වතුර බොන එකෙන් ශරීරයට තියෙන වාසි ගැන දැනගන්​න

ශරීර සෞඛ්‍යය හොඳින් තියාගන්න වතුර බොන එකෙන් ලොකු උදව්වක් වෙනවා, පුළුවන් තරම් වතුර බොන්න කියන කතාව ඉතින් අපිට දිනපතා උදේ හවස ඇහෙන කතාවක්නෙ. ඉතින් අපි හිතුව මේ වතුර බොන එකෙන් ශරීරයට ඇත්තටම හොඳක් වෙනවද? ඇයි මේ තරම් වතුර බොන්න කියන්නෙ කියන කාරණාව ගැන කතා කරන්න. 

ඇත්තටම වතුර බොනව කියන එක සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන එකේ පළවෙනි පියවර විදිහට තමයි සැලකෙන්නෙ. අපේ ශරීරයට ආහාර නැතුව වැඩි කාලයක් ඉන්න පුළුවන් උනාට වතුර නැතුව එහෙම ජීවත් වෙන්න හරිම අමරුයිනේ. මොකද මනුස්ස ශරීරය 60% ක්ම හැදිල තියෙන්නෙ වතුරෙන්. ඉතින් ඒ අවශ්‍ය ප්‍රමාණයට ශරීරයේ වතුර මට්ටම රඳා පවත්වා ගන්නෙ නැතුව ඇඟ විජලනය වෙනව කියන්නෙ ශාරීරිකව වගේම මානසිකවත් ගැටළුකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. 

 

 

1. දවසකට බොන්න ඕන වතුර ප්‍රමාණය

 

දවසකට වතුර බොන්න ඕන මේන්න මෙච්චර ප්‍රමාණයක් කියල සම්මත නීතියක් නැහැ. මොකද ඒ අවශ්‍ය වතුර ප්‍රමාණය එක එක්කෙනාගෙ ශරීරය අනුව වෙනස් වෙන්න පුළුවන්. ව්‍යායාම කරන කෙනෙක්නම් ටිකක් වැඩිපුර වතුර බොන්න ඕන. ඒ වගේම අධික රස්නෙ දේශගුණයක ජීවත් වෙන කෙනෙක්නම් එයත් ටිකක් වැඩිපුර වතුර බොන්න ඕන කෙනෙක්. 

සාමාන්‍යයෙන් වෛද්‍යවරු අනුමත කරන්නෙ අපි දවසක් ඇතුළත පරිභෝජනය කරන තේ, කෝපි වගේ අනෙකුත් පානයනුත් එක්ක වතුරු වීදුරු 6ත් 8ත් අතර ප්‍රමාණයක්වත් දිනකට ශරීරයට ලබාදෙන්න ඕන කියලයි.

කොහොමහරි තමන්ගේ ශරීරයට ඇති ප්‍රමාණයට තමන් වතුර බිව්වද කියල මැනගන්න හොඳම ක්‍රමය තමයි මුත්‍රා වල පැහැය. සාමන්‍යයෙන් මුත්‍රා වල හරිම පැහැය වෙන්නෙ pale yellow කියන පැහැය. ඒ කියන්නෙ ලා කහ පැහැය. මුත්‍රා ටිකක් තද කහ පාටනම් ඒකෙන් අදහස් වෙන්නෙ වතුර බීලා මදි කියන එක වගේම මුත්‍රා ඕනවට වඩා ලා පැහැ ඒ කිව්වෙ වතුර වගේම අවර්ණනම් ඒකෙන් අදහස් වෙන්නෙ වැඩිපුරත් එක්ක වතුර බීල කියන එකයි.

 

 

2. කටට කෙළ හැදෙන්න උදව්වක්

 

අපි හැමෝම දන්නවනෙ කෑම හපන්න වගේම දිරවන්නත්, කට ඇතුළේ තියෙන්න අවශ්‍ය තෙතමනය රඳාපවත්ව ගන්නත්, මුඛ සෞඛ්‍යය පවත්වාගන්නත් උදව් කරන්නේ ඛේට එහෙමත් නැත්තම් කෙළ කියන එක. මේ කෙළ වල අඩංගුවෙන ප්‍රධානම සංඝටකයක් තමයි වතුර කියන්නෙ. ඉතින් කටට අවශ්‍ය ප්‍රමාණයට කෙළ උනන්න ඛේට ග්‍රන්ථි වලට උදව් වෙන්නනම් හොඳට වතුර බොන්න ඕන.

හැබැයි ඇති තරම් වතුර බීලත් හැම වෙලාවෙම කට හරිම වියළියි වගේ දැනෙනවනම් ඒක වයස හෝ වෙන මොනවහරි නිතර ගන්න ඖෂධයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම තත්ත්වෙකදිනම් ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕන.

 

 

3. ශරීර උෂ්ණත්ව පාලනය

 

අපි ව්‍යායාම කරද්දි, එහෙම නැත්තම් රස්නෙ වටපිටාවක ඉන්නකොට වගේ වෙලාවට දහඩිය මඟින් ඇඟේ තියෙන වතුර ඉවත්වෙනවා. දහඩිය කියන්නෙ ශරීරයේ උෂ්ණත්වය පාලනය කරලා ඇඟ සිසිල් කරන ක්‍රමයක්. හැබැයි ඒ දහඩිය මඟින් පිටවෙන වතුර ආපහු ශරීරයට නොදී ඉන්නව කියන්නෙ අපිව විජලනය වෙන්න පුළුවන්. ඉතින් වැඩිපුර දහඩිය දානව කියන්නෙ ඇඟ විජලනය නොවී තියාගන්නත්, දහඩිය මඟින් සිදුකෙරෙන සිසිල්කරන කාර්යය නොකඩවා කෙරෙන්නත් වැඩිපුර වතුරත් බොන්න ඕන කියන එකයි.  

 

 

4. මළ බද්ධයට විසඳුමක් 

 

මළබද්ධය කියන්නෙ ලොකු කුඩා හුඟක් දෙනෙකුට ඇතිවෙන ප්‍රශ්නයක්. අපි සාමාන්‍යයෙන් නම් කියන්නෙ මළබද්ධය වළක්වන්න නම් පුළුවන් තරම් තන්තුමය ආහාර ගන්න කියලනෙ. හැබැයි ඊට වඩා හරිම පහසු ක්‍රමයකින් ඒ ගැටළුව අඩු කරගන්න පුළුවන්. ඒක තමයි වතුර බොන එක. ප්‍රමාණවත් තරම් වතුර බොන එකෙන් බඩවැල් වල ක්‍රියාවලිය පහසු වෙනව. 

 

 

5. කෑම දිරවන්න උදව්

 

කලින් කිව්වනෙ කන කෑම දිරවන්න උදව් වෙන කෙළ හැදෙන්න වතුරෙන් ලොකු ප්‍රයෝජනයක් වෙනව කියල. ඒ වගේම තමයි කෑම කන වෙලාවට, කන්න කලින් සහ කෑමට පස්සෙ බොන වතුර වලිනුත් මේ කෑම දිරවීම අතිශයින්ම පහසු කරනව. කෑම කද්දි වතුර බොන්න එපා කියල ඉස්සර කිව්වට දැන් එහෙමම කියන්නෙ නැහැ. කෑම දිරවන්න වගේම කෑම වල අඩංගු පෝෂණ කොටස් හොඳින් ශරීරයට උරාගන්නත් ලොකු උදව්වක් වෙනව වතුර වලින්. 

 

 

6. ශරීරයේ විජලනයට විසඳුම

 

විජලනය වෙනවා කියන්නෙ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය ශරීරයේ නැහැ කියන එකයි. ඒ කියන්නෙ අපි ශරීරයට දෙන වතුර ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් දහඩිය, මුත්‍රා මඟින් ශරීරයෙන් පිටවෙලා කියන එකයි. කලිනුත් කිව්ව වගේ සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න මනුස්ස ශරීරයකින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් තියෙන්නෙ ජලය. විජලනය කියන්නෙ හැමෝටම අහිතකර තත්ත්වයක්. හැබැයි විශේෂයෙන්ම පුංචි ළමයින්ටයි, වයස්ගත වැඩිහිටියන්ටයි හොඳටම අහිතකර තත්ත්වයක්. මේ විජලනය නිසා heat injuries, මුත්‍රා හෝ වකුගඩු සම්බන්ධ ගැටළු, හෘදයාබාධ වගේම රුධිර පීඩනය සම්බන්ධ බරපතල ගැටළු ඇතිවෙන්නත් පුළුවන්. ඉතින් මේ අනවශ්‍ය කරදර වළක්වා ගන්න තියෙන එකම, පහසුම ක්‍රමය තමයි පුළුවන් තරම් වතුර බොන එක. 

 

 

7. බර අඩුවෙන්න, ශක්තිය ලැබෙන්න

 

වතුර විතරක් බිව්වටමනම් බර අඩු වෙන්නෙ නැහැ. හැබැයි නිතර ව්‍යායාම, ආහාර පාලනය කරන අතරේ හොඳින් වතුර බොනවා කියන්නෙ බර අඩුවෙන්න අර ක්‍රියාවන් දෙකෙන් කෙරෙන කාර්යය වේගවත්ව කෙරෙනවා කියන එකයි. අනිත් එක නිතර වතුර බොනවා කියන්නෙ අනවශ්‍ය කෑම ගන්න බඩේ ඉඩ නැති වෙනවා කියන එකනේ. ඉතින් වක්‍රාකාරව බැලුවම ඒක ඩයට් කරන එකටත් පහසුවක්.

 

 

8. මූඩ් එක fix කරන්න

 

ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වතුර නොලැබී යාමෙන් තෙහෙට්ටුව, මානසික වියවුල් තත්ත්වයන් වගේම කාංසාව වගේ තත්ත්වයනුත් ඇතිවෙන්න පුළුවන්. ඉතින් වතුර බොන එකෙන් ලේසියෙන්ම මේ ගැටළු මඟහරවාගෙන හොඳ මූඩ් එකක් ඒ කිව්වෙ මානසික මට්ටමක් පවත්වා ගන්න පුළුවන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *