ගෙවතු වගාව එපාකරවන කොළ කොඩවීම නැතිකරගමු

කොළ කොඩවීම කියන්නේ වගාවල් එපා කරන ලෙඩක්. කඩේට ගිහින් මිරිස්, මාලුමිරිස් වල මිල ඇහුවට පස්සේ “අනේ දෙයියනේ අපිත් ගෙදර මිරිස් ගස් දෙකක් වවාගත්ත නම් හරි නේද?” කියලා හිතෙනවා. ඒත් අපි වගා කරන්න ගත්තොත් පැළ පොඩි කාලේ ඉඳන්ම මිරිස් ගස් වලට එන මේ කොළ කොඩවීමේ ලෙඩ නිසා වගාවත් එක්කම එපා වෙනවා. මිරිස් ගහේ අග්‍රයේ දළු වල කොළ පොඩි වෙලා, ගුලිවෙලා යන එකට තමයි කොළ කොඩවීම කියන්නේ. මේකට බලපාන්නේ එක හේතුවක් විතරක් නෙමෙයි, හේතු ගණනාවක් බලපානවා.

 

1. කොළ කොඩවීමට බලපාන හේතු

වගාවේ ගස් වල ළපටි පත්‍ර වලට එන කුඩා ජීවීන් විසින් යුෂ උරාබීම කොළ කොඩවීමට මූලික වශයෙන් හේතු වෙනවා. එලෙස යුෂ උරාබොන සතුන් කිහිප දෙනෙක් ඉන්නවා.පැළමැක්කා, කූඩිත්තා, මයිටාවා, සුදුමැස්සා එසේ මිරිස් කුලයේ ගස් වල දල්ලේ යුෂ උරාබොනවා.මේ එක එක සතුන්ගෙන් වගාවට සිදුවන හානිය එකිනෙකට වෙනස්. කොහොම වුණත් හුළඟ තියෙන කාලෙට හුළඟ හොඳට අල්ලන ඉඩම් වල තියෙන වගාවන්වලට මේ කොළ කොඩවීමේ ලෙඩ වැඩියි.

 

2. පැළ මැක්කා

පැළ මැක්කා කියන්නේ ටිකක් ඇහැ ෆෝකස් කරලා බැලුවොත් යනවා එනවා පේන මිලිමීටර 1ක විතර කුඩා සතෙක්. මේ සතුන්ගේ වැඩුණු සතුන් සහ පොඩි ශිෂුවෝ කොළ වල උඩ පැත්තේ යුෂ උරාබොන නිසා කොළ දාර දිගේ උඩ අතට රෝල් වෙනවා. හානියට පත් වුණු කොළ මුලින් රිදී පාට වෙලා පස්සේ දුඹුරු පාට වෙනවා. මේ පැළ මැක්කා කරල් වලටත් හානි කරනවා. වියළි කලාපයේ යල කන්නයේ ජූලි, අගෝස්තු වල මේ ආකාරයේ පැළ මැක්කාගේ හානිය වැඩියි. ඒ කාලේට අල්ලන තද හුළං මගින් වගාව පුරා මේ පැළ මැක්කන් ඉක්මනින්ම පැතිර යනවා.

 

3. මයිටාවන්

මයිටාවන් කියන්නේ ඕවලාකාර දුඹුරු පාට සතෙක්. මෙයාල මිරිස් ගහේ කොළ වලට යට පැත්තේ තමයි යුෂ උරාබොන්නේ. ඒ නිසාම පත්‍ර දාර යටි අතට රෝල් වෙනවා. මේ හානියේදී පත්‍ර පෘෂ්ඨය කෙමෙන් කෙමෙන් දුඹුරු පාට වෙනවා. පත්‍රයේ යටි පැත්ත තමයි ඉක්මනටම හානියට පත් වෙන්නේ. මේ හානියෙදි පත්‍ර ඝන වෙලා එකතු වෙන ගතියක් තියෙනවා. ඉන් පස්සේ පත්‍ර ඉක්මනටම කැඩිල යනවා. කරල් වලට මේ ලෙඩේ ආවම කරල් විකෘති වෙලා මළකඩ පාට ගන්නවා.

 

4. කූඩිත්තන්

මිලිමීටර එක දෙකක් විසාල කළු පාටින් Aphis gossypii සහ ඒ සයිස් එකේම කහමය කොළ පාටින් Myzus persicae කියන මේ කූඩිත්තෝ ඉන්නවා. මේ කූඩිත්තෝ විශේෂ දෙකක්. මේ දෙජාතිය පත්‍ර වල වගේම කඳෙත් යුෂ උරාබොනවා. එනිසා මිරිස් ගහේ පත්‍ර කෝප්පාකාර හැඩයට හැරිලා කහපාට වෙනවා. මේ හානියෙන් පැළයටත් හානි වෙන නිසා පැළ ඉක්මනටම බාල වෙලා ගහේ වර්ධනය අඩාල වෙනවා.

 

5. සුදුමැස්සා (Bemisia tabaci) 

සුදු මැස්සා කියන්නේ මිලිමීටරයක් වගේ දිග සතෙක්. මෙයා හානිකරනවා වගේම මෙයා විසින් කොළ කොඩවන වෛරස රෝගත් වගාව හරහා පතුරුවා හරිනවා. මේකෙදි හානියට ලක් වෙන කොළ ඉක්මනටම කහපාට වෙලා බෝට්ටුවක හැඩේ ගන්නවා. ඒ වගේම මිරිස් ගහේ අතු අතර පරතරය අඩු වෙලා මිරිස් ගහ පඳුරු තත්ත්වයට පත් කරන්නත් කටයුතු කරනවා. මේ සුදු මැස්සාගේ හානිය නිසා මිරිස් ගහේ නාරටි පැහැදිළිව පේන්න ගන්නවා.

 

6. ගහ මගින් ලෙඩ පාලනය කිරීම

මිරිස් ගහට වගේම ඕනිම ගහකට ලෙඩ හැදෙන්න ගහේ තියෙන පෝෂණයත්, ගහේ තියෙන තත්ත්වයත් හේතු වෙනවා. මිරිස් හෝ ඒ ආශ්‍රිත බෝග වගාවේදී නිරෝගී බීජ පාවිච්චි කරන්නට ඕනි. ඒ වගේම පැළ තවානකින් පැළ ගන්නා විට වඩාත් නිරෝගී පැළ පාවිච්චි කරන්න ඕනි. ඊට අමතරව විශාල වශයෙන් වගා කරනවා නම් නිසි කලට, ඒ කිව්වේ මාර්තු මුල තවාන් කරලා අප්‍රේල් වල භූමියේ හිටවන්න පටන් ගන්නවා නම් හොඳයි. මොකද එතකොට ජූලි, අගෝස්තු වියළි සුළං අල්ලන කාලේදි ගහ තරමක් වැඩිලා ඉවරයි. සුළඟ මගින් මේ බෝගය පැතිරීම වැඩියි. ඒ නිසා සුළං මුවාවෙන විදිහට වගාව වටේ පඳුරු වශයෙන් හැදෙන මුංඇට, කවුපි, බඩ ඉරිඟු, කුරක්කන් වගේ බෝග හිටවීම වඩාත් යෝග්‍ය වෙනවා.

 

7. වගාවට වතාවත් නිසි පරිදි කිරීම

සමහර අය වගාව ඉක්මනින් වර්ධනය කරගන්න යූරියා පොහොර වැඩියෙන් පාවිච්චි කරනවා. මේ යූරියා භාවිතාව වැඩි වුණාමත් කොළ කොඩවීම වැඩියි. වගාවට ඇති තරමට ජලය යෙදීමත්, යෙදූ ජලය ආරක්ෂා කරන්නට වසුන් යෙදීමත් වගාවට වගේම කොළ කොඩවීමෙන් ආරක්ෂා වෙන්නට හොඳයි. මේ ජලය සැපයීමේදී ගස සහ කොළ හොඳින් නෑවී යන විදිහට වතුර ඉහින්නට ඕනි.

 

8. කෘමිනාශක යෙදීම

ගෙවතු වගාවකට නම් වැඩියම සැර නැති සබන් වතුර වගාවට යොදන්න පුළුවන්. ඒ වගේම ළූණු සහ කුස්සියේ අපද්‍රව්‍ය එකතු කරලා ඒවායෙන් තනාගත් කෘමිනාශක මගිනුත් කොළ කොඩවීම පාලනය කරන්න පුළුවන්. විශාල වශයෙන් කෙරෙන වගාවලදී නම් කොළ කොඩවීමේ ආකාරය හඳුනාගෙන, ඒ අනුව කෘමිනාශක යොදන්නට උවමනා වෙනවා. වගාවේ කෘමිනාශක ආදිය යෙදීමට අකමැති නම් මුල සිට වගාව මනා පරිදි පාලනය කරගැනීමෙන් මේ උවදුරෙන් ගැලවෙන්නට පුළුවන්. ඊට අමතරව එක් වරක් මිරිස්, මාලු මිරිස් වැනි බෝග වගා කළ බිමක නැවත මාලුමිරිස් හෝ මිරිස් වගා නොකර බෝග මාරු කිරීමත් කොළ කොඩවීමෙන් ආරක්ෂා වෙන්න හොඳ ක්‍රමයක් වෙනවා.

කොළ කොඩවීම හැදෙන්නේ මිරිස් ගස් වලට විතරක්ම නෙමෙයි. ඒ ආශ්‍රිත ගස් ගොඩකට මේ කොළ කොඩවීමෙන් හානි වෙනවා. ඒත් වඩාත්ම සුලභ කොළ කොඩවීම මිරිස් ගස් වල තමයි පෙන්නුම් කරන්නේ. ඒ අනුව වගාව හුළඟින් ආරක්ෂා කරගෙන, කොළ කොඩවීම නැති කරගන්න හැටි ගැන ඔයාලට මේ පෝස්ටුව හරහා අදහසක් ලැබෙන්නට ඇති.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *