රියත්වයේ වැජඹෙන තරුණ නළුවෙක් වෙන සිද්ධාර්ත් මල්හෝත්‍රා කියන්නෙත් මත්පැන් ප්‍රිය නොකරන නළුවෙක්. ක්ෂේත්‍රයේ සමහරුන්​ට වෙහෙස, ආතතිය දුරු කරගන්​න මත්පැන් උදවු වුණත්, තමන් නම් මත්පැන් ප්‍රිය කරන්නේ නැති බවයි ඔහු පවසන්නේ. නිතර ප්‍රිය සාද වලට සහභාගී වුණත්, ඒවායේදී සතුටු පිළිසඳර කතාවල යෙදීමෙන් තමයි සිද්ධාර්ත් වි​නෝදය ලබන්නෙ.

 

5. ජෝන් ඒබ්‍රහම්

ජෝන් ඒබ්‍රහම් කියන්නේ දුමින් සහ මතින් තොර නළුවෙක් කියන එක සමහරුන්ට නම් විශ්වාස කරන්නත් අමාරු වෙයි. ජෝන් ඒබ්‍රහම් රඟපාන බොහොමයක් චිත්‍රපටවල ඔහුට අධික ලෙස මත්පැන් පානය කරන ජවනිකා රඟපාන්න තිබුණා. ‘නෝ ස්මෝකින්ග්’ නම් එක් චිත්‍රපටයක් ඔහු රඟපෑවේ අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වුණු පුද්ගලයෙකුගේ චරිතයක්. ඒ චිත්‍රපට​ය පුරාවටම ඔහු දුම් පානය කරන දර්ශන රැසක් දකින්න ලැබුණා. නමුත් ජෝන් ඒබ්‍රහම් ඇත්තටම දුම්වැටි ස​හ මත්පැන් අප්‍රිය කරන නළුවෙක්. කලාතුරකින් ෂැම්පේන් පොදක් තොළ ගා පුරුද්දක් තිබුණාට ඔහු අමද්‍යප ජීවිතයකුයි දැන් ගත කරන්නේ.

 

6. බිපාෂා බාසු

හතළිස් විය ඉක්මවලා ගියත් බිපාෂා බාසුගේ සුන්දර සරාගී පෙනුම අදටත් එහෙමමයි. ඒ ව​ගේම ඇය ශරීර ශක්තිය පවත්වාගැනීම අතිනුත් ඉතාම ඉදිරියෙන් ඉන්න නිළියක්. අද වෙද්දී කාන්තාවන්ට, විශේෂයෙන්ම නිළියන්ට මත්පැන් පානය කිරීම කියන්නේ අතිශයින් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. නමුත් බිපාෂා නම් මත්පැන් පරිභෝජනයෙන් වැළකිලයි ඉන්නේ. ඉතාම කළාතුරකින් සැමරුමක් කරද්දී ෂැම්පේන් බිඳක් තොළගෑම හැරු​ණකොට තමන් සැර මත්පැන් පානය අප්‍රිය කරන බවයි ඇය කියන්නේ. ශරීර සෞඛ්‍යය ගැන දැඩි උනන්දුවක් දක්වන බිපාෂා මත්පැන් විතරක් නෙමෙයි, කිරි, කෝපි වගේ පානයන් ගැනීමෙනුත් වැළකිලායි ඉන්නේ.

 

7. සෝනු සූඩ්

දශක දෙකකට අධික කාලයක් තිස්සේ සිනමා ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න සෝනු සූඩ්, හින්දි විතරක් නෙමෙයි, දමිළ, තෙළිඟු, කන්නඩ ආදී සිනමාවන්ටත් තම දායකත්වය සපයපු නළුවෙක්. මේ වෙද්දී 50 වැනි වියටත් ආසන්න වයසක පසුවන සෝනු, තවමත් සික්ස් පැක් සහිත කඩවසම් ශරීරයකට උරුමකම් කියන්නෙක්. ඔහුගේ අදහසට අනුව තරුණ පෙනුම රැකගෙන ශරීර සෞඛ්‍යය යහපත්ව තියාගන්නට ඔහු අනුගමනය කරපු හොඳ සෞඛ්‍ය පුරුදුත් ඔහුට උදවු වෙලා තියනවා. සෝනු මත්පැන් පානය නොකරනවා ව​ගේම ඔහු නිර්මාංශී ආහාර රටාවක් තමයි අනුගමනය කරන්නේ.