දෙවැනි ලෝක යුද්ධයෙන් බැට කෑ පෝලන්තය

අපි දෙවැනි ලෝක යුද්ධය ගැන කතා කරද්දී බොහෝ අවස්ථාවල ජපානයට සිදු වූ විනාශය ගැන කතා කරනවා. ඒකට එක හේතුවක් වෙන්නේ පරමාණු බෝම්බ ජපානයට හෙලීම. හැබැයි ඒ හා සමානව විනාශයක් පරමාණු බෝම්බ හෙලීම සිදු නොවුනත් දෙවැනි ලෝක යුද්ධය නිසා යුරෝපා රටකට වුණා. ඒ රට තමයි පෝලන්තය. අපි අද දෙවැනි ලෝක යුද්ධයේදී පෝලන්තයට සිදුවුණු දේ ගැන සොයා බලමු

 

1. නාසි ජර්මනියට එරෙහි වුණු පළමු රට 

මුල් කාලයේදී නාසි ජර්මනියේ නැගීමත් එක්ක මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය වගේ රටවල් ජර්මනිය සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. නමුත් පෝලන්තය නාසි ජර්මනිය අභියෝගයක් වන බවට බොහෝ කලකට පෙර වටහාගෙන ඒ සඳහා සූදානම් වුණා. 1939 සැප්තැම්බර් 01 වනදා ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කළ අතර මාසයක පමණ කාලයක් පෝලන්ත හමුදා ජර්මනියට එරෙහිව සටන් වැදුනා. නමුත් ඒ වන විටත් බ්‍රිතාන්‍යය, ප්‍රංශය වැනි රටවල් පෝලන්තයට නිසි සහයෝගයක් ලබා දුන්නේ නැහැ. සෝවියට් රුසියාව පෝලන්තයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම නිසා අවසානයේ දී පෝලන්තය පරාජයට පත් වනවා. නමුත් ඒ අවස්ථාවේදී පෝලන්ත හමුදාවේ සෑහෙන පිරිසක් සහ පෝලන්ත ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් රොමේනියාව හරහා ප්‍රංශය වෙත පලා ගියා. අනතුරුව එංගලන්තය වෙත ගිය ඔවුන් යුද ක්‍රියාදාමයේ සක්‍රීය වැඩ කොටසක් ඉටු කළා.

 

2. ජර්මානුවන්ගේ අමානුෂික ක්‍රියා 

යුදෙව්වන්ට සේම පෝලන්ත ජාතිකයන්ටද ජර්මානුවන් වෛර කළා. මේ නිසාම ජර්මානු හමුදා සහ පොලීසිය පෝලන්ත වැසියන් නිරපරාදේ ඝාතනය කිරීමට අවස්ථාවක් ලද වහාම පසුබට වුණේ නැහැ. යම් තැනකින් තම භට පිරිස් වලට සුළු හෝ ප්‍රතිරෝධයක් එල්ල වුවහොත් ගම් නගර පිටින් වනසා දැමීමට ඔවුන් දෙවරක් සිතුවේ නැහැ. 1939 වන විට පෝලන්ත ජාතිකයන් 42,000 ක් පමණ එලෙස මරා දැමීමට ලක් වුණු බව විශ්වාස කෙරෙනවා.

 

3. උගතුන් ඝාතනය 

යුද්ධයේ කෙළවර කුමක් වුවත් පෝලන්තයේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම ජර්මානු හමුදාවන්ගේ එක් අරමුණක් වුණා. රජයේ සේවකයන්, උගතුන්, කලාකරුවන් සහ කතෝලික පූජකවරුන් ලයිස්තු ගත කරමින් ඝාතනය කිරීමට විශේෂ මෙහෙයුමක් ජර්මානුවන් විසින් ආරම්භ කොට තිබුණා. එක්තරා අවස්ථාවක පෝලන්ත විශ්වවිද්‍යාලයක සියලුම ආචාර්යවරුන් රැස්වීමක් සඳහා කැඳවූ ජර්මානු පොලිසිය ඔවුන් සියල්ලන්ම වධ කඳවුරකට ගාල් කරා. පසු කාලයක යුදෙව් වධ කඳවුරුවලටත් නිදර්ශකයක් ලෙස භාවිතා කළේ මේ වධ කඳවුර බවට විශ්වාස කෙරෙනවා.

 

4. වෝර්සෝව විනාශ කිරීම 

නැගෙනහිර යුරෝපයේ පැරණිම නගරයක් වන වෝර්සෝව කලා නිර්මාණ රැසක් එක් රැස් වුණු සුන්දර නගරයක්. එහෙත් මෙම නගරය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසු වුණු ජර්මානුවන් මෙම නගරය බිමට සමතලා කිරීමට සැලසුම් සකස් කර තිබුණා. එම සැලසුමේදී ඔවුන් යම්තාක් දුරකට සාර්ථක වූ බවත් කිව යුතුයි. නගරයේ තිබූ පැරණි රජ මාළිගා, පාසල්, දේවස්ථාන, පුස්තකාල ආදිය අධි බලැති බෝම්බ යොදාගනිමින් බිඳ දමා ගිනිබත් කිරීමට ජර්මානුවන් කටයුතු කළා.

 

5. දරුවන්ට එරෙහිව සිදු කරන ලැබූ අපරාධ 

ලක්ෂ දෙකකට ආසන්න පෝලන්ත දරුවන් පිරිසක් බලහත්කාරයෙන් පැහැර ගත් ජර්මානු හමුදාව ඔවුන් ජර්මනිය වෙත රැගෙන ගියේ ඔවුන් ජර්මානුවන් බවට පත් කිරීමේ අභිප්‍රාය සහිතවයි. ඒ සඳහා කැමැත්තක් නොදැක්වූ දරුවන් වධකාගාර වලට මෙන්ම විවිධ වෛද්‍ය පරීක්ෂණ සඳහා පර්යේෂණ උපකරණ ලෙස භාවිතා කිරීමට යොදාගත්තා. දෙවැනි ලෝක යුද්ධය නිම වීමෙන් පසුව මෙවැනි දරුවන් පිළිබඳව සොයා ගැනීමට ලැබුණා. ඇතැම් දරුවන්ගේ සිත් වලට ඒ වන විටත් තමන් ජර්මානුවන්ය යන මතය කිඳා බැස ගොස් තිබුණා.

 

6. කලා නිර්මාණ කොල්ලය

පෝලන්ත රජය සහ පෝලන්ත වැසියන් සතුව තිබූ මිල කළ නොහැකි කලා නිර්මාණ කොල්ල කමින් ජර්මනිය වෙත ගෙන යෑමටත් ජර්මානු හමුදාවට අනුබද්ධ විශේෂ ඒකකයක් පිහිටුවා තිබුණා. පර්යේෂණ මගින් හෙළි වී ඇති ආකාරයට ඒ දක්වා පෝලන්තය තුළ තිබූ කලා නිර්මාණ වලින් 90% ක්ම මේ ආකාරයට කොල්ලකා තිබෙනවා. අද පවා ඇතැම් නිර්මාණවලට සිදු වුණු දෙයක් සොයා ගැනීමට නැහැ.

 

7. කාර්මික කොල්ලය 

ඒ වන විට පෝලන්තයේ කොටසක් ආක්‍රමණය කොට තිබූ සෝවියට් රුසියාව පෝලන්තය සතු කර්මාන්ත ශාලා ආදිය සම්පූර්ණයෙන් ගලවා සෝවියට් රුසියාවේ විවිධ ප්‍රදේශ වෙත රැගෙන යෑමට කටයුතු කළා. දුම්රිය මාර්ග, දුම්රිය මැදිරි පවා මේ ආකාරයෙන් ගෙන යනු ලැබුවා. ගොවිපොළවල සතුන්, අස්වැන්න ආදියද සිය ගම්බිම් වෙත යැවීමට කටයුතු කළ සෝවියට් හමුදා තම අනුඛණ්ඩ වෙත ආහාර සැපයීමේ වගකීමද පෝලන්ත නගර වෙත පවරනු ලැබුවා. බොහෝ සෝවියට් සෙබළුන් විනෝදාංශය ලෙස පෝලන්ත වැසියන්ගේ පෞද්ගලික නිවෙස් කොල්ලකෑම සිදුකළා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *