කවුරුවත් එපා නොකියන සබ්මැරීන් රෙසිපි 5ක්

කවුරුත් කන්න කැමති රසම රස සබ්මැරීන් ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්නයි ආවේ. පහුගිය ටිකේ සබ්මැරීන් කන්න බැරුව ගෙදරට කොටු වෙලා උන්නු අයත් එන්න, අපි ගෙදරදිම හදමු රසම රස සබ්මැරීන් ෆිලින්ග්ස් ටිකක්. 

 

1. චිකන් සබ්මැරීන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු රහිත චිකන් ග්‍රෑම් 250
  2. ලුණු ස්වල්පයක්
  3. තෙල් ස්වල්පයක්
  4. කපාගත් ළූණු ගෙඩි 1
  5. කෑලිමිරිස් තේ හැඳි 2
  6. සෝයාසෝස් මේස හැඳි 2
  7. චිලී සෝස් මේස හැඳි 1
  8. කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2 (කහපාට)
  9. කපාගත් තක්කාලි ගෙඩි 2
  10. මයෝනේස් ස්වල්පයක් (කැමතිනම්)
  11. තක්කාලි සෝස්

 

  • චිකන් ටිකට ලුණු අතගාල තෙල් ටිකක් දාගත්ත පෑන් එකට දාලා පෑන් ෆ්‍රයි කරගන්න. හොඳට තැම්බෙනකම් බැදුනම ලිපෙන් ඉවත් කරල චිකන් පොඩි කෑලි වලට කඩාගන්න.
  • ඒ පෑන් එකටම තෙල් ටිකක් දාලා රත්වෙනකොට කපාගත් ළූණු ටික දාගන්න. රස අනුව ලුණු, කෑලිමිරිස් දාගන්න.
  • ළූණු ටික බැදෙනකොට චිකන් ටික එකතු කරන්න. සෝයාසෝස් හා චිලී සෝස් එක්ක බෙල්පෙපර් හා තක්කාලි ටික දාගන්න. ටික වෙලාවක් හැඳිගාලා ලිපෙන් බාගන්න.
  • වෙනම පෑන් එකකට බටර් ටිකක් දාලා රත්වෙනකොට සබ්මැරීන් බන් එක මැද්දෙන් කපලා ඒක පෑන් එකට දාලා පොඩ්ඩක් ටෝස්ට් කරගන්න. දැන් හදාගත්තු චිකන් ෆිලින් එක දාගන්න. උඩින් මයෝනේස් හා ටොමැටෝ සෝස් දාගන්න.

 

2. බීෆ් සබ්මැරීන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොප්කරගත් බීෆ් ග්‍රෑම් 200
  2. බටර් ස්වල්පයක්
  3. ඔලිව්තෙල් ස්වල්පයක්
  4. ගම්මිරිස්කුඩු තේ හැඳි 2
  5. මිරිස්කුඩු තේ හැඳි 2
  6. කපාගත් ළූණු ගෙඩි 1
  7. චීස් ස්ලයිසස් කිහිපයක්
  8. සලාද කොළ ටිකක්
  9. කපාගත් තක්කාලි පෙති කිහිපයක්
  10. මයෝනේස් ටිකක්
  11. බාබකිව් සෝස් ස්වල්පයක්

 

  • පෑන් එකට බටර් ටිකක් දාලා රත් කරගන්න. ඒකට බීෆ් ටික දාගන්න. උඩින් ඔලිව්තෙල් ටිකක් දාගන්න. ඒකට ලුණු, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු දාලා බීෆ් ටික තැම්බෙනකල් විටින් විට හැඳි ගගා වහලා තියන්න.
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා කපාගත් ළූණු ටික දාගෙන හොඳට බැදගන්න.
  • සබ්මැරීන් බන් එක කපලා බීෆ් ටික අතුරගන්න. ඒකට උඩින් චීස් ලේයර් එකක් දාගන්න. මේක විනාඩි 2ක් සෙල්සියස් 200ට බේක් කරලා අරන් බැදගත් ළූණු ටික දාලා තක්කාලි සහ සලාද කොළ අතුරගන්න. මයෝනේස් හා බාබකිව් සෝස් දාගන්න.

 

3. කියුබන් සබ්මැරීන්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. හැම් ස්ලයිසස් ටිකක්
  2. මස්ටර්ඩ් ක්‍රීම් ස්වල්පයක්
  3. චීස්
  4. මැරිනේටඩ් පෝක් ස්ලයිස් (pernil)
  5. බටර් මේස හැඳි 2
  6. සබ්මැරීන් බන් 1

 

  • බන් එක මැදින් කපාගන්න. මේකට මස්ටර්ඩ් ක්‍රීම් ගාගන්න. දැන් පෝක් ස්ලයිස් ටික අතුරගන්න. ඊට උඩින් හැම් ටික දාගන්න. ඊළඟට චීස් පෙති දාගන්න. 
  • දැන් ටෝස්ටර් එකේ බටර් ටික ගාලා සබ්මැරීන් එක උඩත් බටර් ගාගෙන ටෝස්ට් කරගන්න.

 

4. පෝක් සබ්මැරීන්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පෝක් ග්‍රෑම් 200 කෑල්ලක්
  2. ලුණු හා ගම්මිරිස්කුඩු
  3. මිරිස්කුඩු මේස හැඳි 2
  4. තෙල් ස්වල්පයක්
  5. තලාගත් සුදුළූණු බික් 4ක්
  6. වියලි රෝස්මරි ස්වල්පයක්
  7. සෝයාසෝස් මේස හැඳි 2
  8. තක්කාලි සෝස් මේස හැඳි 2
  9. චීස් ස්ලයිස් දෙකක්
  10. හීනියට කපාගත් ගෝවා හා දම් ගෝවා ටිකක්
  11. ග්‍රේට්කරගත් කැරට් ටිකක්
  12. මයෝනේස් ස්වල්පයක්
  13. දෙහි යුෂ ස්වල්පයක්

 

  • තෙල්, ලුණු, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු එකට කලවම් කරලා පෝක් කෑල්ලෙ තවරගෙන පැය 2ක් මැරිනේට් කරගන්න.
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා පෝක් කෑල්ල හැම පැත්තම හරවමින් අඩු ගින්දරේ හොඳට බැදගන්න.
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා සුදුළූණු හා රෝස්මරි දාගන්න. විනාඩි 2ක් වගේ තෙම්පරාදු කරගන්න. මේකට වතුර කෝප්ප 1ක් දාලා  හැඳිගාන්න. 
  • දැන් ෆ්‍රයි කරගත් පෝක් කෑල්ල මේකට දාලා විනාඩි 15ක් වහලා තම්බගන්න. තම්බගත්ත පෝක් කෑල්ල සෙල්සියස් 180ට රත්කරගත් අවන් එකක විනාඩි 10 -15ක් බේක් කරගන්න. 
  • බේක් කරගත් පෝක් ටික පොඩි කෑලි වලට කඩාගන්න. පෝක් ටික භාජනේකට දාල ලිපේ තියලා සෝයාසෝස් හා ටොමැටෝ සෝස් දාලා විනාඩි 2ක් පිසගන්න.
  • සබ්මැරීන් බන් එක කපලා බටර් ටිකක් ගාගන්න. පෑන් එකේ තියලා පොඩ්ඩක් ටෝස්ට් කරලා අරන් හදාගත්ත පෝක් මිශ්‍රණයෙන් ලේයර් එකක් දාගන්න.
  • උඩින් චීස් ස්ලයිස් දාගන්න. විනාඩි 2ක් සෙල්සියස් 180ට බේක් කරගන්න. ආයෙ පෝක් ලේයර් එකක් දාගන්න. ගෝවා, දම් ගෝවා හා කැරට් කලවම් කර දෙහි ටිකක් දමා අතුරගන්න. අන්තිමට මයෝනේස් දාලා අනික් බන් පෙත්තෙන් වහගන්න.

 

5. මෙක්සිකන් සබ්මැරීන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බෝන්ලස් චිකන් ග්‍රෑම් 200
  2. එළවළු තෙල් කෝප්ප 1/2
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1
  4. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 1
  5. කපාගත් බෙල්පෙපර් කෝප්ප 1 (පාට 3කින්)
  6. කෝන් කෝප්ප 1
  7. කපාගත් මශෲම් කෝප්ප 1
  8. කපාගත් තක්කාලි ගෙඩි 1
  9. ලුණු හා ගම්මිරිස්කුඩු
  10. කහකුඩු තේ හැඳි 1/4
  11. මෙක්සිකන් සීසනින් පව්ඩර් තේ හැඳි 1/2
  12. කෑලිමිරිස් තේ හැඳි 1
  13. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1
  14. සබ්මැරීන් බන් 1

 

  • චිකන් ටික දික් අතට කපාගන්න.
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා චිකන් ටික දාගන්න. හොඳට තැම්බෙනකම් බැදුනම ලිපෙන් බාගන්න.
  • වෙනම පෑන් එකක් ලිපේ තියලා තෙල් කෝප්ප 1/4ක් දාගන්න. දැන් චොප්කරගත් ළූණු ටික දාගන්න. ඊළඟට සුදුළූණු සහ  බෙල්පෙපර් ටික දාගන්න. විනාඩි 3ක් වගේ පිසගන්න. ඊළඟට කෝන්, මශෲම් හා තක්කාලි ටික දාගන්න.  
  • ඒකට කහකුඩු, මිරිස්කුඩු, ගම්මිරිස්කුඩු දාලා හැඳිගාන්න. අන්තිමට චිකන් ටික දාලා කලවම් කරන්න. තව විනාඩි 10ක් වගේ තියාගන්න. බාගන්න කිට්ටුව මොසරැල්ලා චීස් දාගන්න. චීස් මෙල්ට් උනාම ලිප නිවාගන්න.
  • බන් එක දෙකට කපල, බටර් තවරගත්ත පෑන් එකක පොඩ්ඩක් ටෝස්ට් කරගෙන, හදාගත්ත ෆිලින්ග් එක මැදට දාගන්න.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *