ඉන්දියාව තනි රටක් බවට පත් වුණේ 1947දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමත් එක්ක. එතකල් ඉන්දියාව කියන්නේ තනි රටක් නෙමෙයි, අක්කර කිහිපයක ඉඳන් වර්ග කිලෝමීටර දහස් ගණනක් විශාල භූමි ප්‍රමාණයක් දක්වා පැතිරුණු රාජධානි ගණනාවක එකතුවක්. ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් පිළිගැනීමත් එක්ක මෙහි රාජධානිවල රජ පවුල්වල බලය අහෝසි වෙලා ගියා. ඇතැම් රජ පවුල් හිඟමනට වැටුණා. සමහර රජ පවුල් දේශපාලනයට එකතු වුණා. හැබැයි සමහර රජ පවුල්වල සාමාජිකයෝ එකතු වුණේ බොලිවුඩයට. අපි අද කතා කරන්න යන්නේ බොලිවුඩයේ තරු බවට පත් වුණු ඉන්දීය රාජකීයයෝ කීපදෙනෙක් ගැන.
1. සයිෆ් අලී ඛාන්
හරියට බැලුවොත් අද වන විට රජ බවට පත්ව සිටින සුපිරි තරුවක් බොලිවුඩයේ ඉන්නවා. ඒ තමයි සයිෆ් අලී ඛාන්.සයිෆ් අලී ඛාන් ගේ පියා වන මන්සූර් අලි ඛාන් අද වන විට හර්යානා ප්‍රාන්තයේ කොටසක්ව පවතින පටුඩීහි නවාබ්වරයායි. ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පවා ඉසුළුව මන්සූර් අලි ඛාන් විවාහය සඳහා තෝරා ගත්තේ එවකට සුප්‍රකට සිනමා නිළියක් වන ෂර්මිලා තාගෝර්වයි. ඔවුන් තිදෙනාගේ වැඩිමල් පුත්‍රයා වන සයිෆ් අලී ඛාන්ට මන්සූර්ගෙන් පසුව නවාබ් ධූරය හිමිවීමට නියමිතව තිබුණත්, ඒ වන විට ඉන්දීය රජය විසින් එම තනතුරු අහෝසි කිරීම නිසා එවැන්නක් සිදුවූයේ නෑ.
2. සෝහා අලි ඛාන්
සයිෆ්ගේ නැගණියක වන සෝහා පටුඩීහි රජ පවුලේ ළාබාලම කුමරියයි. සිය මවගේ අඩි පාරේ යමින් ඇයත් සිනමාවට පිවිසුණු අතර ඊට පෙර ඇය වැඩි වශයෙන් අධ්‍යාපන කටයුතු සඳහා අවධානය යොමු කර තිබුණා. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක ඉතිහාසය හැදෑරූ ඇය London school of economics මගින් ජාත්‍යන්තර සම්බන්ධතා විෂය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තා.
3. කිරන් රාවෝ
ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය ගොන්නට එකතුවුනු මෑතකාලීන ප්‍රාන්තයක් වන තෙලන්ගනාවට අයත් වනපාර්ති රාජ්‍යයේ රමේශ්වර් රාජාගේ මිණිබිරියක වන කිරන් රාවෝ ඉපදෙන විට රජ පවුලේ බලය අහෝසිව තිබුණා. මේ නිසා ඇය ගත කළේ තරමක් දුරට සාමාන්‍ය ජීවිතයක්. කෙසේ වෙතත් ඇයට තවත් කිරුළු නොපලන් රජ කෙනෙකුගේ බිරිඳක් පත්වීමට දෛවය ඉඩ සලසා දුන්නා. ‘ලගාන්’ චිත්‍රපටිය සඳහා සහාය අධ්‍යක්ෂිකාවක් ලෙස දායක වූ ඇය අධ්‍යක්ෂක අමීර් ඛාන්ගේ සිත් පැහැර ගත්තා. දැන් ඔවුන් දෙදෙනාට එක් පුතෙකුත් සිටිනවා.
4. අදිති රාවෝ හයිදරි
හින්දි, දෙමළ, තෙළිඟු සහ මලයාලම් චිත්‍රපටි ගණනාවක රඟපෑම නිසා ජනප්‍රියත්වයෙන් ජනප්‍රියත්වයට පත්වුණු අදිති රජ පවුල් දෙකක සාමාජිකාවක්. ඇයගේ පියා හායිද්රාබාද් රජ පවුලේ සාමාජිකයෙකු වන අතර මව වනපාර්ති රාජ පවුලේ සාමාජිකාවක්. මේ නිසා කිරන් රාවෝ ද ඇගේ ළඟම ඥාතිවරියක වනවා. සැබෑ ජීවිතයේ දී රාජකීය යස ඉසුරු විඳීම අහිමි වුනත් ඇය පද්මාවත් චිත්රපටයෙහි බිසවකගේ චරිතයක් නිරූපණය කළා.
5. භාග්‍ය ශ්‍රී
මහාරාෂ්ට්‍රයේ සංගිලි රාජ්‍යයේ රජු වන විජේ සිංග්රාවෝ මාධවරාවොගේ වැඩිමහල් දියණිය වන ඇය සල්මන් ඛාන් සමග රඟපෑ ‘මේනේ ප්යාර් කියා’ චිත්‍රපටියෙන් එක රැයින් ජනප්‍රිය තරුවක් බවට පත් වුණා. කෙසේ වෙතත් ඉන්පසුව ඇය රඟපෑ බොලිවුඩ් චිත්‍රපටි නම් එතරම් ජනප්‍රියත්වයට පත් වූයේ නැහැ. ඉන්පසු මෑතකදී තෙළිඟු සිනමා සහ ටෙලි නිර්මාණ කීපයක් සඳහා ඇය තම දායකත්වය ලබාදී තිබෙනවා.
6. සොනාල් චෞහාන්
සංචාරක ලෝක රූ රැජින බවට පත් වූ පළමු ඉන්දීය තරුණිය වන ඇය මේ වන විට හින්දි, දෙමළ, කන්නඩ සිනමා නිර්මාණ කීපයක් සඳහා තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඇය බොලිවුඩය තුළ සෙමින් ගමනක් යෑමට උත්සාහ කරන තැනැත්තියක් ලෙස ප්රකටයි .මනිපූර් රාජ්‍යය උපන් බිම කරගත් ඇය රාජ්පූත් රජ පවුලක සාමාජිකාවක්.
7. මනීෂා කොයිරාළ
අද වන විට ස්වාධීන රාජ්‍යයක්ව පවතින නේපාලය අතීතයේ දී පැවතියේ ඉන්දියාවේම කොටසක් ලෙසයි. නේපාලයේ දේශපාලනය සමඟ දැඩිව බැඳී ඇති කොයිරාළ පවුල නේපාලය තුළ බලවත් රජ පවුලක් ලෙස සැලකෙනවා. ඔවුන්ට රජ කිරුළ හිමි නොවුනත් නේපාල රජ පවුලේ සාමාජිකයන් සමග අවාහ විවාහ සිදු කර ගැනීම නිසා බොහෝ අවස්ථාවල එරට අග්‍රාමාත්‍ය ධුරය කොයිරාළ පවුලට හිමි වුණා. මනීෂාගේ පියා ද හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන අතර ඇය සිය පවුලට හුරුපුරුදු නේපාල දේශපාලන පිටියෙන් බැහැරව බොලිවුඩය තුළ කොයිරාළ පවුලේ නම ඔසවා තැබුවා.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply