සියවස් ගණනාවක් තිස්සේ පරාජිත මානසිකත්වයෙන් හිටපු සිංහල බෞද්ධයන්ට ජයග්‍රාහී හැඟීමක් පළමුවරට ලබා දෙන්න පුළුවන් වුණු උත්තමයාණන් වහන්සේ තමයි මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද හිමිපාණෝ. උන්වහන්සේ විසින් ක්‍රිස්තියානි භක්තිකයන් සමග සිදු කළ පංචමහාවාද නිසා රට තුළ අලුත්ම විදිහේ බෞද්ධ ප්රබෝධයක් ඇති වුණා වගේම හෙන්රි ස්ටීල් ඕල්කට් වැනි පුද්ගලයන්ගේ පැමිණීමටත් අඩිතාලමක් වැටුණා. අපි අද කතා කරන්න යන්නේ උන්වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ අප්‍රකට කතා කීපයක් ගැන.
1. පින්බර උපත
1823 පෙබරවාරි 9 වෙනිදා වර්තමාන බලපිටියේදී උන්වහන්සේ උපත ලැබුවා. බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය ඉදිරිපිට ඇති ගුණානන්ද ප්‍රතිමාව ලඟින් හැරී ඉදිරියට යන විට මුහුදු වෙරළ ආසන්නයේ උන්වහන්සේ උපත ලැබූ මොහොට්ටිවත්ත දැක ගැනීමට පුළුවන්. උන්වහන්සේ උපත ලැබූ දින මහපොළොව කම්පා වූ බවටද ජනප්‍රවාදයක් පවතිනවා. එසේම උන්වහන්සේ උපත ලැබූ එම බිමේ ඉන් පසුව කිසිදු උපතක් සිදු නොවූ බවත් අවම වශයෙන් එම ගෙවත්තේ වසන එළදෙනුන් පවා ඒ වත්තෙන් බැහැරට ගොස් වසු පැටවුන් ප්‍රසූත කරන බවටත් විශ්වාසයක් පවතිනවා. ලද්දු අසනේරිස් මැන්දිස් සහ කළුදුර මල්දෝ සිල්වා උන්වහන්සේගේ පින්වත් දෙමවුපිය යුවළයි. මවුපිය දෙපළ උන්වහන්සේට මිගෙල් යන නම තබනු ලැබුවා.
2. පැවිදි වීම සහ උපැවිදි වීම
මිගෙල්ගේ ජන්ම පත්‍රය බැලූ සියලුම ජෝතීර්වේදීන් එකහෙළා ප්‍රකාශ කළේ අනාගතයේ දී ලෝකප්‍රකට වීර පුරුෂයකු බවට මේ දරුවා පත්වන බවයි. මේ නිසා මේ දරුවාගේ ඉගෙන ගැනීම පිළිබඳව දෙමව්පියන් දැඩි ලෙස කල්පනාකාරී වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස දොළොස් හැවිරිදි වියේදී බලපිටියේ ශ්‍රී ගුණරතන හිමියන් යටතේ මිගෙල් කුල කුමරුවා මොහොට්ටිවත්තේ ගුණානන්ද යන නමින් පැවිදි දිවියට එළඹුණා. එහෙත් තම පියාගේ මරණයත් සමග උන්වහන්සේ උපැවිදි වීමට තීරණය කළා. ඒ අතරතුර කාලයකදී නිවසේ කෙනෙක්ට සිදුවූ අසනීපයකට සිදුකරනු ලැබූ තොවිලයකින් අනතුරුව පිදේනි තටුව රැගෙන අමු සොහොන වෙත ගිය මිගෙල්ගේ ජීවිතය නැවතත් වෙනස් වෙන්නට පටන් ගත්තා.
3. ජීවිතය වෙනස් කරන හමුවීම
අමුසොහොනින් නැවතත් නිවසට නොගිය මිගෙල්, ඔලුව හැරුණු අතේ ඇවිදින්නට පටන් ගත්තා. අතරමගදී ඔහුට ඒබ්‍රහම් ද අල්විස් මුදලිතුමා ව මුණ ගැහුනා. හැදෙන පුද්ගලයන් දුටු වහාම හඳුනා ගැනීමේ ශක්තියක් සහිත වූ අල්විස් මුදලිතුමා, කොළඹ වෙස්ලියානු බැප්ටිස් සමාගම මගින් පාලනය කළ පාසල වෙත මිගෙල් ඇතුළත් කිරීමට තීරණය කළා. ඒබ්‍රහම් ද අල්විස් මුදලිතුමාගේ පුතා වූ ජේම්ස් ද අල්විස් පඬිතුමා මුළු ලංකාවම ක්‍රිස්තියානි රටක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කළ තැනැත්තෙකු වීමත් එක් ආකාරයකින් දෛවයේ සරදමක් බඳුයි.
4. ඔබ්සර්වර් පත්‍රයේ සේවයට එක්වීම සහ චීන අඩි
පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව සිංහල සහ සහ ඉංග්‍රීසි භාෂා දෙකේම ප්‍රවීණත්වය ලැබූ මේ තරුණයා ඔබ්සර්වර් පත්‍රයේ සේවයට එක් වුණා. මේ කාලයේදී පිටකොටුව ප්‍රදේශයේ සිංහල තරුණයන්ට තමන් සමඟ චීන අඩි සටනකට එළැඹෙන ලෙස කටමැත දොඩමින් සිටි චීන ජාතිකයකු දෙකකුලෙන් අල්ලා බිම ගැසීම නිසා මිගෙල් අතිශය ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්වුණා.
5. යළි පැවිදි වීම
මේ කාලයේදී සිදු වූ මවගේ මරණය නිසා බෙහෙවින් කම්පාවට පත් වූ මිගෙල් නැවතත් කොළඹ රැකියාවකට නොගොස් සිය ඥාතිවරයෙකු වූ සීනිගම ධීරක්ඛන්ධ හිමියන්ට උපස්ථාන කරමින් උන්වහන්සේගේ විහාරයේ වාසය කිරීමට පටන් ගත්තා. දොඩන්දූව කුමාර මහා විහාරයේ ඒ දිනවල බණ පිංකම් මාලාවක් ඇරඹුණු අතර එහි බණ පින්කම් වාරයක් මිගෙල් විසින්ද භාරගනු ලැබුවා. නියමිත දිනයේ දී බණ වාර පැමිණියත් ධර්ම දේශකයාණන් වහන්සේ නමක් පැමිණෙන බවක් පෙනුනේ නැහැ. වේලාව පැමිණි විට අට පිරිකරක් ගෙන විහාරාධිපති තෙලිකඩ සෝණුත්තර හිමියන්ගේ දෙපා මුල වැඳ වැටුන මිගෙල් තමන්ව පැවිදි කරන ලෙස උන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. පුදුමයෙන් පුදුමයට පත්වූ සෝණුත්තර හිමියන් එම ඉල්ලීම ඉෂ්ට කළ අතර යළිත් උන්වහන්සේ මොහොට්ටිවත්තේ ගුණානන්ද බවට පත්වීමෙන් අනතුරුව සිය මංගල ධර්ම දේශනය එම බණ පින්කම් වාරයේ දී සිදු කළා.
6. කොළඹ පැමිණීමේ අභියෝගය
මේ කාලයේදී ධීරක්ඛන්ධ හිමියන්ට වර්තමානයේ කොටහේනේ දීපදුත්තාරාමය පිහිටි බිම සැදැහැවත් බෞද්ධයෙකු විසින් පූජා කොට තිබුණා. එහෙත් එම කාලය යනු පන්සලක් ආරම්භ කිරීමට තබා කොළඹ නගරය තුළ සැරිසැරීමට පවා භික්ෂුවකට නොහැකි කාලයක්. අතැම් වාර්තාවලට අනුව මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් කරත්තකාරයෙකු සේද දුම්කොළ වෙළෙන්දෙකු සේද සැරසීගෙන කොටහේනේ විහාරය වෙත ගොස් ඇත්තේ රටේ පවතින තත්ත්වය වෙනස් කිරීමේ තිර අදිටනින්.
7. විස්මිත සිහිනය
ඒ දිනවල බියෙන් සැකෙන් කාලය ගත කළ කොළඹ බෞද්ධයන්ට අස්වැසිල්ලක් වනු පිණිස ඔවුන්ගේ නිවෙස් වෙත පිණ්ඩපාතයේ වැඩම කළ ගුණානන්ද හිමියන්ගේ පාත්‍රයට යම් කිසිවෙක් ගොම බෙදා තිබුණා. එදින නිරාහාරව නිදා ගත් උන්වහන්සේ වෙත සිහිනෙන් පැමිණි පුද්ගලයෙකු කිසි ලෙසකින්වත් දුර්මුඛ නොවිය යුතු බවත් උන්වහන්සේගේ සියලු කටයුතු තමන් විසින් බලාගන්නා බවත් පවසා තිබෙනවා. එම පුද්ගලයා ම එදිනම එවකට කොළඹ සිටි බලවත් බෞද්ධ නායකයෙක් වන සැම්සන් රාජපක්ෂ මුදලිතුමාටත් සිහිනයෙන් පෙනී ගුණානන්ද හිමියන්ට අවශ්‍ය දානමානාදිය ලබාදීමට කටයුතු කළ යුතු බව පවසා තිබෙනවා. පසුදින උදෑසන දානය, සිවුරු පිරිකර ආදිය රැගෙන දීපදුත්තාරාමය වෙත පැමිණි රාජපක්ෂ මුදලිතුමා තමන් විසින් උන්වහන්සේට අවශ්‍ය සියලුම දේ සපයන බවට දන්වා තිබෙනවා.
මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ ජීවිතය විස්මයජනක මෙන්ම මෙන් ම විචිත්‍රවත් ජීවිතයක්. ඒ නිසා උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධ අප්‍රකට කතා එක ලිපියකින් පමණක් අපට ගෙන එන්නට අපහසුයි. ඔබෙන් මේ ලිපියට ලැබෙන ප්‍රතිචාර මත ඒ කතා පිළිබඳව ලිපි මාලාවක් ලිවීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply