ලංකාවේ මෑත කාලයේ ජනප්‍රිය වුණු අතිශය ප්‍රේමාන්වි​ත යුග ගී 7ක්

යුග ගී කලාව කියන්නේ සංගීතයට නැතිවම බැරි අංගයක්. සමහර වෙලාවට ස්ත්‍රී හෝ පුරුෂ තනි හඬකින් ගීතයක් අහනවාට වඩා හඬ ද්විත්‍වයක සුසංයෝගයකින් ගීතයක් ඇසීම ඉතාම හොඳ වින්දනයක් අපිට ලබා දෙනවා. ලංකාවේ යුග ගී කලාව ඒ ඒ කාලයට අනුව වෙනස් වෙමින් අද වෙද්දීත් කිසිම අඩුපාඩුවකින් තොරව සහෘද ශ්‍රාවකාගාරය පිනවමින් සිටිනවා. ඒ විදිහට මෑත කාලයේදී අපේ ගී රසවින්දනය අවදි කරපු ඉතාම ආකර්ෂණීය සහ ආදරණීය ගී පෙළක් වගේම අති දක්ෂ ගායක කැලක් ද අපිට ඉන්න එක ඇත්තටම සතුටු වෙන්න පුළුවන් දෙයක්. මේ ඒ විදිහට ජනප්‍රිය වුණු යුග ගී 7ක්…

 

1. පැතූ පෙම් පැතුම්

ලංකාවේ මෑත කාලීන ජනප්‍රිය සිංහල සිනමාවේ නොමැකෙන සළකුණු තැබූ යුග ගීතයක් තමයි මේ. උදයකාන්ත වර්ණසූරියගේ “ආසයි මං පියාඹන්න” චිත්‍රපටියේ එන ගීතයක් වන මෙය භාතිය ජයකොඩිගේ සහ උමාරියා සිංහවංශගේ ආදරණීය හඬ එකතුවෙන් ගායනා වුණා. මෙහි තනුව භාතිය හා සන්තුෂ්​ගේම වන අතර සංගීත නිර්මාණය මහේෂ් දෙනිපිටියගේ. පද රචනය නිලාර් එන්. කාසිම් ගේ. මිලියනයකට අධික ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් මේ ගීතයේ පහත වීඩියෝ​ව යූ ටියුබ් එකේ නරඹලා තියෙනවා.

 

 

2. අහසින් එහා

ප්‍රියන්ත කොළඹගේ ගේ “ආදරණීය කතාවක්” චිත්‍රපටයේ එන අතිශය ආදරණීය ගීතයක් වන මෙය කසුන් කල්හාරගේ සහ උරේශා රවිහාරිගේ ලයාන්විත හඬින් ජනප්‍රිය වුණු ගීතයක්. මේකත් නිලාර් එන්. කාසිම්ගේ ම පද රචනයක්. උදාර සමරවීරගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටි යුග ගීතය පහු ගිය කාලයේ තරුණ පරම්පරාව අතරේ අතිශය ජනප්‍රිය වුණු චිත්‍රපට ගීතයක්. 

 

 

3. හිරු මල්

උමාරියා සිංහවංශගේ සහ රුවන් හෙට්ටිආරච්චිගේ ප්‍රථම යුග ගී ගායනාව වන මෙය සජිත් වී. චතුරංගගේ පද රචනයක්. අමිත් ගුරු ගේ සංගීතයෙන් හැඩ වී තිබෙන මෙය ඉතාම මිහිරි යුග ගායනයක්. ගීතයේ උච්​චතම අවස්ථාව නම් දෙදෙනාගේ කටහ​ඬවල් එකි​නෙක මිශ්‍ර වන මොහොතයි. එතැන රැවන් වත් උමාරියා වත් නොව, එම හ​ඬ එකිනෙක මිශ්‍ර වීමෙන් නව හ​ඬක් උපදිනවා. පළමු නිර්මාණයෙන්ම ඔවුන් දෙදෙනා ගැළපෙන හඬ යුග්මයක් කියලා බොහෝ දෙනෙක් මේ ගීතයත් එක්ක පසක් කරගත්තා. 

 

 

4. හැමදාම ඔය දෑස

 නව පරපුරේ ජනප්‍රිය ගායක පරම්පරාව නියෝජනය කරන කේෂාන් ශශීන්ද්‍ර සහ කල්පනා කාවින්දිගේත් පළමු යුග ගායනය තමයි මේ. පළමු උත්සාහයෙන්ම මේ ගීතය නිසා සාර්ථකත්වයක් ලබන්න ඔවුන්ට හැකි වුණා. සමන් එදිරිමුණිගේ පද රචනයෙන් සහ නිමේශ් කුලසිංහගේ සංගීතයෙන් හැඩ වුණ මේ ගීතය දෙවෙනි ඉණිම ටෙලි නාට්‍යයේ තේමා ගීතයක් කියලා ඔබ දන්නවා ඇති.

 

 

5. මනමාලී

ඉතාම ආකර්ෂණීය මියුසික් වීඩියෝ එකක් සමඟින් කරළියට පැමිණි මේ ගීතය ලංකාවේ වගේම ජාත්‍යන්තරයෙත් ජනප්‍රිය ගීතයක් නිසා නේපාලයෙත් ඔවුන්ගේ භාෂාවෙන් ගායනා වී එහි ද ඉතා හොඳ ජනප්‍රියත්වයක් ලබලා තිබෙනවා. ඉන්ෆාස්ගේ සහ ජනනි කරුණාරත්නගේ හඬ පෞර්ෂයන්ගෙන් හැඩ වුණු මේ ගීතයේ සංගීත දායකත්වය ඉරාජ්ගෙන්. පද රචනය අචල සොලමන්ස්. 

 

 

6. තරු කුමරා

සිරස ටීවී එකේ විකාශය වුණු “තරු කුමරා” කොරියානු ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන මෙය ලංකාවේ රසිකයන්ගේ සිත් දිනා ගත් ආදරණීය යුග ගායනයක් වුණා. මේකේ විශේෂත්වය තමයි ගීතයට සංගීතය නිර්මාණය කළ රදීශ් වැන්දබෝනා විසින්ම ඉන්දීවරී හෙට්ටිආරච්චි සමඟ මෙම ගීතය ගායනය කිරීම. ගී පද රචනය සිඩ්නි චන්ද්‍රසේකරගේ. 

 

 

 

7. චංචලා

ඉරාජ්ගේ ඒ කාලේ ආපු “ආලෝකේ” ගීත ඇල්බම් එකේ එන අතිශය ජනාදරය දිනා ගත්ත ගීතයක් මේ. “මලිත්ට ගහද්දී චංචලා අඬන්නේ ඇයි?” කියන ප්‍රශ්නය අපිට ඉතුරු කළේ මේ මියුසික් වීඩියෝ එකෙන්. සමිතා මුදුන්කොටුවගේ ළයාන්විත හඬ සහ සිර​ස සුපිරි තරුවක් වුණ මලිත් පෙරේරා ගේ හෘදයාංගම හඬ එකට එක් කළ මේ ගීතය අපි හැමෝගෙම ප්‍රථම ප්‍රේමයේ අතීත කාමය අවුස්සපු ආදරණීය යුග ගීයක්. මේකේ පද රචනය සිඩ්නි චන්ද්‍රසේකරගේ. 

 

තිනෙති නානායක්කා​ර