ගෙදරකට පුංචි බබෙක් ඉපදෙනව කියන්නෙ ඉතින් ගෙදර හැමෝගෙම ජීවිත උඩුයටිකුරු කරන සිදුවීමක්නෙ. විශේෂයෙන්ම ඔය බබා පවුලේ පළවෙනි බබානම් එයාව රැකබලාගන්න අම්මලා, තාත්තලා, වැඩිහිටියන්ටත් බබා බලාගන්න ඒ තරම්ම අත්දැකීම් නැහැ. ඉතින් වටපිටාවෙ අයගෙ කෝටියකුත් එකක් උපදෙස්, ඇඟිලි ගැහීම් එක්ක අලුත් බබෙක් බලාගෙන ඉහගහල ඉන්නව කියන එකත් සෙල්ලම් නැහැ. පුංචි බබෙක් ඉපදුන අලුත ඇතිවෙන්න පුළුවන් ගැටළු, අලුත උපන් බබා ගෙදරට ගේන්න සුදානම් වෙන්න ඕන හැටි, ඊට කලින් දැනගෙන ඉන්න ඕන දේවල් වගේම අලුත් පුංචි පැටියෙකුට හැදෙන්න පුළුවන් ලෙඩරෝග වගේ හුඟක් කාරණා අපි කලින් කතා කළා. ඉතින් මේ කතා කරන්න යන්නෙ අලුත් බබෙකුගේ ආගමනයත් එක්ක හිටිගමන්ම උඩුයටිකුරු වෙන අපේ ජීවන රටාවට හුරුවෙන්න, ඒ වෙනස ටිකක් පහසු කරගන්න කරන්න පුළුවන් දේවල් ටිකක් ගැනයි.
1. නිදාගන්න හොඳ පරිසරයක් හදාගන්න
අලුත් බබෙක් ඉන්න ගෙදරක අයට, විශේෂයෙන්ම බබාට ලඟින්ම ඉන්න අම්මා තාත්තට නින්ද කියන එක සෑහෙන්න අහිමි වෙනව කියල අපි හැමෝම දන්නවනෙ. මුල් මාස තුනේදි විතර නිදාගන්නව කියන එක හීනයක් වෙන තරම්. ඉතින් මේ වෙනසට හුරුවෙන්න තමා හුඟක්ම අමාරු. හොඳම වැඩේ තමයි නිදාගන්න ලැබෙන පුංචි වෙලාව හරි බාධාවක් නැතුව හොඳට නිදාගන්න පුළුවන් පරිසරයක් හදාගන්න එක. අවට අනවශ්‍ය සද්ද බද්ද, තද ලයිට් එළිය වගේ නින්දට බාධා වෙන්න පුළුවන් දේවල් පුළුවන් තරම් මඟ හරින්න. සද්ද බද්ද අඩු වුණාම බබා උනත් අනවශ්‍ය විදිහට සැරින් සැරේ ඇහැරෙන්නෙ නැහැනේ. ඒ වගේම ඇහැට අප්‍රිය රෙදි ගොඩැල්, ලොකු exercise machine වගේ දේවලුත් කාමරෙන් ඉවත් කරන්න. ගෙදර අනිත් අය නිතර පාවිච්චි කරන අල්මාරි, කණ්ණාඩි මේස වගේ දේවල් කාමරයෙන් අයින් කරන්න. මොකද සැරින් සැරේ කවුරු හරි ඇවිත් යන එකත් නින්දට ලොකු බාධාවක්නේ.
2. සැමියා, බිරිඳ දෙන්නම වැඩ බෙදාගන්න
දරුවෙක් කියන්නෙ සමානවම අම්ම, තාත්තා දෙන්නගෙම වගකීමක්. ඒ නිසා අනේ මගේ වැඩ කියල එක්කෙනෙකුගේ කරපිට විතරක් ඔක්කොම වැඩ පවරගන්න එපා. දෙන්නම වැඩ බෙදාගන්න. හැබැයි මේ මම බෙදාගත්ත කොටස කියල අනිත් වැඩ මඟ අරින්නත් එපා. පුළු පුළුවන් වෙලාවට දෙන්නම දෙන්නගේ වැඩ කරගන්න. ඒ සහයෝගය බබා පුංචි කාලෙ අමාරුම අවධිය ගත කරන්න වගේම දෙන්න දෙමහල්ලොන්ගේ සම්බන්ධතාවය ශක්තිමත් කරන්නත් ලොකු උදව්වක්.
3. උදව් ගන්න පසුබට වෙන්න එපා
බබාගෙ වැඩ වලට ගෙදර හැමෝගෙන්ම උදව් ගන්න පොඩ්ඩක්වත් පසුබට වෙන්න එපා. මොකද ඒ අයත් තේරුම් ගන්න එපැයි බබා එක්ක වැඩ කොච්චර අමාරුද කියලා. එහෙම නැති උනොතින් අනේ මෙයාල සැපට ඉන්නවා කියල හිතල අමතර වැඩත් දෙන්න බැරි කමක් නැහැනේ. කොහොමහරි පුළු පුළුවන් පොඩි පොඩි උදව් ගෙදර හැමෝගෙන්ම අරගන්න. උදව් කරන්න කැමැත්තෙන්ම කෙනෙක් ඉදිරිපත් වෙද්දී අනේ එපා කියන්න එපා. පස්සේ වැඩ වැඩි වුණාම ඒ පීඩනයට අනිත් අයත් එක්කත් තරහ යන්න පුළුවන්.
4. ඔෆිස් එකේ වැඩ ඔෆිස් එකේම තියල එන්න
ඔන්න රැකියාවල් කරන දෙමව්පියන්නම් මේකත් මතක තියාගන්න. අම්මනම් මාස තුනක්වත් අඩුමගාණෙ මාතෘ නිවාඩු පිට ගෙදර ඉන්න නිසා විශේෂයෙන්ම තාත්තලා, ඉස්සර පුරුද්දට ඔෆිස් එකේ වැඩ ගෙදර අරගෙන එන්නනම් එපා. මොකද ගෙදර ඉස්සර නොතිබ්බ වැඩ රාජකාරි කන්දරාවක්ම තියෙනවනේ. අන්තිමට වැඩ එකක්වත් නොකෙරෙන පොටක් ඒක. ඒ නිසා ඔෆිස් එකේ වැඩ ඔෆිස් එකේම තියල එන්න. ගෙදර ඇවිල්ල අනිත් කෙනා එක්ක සහයෝගයෙන් ගෙදර වැඩ ටික කරන්න.
5. බබාව හොඳ පුරුදු වලට හුරුකරන්න
පුංචි බබෙක් කියන්නෙ කිසිම දෙයක් නොතේරෙන ජීවියෙක්. ඉතින් අපි තමයි එයාව ටිකෙන් ටික මේ ලෝකෙට හුරු කරන්න ඕන. ඔන්න ඉතින් දෙමව්පියන්ගෙ එදිනෙදා වැඩ ලේසි වෙන්න, ඒවට බාධා නොවෙන්නනම් පුංචි බබාව මුල ඉඳලම හොඳ පුරුදු වලට හුරු කරන්න ඕන. රෑ දවල් වෙනස වටහා ගන්න, තනියම නිදාගන්න, අතේම නැතුව තනියම ඉන්න වගේ දේවල්. හොඳම විදිහ තමයි බබාව කාලසටහන් වලට හුරු කරන එක. එතකොට එයා දන්නවනේ මේ මේ දේවල් වෙන්නෙ මේ වෙලාවටයි කියන එක. ඉතින් අඬන්නේ කරදර කරන්නේ නැතුව ඒවට හුරුවෙයි.
6. හොඳ කෑමක් එක්ක ව්‍යායාම
හොඳ කෑමක් කිව්වෙ ලොකු පිඟානක් පුරවල බඩ පැලෙන්න කන එකටනම් නෙමෙයි. හොඳ සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලකට හුරුවෙන්න. මොකද අධික ස්ථුල තාවය වගේම කොලෙස්ටරෝල්, දියවැඩියාව වගේ ලෙඩ රෝග හැදුනොත් එදිනෙදා කිසිම වැඩක් සාමාන්‍ය විදිහට කරගන්න බැරුව යනවනේ.
ඒ අතරේ ඉඳලා හිටලා තමන් ආසම කෑම වේලකුත් කන්න. මොකද හොඳ කෑම වේලකට පුළුවන් මනස සැහැල්ලු කරන්න. මූඩ් එක වෙනස් කරලා හොඳ අළුත් ආරම්භයක් දෙන්න.
ඒ වගේම ශරීරයේ නියමිත බර පවත්වාගන්න, ක්‍රියාකාරීව ඉන්න වගේම මානසික සුවය පවත්වාගෙන සැහැල්ලු මනසකින් එදිනෙදා වැඩ කරන්නත් ලොකුවටම උදව්වක් වෙන දෙයක් තමයි ව්‍යායාම. ඒ නිසා පුළු පුළුවන් හැටියම ව්‍යායාම කරන්න වෙලාවක් හොයාගන්න. ජිම් ගිහිල්ල, එළියේ ඇවිදින්න ගිහිල්ල කරන ලොකු ලොකු ව්‍යායාම නොවුනත් ගෙදර ඉඳන් කරන පුංචි පුංචි ව්‍යායාම ටිකක් හරි කරන්න.
7. මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකම්
නින්ද කියන්නෙ මනස සැහැල්ලු කරන හොඳ ක්‍රියාවක් කියල අපි දන්නවනේ. හැබැයි මනස සැහැල්ලු කරන්න පුළුවන් නින්දටම විතරක් නෙමෙයි. පොඩි බබෙක් ඉන්න ගෙදරක නිතර මඟ හැරෙන නින්දේ අඩුව පුරවන්න වෙන වෙන ක්‍රම වලින් අපිට වෙහෙස නිවාගන්න පුළුවන්.
පොඩි විනෝදාංශයක වගේ යෙදිල මනස සැහැල්ලු කරගන්න පුළුවන්. පොඩි බබෙක් ඉන්නකොට විනෝදාංශ වලට වෙලාවක් කොහෙන්ද කියලා අනිවාර්යයෙන්ම හිතෙන්න පුළුවන්. ඒත් තමන් ආසම, තමන්ව වැඩියෙන්ම සතුටට පත්කරන පොඩි ක්‍රියාකාරකමක් කරන්න විනාඩි කිහිපයක් හරි හොයාගන්න එකෙන් කිසිම පාඩුවක්නම් වෙන්නෙ නැහැ. ඒ අතරට ලස්සන සින්දුවක් ඉඳලා හිටලා අහන්න, පොඩ්ඩක් නටන්න, පොතක් කියවන්න, ආසම රස කෑමක් හදාගෙන කන්න එහෙමත් පුළුවන්.
Leave a Reply