දැල්ලො ඉතින් කොහොම හැදුවත් රසයිනේ… චයිනීස් ස්ටයිල් එකට කට්ල්ෆිශ් රෙසිපි ටිකක් හදන හැටි ලයිෆි අපි ලස්සනට සරලව කියලා දෙනවා. අහගන්න එහෙනම්.
1. ස්ටීම්ඩ් කට්ල්ෆිශ් විත් ස්පයිසි චිලී ඇන්ඩ් ලෙමන් සෝස්
අවශ්‍ය ද්‍රව්‍ය
- සම්පූර්ණ දැල්ලන් 2-3
- චොප්කරගත් කොච්චි කරල් 10-12
- චොප්කරගත් සුදුළූණු බික් 6-7
- දෙහි යුෂ කෝප්ප 1/4
- ෆිශ් සෝස් මේස හැඳි 4
- සීනි මේස හැඳි 2
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- බෝල් එකකට සීනි, ෆිශ් සෝස්, දෙහි යුෂ කොච්චි හා සුදුළූණු එකතු කරගන්න. හොඳට කලවම් කරගන්න.
- දැල්ලන්ව සෝදලා අරන් දෙකට පළලා හරස් අතට වෙන් නොවෙන පරිදි කැපුම් දාගන්න. මේ ටික හොඳට ස්ටීම් කරගන්න.
- දැල්ලො ටික කැමති සයිස් එකට කපාගන්න. සර්වින් ප්ලේට් එකකට දාලා දැල්ලො වලට හදාගත්තු සෝස් එක වක්කරගන්න. උඩින් චොප්කරගත් කොත්තමල්ලි කොළ ඉසගන්න.
2. චයිනීස් ඩීප් ෆ්‍රයිඩ් කට්ල්ෆිශ්
අවශ්‍ය ද්‍රව්‍ය
- සාමාන්‍ය සයිස් දැල්ලන් කිහිපයක්
- පාන්පිටි කෝප්ප 1
- මිරිස්කුඩු තේ හැඳි 2
- ගාලික් පව්ඩර් තේ හැඳි 1
- ගම්මිරිස්කුඩු ස්වල්පයක්
- කහකුඩු තේ හැඳි 1/2
- චොප්කරගත් වියළි පාස්ලි ස්වල්පයක්
- ලුණු
- බැදීමට තෙල්
- දැල්ලො ටික රවුමට කපාගන්න. පාන්පිටි වලට මිරිස්කුඩු, ගම්මිරිස්කුඩු, කහකුඩු, ගාලික් පව්ඩර් හා පාස්ලි ටික එකතු කරන්න. රස අනුව ලුණු දාලා කලවම් කරගන්න.
- මේකට කපාගත් දැල්ලො ටික දාලා හොඳට තවරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
3. ස්ටෆ්ඩ් කට්ල්ෆිශ් ටියුබ්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- දැල්ලො 2-3ක්
- සෝයාසෝස් මේස හැඳි 3
- දෙහි ගෙඩියක යුෂ
- කහකුඩු තේ හැඳි 1
- තලාගත් සුදුළූණු බික් 10
- චොප්කරගත් අමුමිරිස් කරල් 3
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- ග්‍රේට් කරගත් කැරට් අල 1
- චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි 1
- චොප්කරගත් ළූණු කොළ ස්වල්පයක්
- චොප්කරගත් මශෲම් කෝප්ප 1/2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- මිරිස්කුඩු තේ හැඳි 2
- අඹරාගත් මස් ග්රැම් 100
- පාන්පිටි කෝප්ප 1
- බිත්තර 2
- තෙල් ස්වල්පයක්
- සුද්ද කරගත් දැල්ලො ට්‍රේ එකක අතුරගන්න සෝයාසෝස්, කහකුඩු හා දෙහි යුෂ දාලා විනාඩි 30ක් මැරිනේට් කරගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සුදුළූණු හා අමුමිරිස් එකතු කරගන්න. ටිකක් තෙම්පරාදු වෙන්න ඇරල ඒකට ළූණු එකතු කරගන්න.
- ටික වෙලාවක් හැඳිගාලා මශෲම් ටික දාගන්න. මේ ටික විනාඩියක් වගේ තෙම්පරාදු කරලා කැරට් ටික දාගන්න. ඊළඟට බෙල්පෙපර් හා ළූණු කොළ දාගන්න.
- හොඳට ෆ්‍රයි කරලා ගම්මිරිස්කුඩු ලුණු හා මිරිස්කුඩු තේ හැන්දක් දාගන්න. ඊළඟට අඹරගත්ත මස් ටික දාගන්න. හොඳට තැම්බුනාම ලිප නිවාගන්න.
- පාන්පිටි වලට ඉතිරි මිරිස්කුඩු තේ හැන්ද දාලා කලවම් කරගන්න. බිත්තර 2 විස්ක් කරලා පැත්තකින් තියාගන්න.
- මැරිනේට් කරපු දැල්ලො ඇතුළට හදාගත්ත මිශ්‍රණය පුරවලා ටූත්පීක් එකක් ගහගන්න. දැන් මේවා බිත්තර සාරු වල දවටලා පාන්පිටි තවරගන්න. ගැඹුරු තෙලේ විනාඩි 3ක් වගේ බැදගන්න.
4. හොට් බටර් කට්ල්ෆිශ්
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් දැල්ලො ග්‍රෑම් 200
- ලුණු තේ හැඳි 1/2
- බිත්තර සුදුමද 1
බැටර් එක සඳහා
- කෝන්ෆ්ලා ග්‍රෑම් 200
- කහ මේස හැඳි 1/2
- ලුණු පින්ච් එකක්
සෝස් එකට
- ගාලික් පේස්ට් මේස හැඳි 2
- බටර් මේස හැඳි 2
- සීනි තේ හැඳි 1/2
- චිලී පේස්ට් මේස හැඳි 1ක් තෙල් තේ හැඳි එකකට කලවම් කරලා
- කපාගත් මාළුමිරිස් කරල් 2ක්
- රවුම් කපාගත් ළූණු ගෙඩි 2
- කපාගත් ළූණු කොළ ටිකක්
- වියලි මිරිස් කරල් 2ක්
- බැදගැනීමට තෙල්
- දැල්ලො, ලුණු හා බිත්තර සුදු මදය දාලා කලවම් කරගන්න.
- කෝන්ෆ්ලා වලට කහකුඩු හා ලුණු කුඩු දාලා වෙනම කලවම් කරගන්න.
- දැන් පෑන් එකක් ලිප තියලා තෙල් ටිකක් දාලා, රත්වෙනකොට කෝන්ෆ්ලා වල දවටගත් දැල්ලො ටික දාලා බැදගන්න.
- වෙනම පෑන් එකකට බටර් දාලා රත්කරගෙන ගාලික් පේස්ට් එක එකතු කරන්න. ඒකට චිලී පේස්ට් ටිකත් එකතු කරන්න.
- හොඳට කලවම් කරලා බැදගත් දැල්ලො ටික මේකට එකතු කරගෙන, කපාගත් මාළුමිරිස්, ළූණු කොළ, ළූණු හා වියලි මිරිස් කෑලි කඩලා දාගන්න.
- ලස්සන පාටට ෆ්‍රයි උනාම ලිප ඕෆ් කරගන්න.
5. චයිනීස් කට්ල්ෆිශ් සම්බල්
අවශ්‍ය ද්‍රව්‍ය
- දැල්ලො 4-5
- ලියාගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් අමුමිරිස් කරල් 4
- චිලී පේස්ට් මේස හැඳි 2
- ෆිශ් සෝස් කෝප්ප 1/4
- දෙහි ගෙඩියක් යුෂ
- ලුණු
- තෙල් ස්වල්පයක්
- දැල්ලො ටික කපාගෙන හොඳට ස්ටීම් කරගන්න.
- වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා ළූණු එකතු කරගෙන තෙම්පරාදු කරගන්න. දැල්ලො ටික දාලා ටිකකින් අමුමිරිස්, චිලීපේස්ට්, ෆිශ් සෝස් දාගන්න. රස අනුව ලුණු එකතු කරගන්න.
- හොඳට ෆ්‍රයි උනාම ලිපෙන් බාලා දෙහි යුෂ එකතු කරගන්න.
Leave a Reply