දැන් ඔය සෝෂල් මීඩියා තියෙන්නේ ෆන් ගන්නය කියලා කිව්වට, හැම තිස්සෙම සෝෂල් මීඩියා ෆන් නැහැයි කියන එක තේරෙනවනේ ඕන මෝඩ මී හරකෙක්ට. විශේෂයෙන්ම සෝෂල් මීඩියා වල අපේ මතයක් එහෙම ප්‍රකාශ කළාට පස්සේ, ඒ මතය කොයි තරම් හරි වුනත්, ඒකට ඇටෑක් කරන්නත් එකෙක් හරි ඉන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය නිතරම සෝෂල් මීඩියා වල හැසිරෙන, බැහැලා අදහස් ප්‍රකාශ කරන, ඒ නිසාම යම් ජනප්‍රියත්වයකුත් සෝෂල් මීඩියා ඇතුළේ තියෙන අයට මේ වගේ අත්දැකීම් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි එහෙම වුනහම ගොඩක් අය හැසිරෙන්නේ, ඒ ප්‍රහාර වලට ප්‍රතිචාර දක්වන්නේ බොහොම මොට්ට මෝල් විදියට, අනුවණ විදියට. එක්කෝ බය වෙනවා. එහෙම නැතිනම් කලබල වෙනවා. එහෙම නැතිනම් මළ පන්න ගන්නවා.
හැබැයි සෝෂල් මීඩියා වල ඔය ඕන ඇටෑක් එකකට මුහුණ දීගෙන වැජඹෙන්න නම්, පොඩ්ඩක් මොළේ කල්පනා කළහම ඇති. අපි කියන්න යන්නේ ආන්න ඒකට උපකාරී වෙන ටිප්ස් කීපයක් ගැන තමයි.
1. මොනවද පෝස්ට් කරන්නේ?
පළවෙනියටම හිතලා බලන්න ඕන කාරණාව තමයි මේක. තේරුණේ නැද්ද? අපි ඔහේ හිතට එන හැම මැටි කතාවම ලියන මනුස්සයෙක් නම්, එතන අවාසි කීපයක් තියෙනවා. එකක් තමයි මිනිස්සු අපි කියන කිසිම දෙයක් සීරියස් නොගැනීම. එතකොට අපිට ඇටෑක් එකක් ආවත්, අපි ඒකට ආපිට කියන දෙයක් කවුරුවත් ගණන් ගන්නෙත් නෑ. දෙවෙනි කාරණාව, අපි මොට්ට කතා ලිව්වට පස්සේ, ඒකට කවුරුහරි තර්කානුකූලව ඇටෑක් කළොත්, අපිට දෙන්න උත්තර නෑ. තව මැටි කතාවක්ම තමයි ලියන්න වෙන්නේ!
ආන්න ඒ නිසා සෝෂල් මීඩියා වල දෙයක් පළ කරන්න කලින් හිතලා බලන්න. තමන් පළ කරන අදහස හෝ මතය නිසි පදනමක් මත ඉදිරිපත් කරන්න. කොහෙන් හරි අහුලාගත්ත දෙයක් කියන්න කලින්, ඒකට හොඳ මූලාශ්‍ර පදනම් කරගන්න. දෙයක් ෆේස්බුක් එකේ එහෙම ලියන්න කලින් ඒ ගැන ඉක්මන් රිසර්ච් එකක් කරලා නිවැරදි කරුණු හොයාගන්න. ආන්න ඒ වගේ තාර්කික, පදනම් සහිත දේවල් ලියනකොට කෙනෙක්ට ඒවලට ඇටෑක් කරන්න අමාරුයි. ඇටෑක් කළත්, අපිට ඒ ඇටෑක් වලට එතකොට මුහුණ දෙන්න ලේසියි.
2. තමන්ගේ රෙප් එක!
මෙන්න ඇටෑක් එන්න කලින් හිතලා බලන්න ඕන දෙවෙනි කාරණාව. තමන්ට සෝෂල් මීඩියා ඇතුළේ මොනවගේ පිළිගැනීමක්ද හැදෙන්න ඕන කියන එක හිතලා බලන්න. උඩ කියපු කාරණාවත් මේකට අදාළ වෙනවා. ඒ ඇරෙන්න තමන්ගේ හැසිරීම ප්‍රොෆෙෂනල් විදියට තියාගන්න පුළුවන් නම්, කෙනෙක් දෙයක් කිව්වහම බුරාහැලෙන්නේ නැතුව, කුණුහරුප කියන්නේ නැතුව, ඊගෝ වපුරන්නේ නැතුව ඒකට ප්‍රතිචාර දෙන්න පුළුවන් නම්, ආන්න හොඳ රෙපියුටේෂන් එකක්, ඒ කියන්නේ සෝෂල් මීඩියා කීර්ති නාමයක් හැදෙනවා. අන්න ඒක වැදගත්.
3. කලබල නොවෙන්න, හොඳ හුස්මක් ගන්න, වෙලාව ගන්න
හරි දැන් ඔය කොයි විදියට හිටියත් ඇටෑක් නම් එන්න පුළුවන් නේ. ගොඩක් වෙලාවට අපි දාන දේකට රිප්ලයි කමෙන්ට් එකක් විදියට ඇටෑක් එක එන්න පුළුවන්. අපේ පෝස්ට් එක ෂෙයාර් කරලා, ඒකට තව දේවල් ලියලා ඇටෑක් එක දෙන්න පුළුවන්. ඔය ඕන විදියකට ඇටෑක්ස් එන්න පුළුවන්. හැබැයි ප්‍රධානම දේ සැලෙන්න එපා. හොඳ හුස්මක් ගන්න. කවුරුහරි අපි දාපු පෝස්ට් එකකට දුම් විසිවෙන කමෙන්ට් එකක් දාලා කියලා දැකපු ගමන් දුවලා ගිහින් උත්තර දෙන්න යන්න එපා. එහෙම ඕන නෑ. තමන්ට කමෙන්ට් කරන්න පුළුවන් මනෝභාවයක්, කමෙන්ට් කරන්න පුළුවන් අවස්ථාවක් එනකල් කාලය ගත්තට කමක් නෑ. විශේෂයෙන්ම මේ වෙලාවට තමයි තමන්ගේ කූල් එක තියෙන්න ඕනෑ.
4. උත්තර දෙන්නම ඕනැද?
මෙන්න මේක හොඳට හිතලා බලන්න ඕන දෙයක්. අපිට එන සමහර ඇටෑක් තනිකරම පදනමක් නැති කුණුගොඩවල්. සමහර ඇටෑක්ස් තනිකරම අපිව වලියට පටලවාගන්න චේතනාවෙන් එන කමෙන්ට්ස්. ආන්න ඒ නිසා හොඳට හිතලා බලන්න මේ කමෙන්ට් එකට උත්තර දෙන්න ඕනද කියලා. ප්‍රතිපත්තියක් විදියට, තමන් ලියපු දෙයක් සම්බන්ධයෙන් කිසිම සම්බන්ධයක් නැතුව එල්ල කරන ප්‍රහාර වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න එක හොඳයි. උදාහරණයක් විදියට ගත්තොත්, අපි නව වෙනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය ගැන ලියපු පෝස්ට් එකකට කවුරු හරි ඇවිල්ලා අපේ අම්මව තාත්තව මතක් කරනවා නම්, සම්පූර්ණයෙන්ම නොසලකා හරින්න. කිසිම අවධානයක් ලබා නොදෙන්න. ඒ වගේ කමෙන්ට්ස් අදාළම නෑ කියන එක ගණන් නොගැනීමෙන්ම පෙන්නන්න.
5. කොයි විදියේ ප්‍රතිචාරයක්ද දෙන්නේ?
හැබැයි ඒක ප්‍රතිචාර ලබාදිය යුතු වර්ගයේ කමෙන්ට් එකක් නම්, හොඳට හිතලා බලන්න ඕන ප්‍රතිචාර දක්වන විදිය. උදාහරණයක් විදියට කිවුවොත්, අපි හොඳට හිතලා බලන්න ඕන තාර්කික පැහැදිලි කිරීමක් කරනවද, තවත් ප්‍රශ්න ඇසීමකින් උත්තර දෙනවද, එහෙම නැතිනම් ඒ වගේ වෙනයම් ක්‍රමයක් පාවිච්චි කරනවද කියන එක ගැන. මෙන්න මෙතනදී තමයි අපි කියපු අර පළවෙනි කාරණාව, ඒ කියන්නේ දැනගෙන දේවල් සෝෂල් මීඩියා වල ලිවීම වැදගත් වෙන්නේ. අන්න එතකොට අපිට ඒ ආශ්‍රිතව එන නිර්දය ප්‍රහාරයකට පවා බොහොම සාර්ථක පිළිතුරක් ගොනු කරගන්න ලේසියි. හැම වෙලේම මේ ප්‍රහාර සංවාද වලට හරවාගන්න උත්සාහ කරන්න ඕන. හැබැයි ඒක කරන්න ඕන ගහන්න එන එකාව ඉඹින්න ගිහින් නෙවෙයි. බොහොම නියුට්‍රල් විදියට තාර්කිකව, පදනමක් ඇතුව උත්තර දීලා.
හැබැයි කොයි තරම් තාර්කිකව පැහැදිලි කළත් ගේමම ඉල්ලන මැටි මෝල්ලු සෙට් වුණොත්, ලෙට්ස් ඇග්‍රී ටු ඩිසැග්‍රී කියලා හිනාවක් දාලා වැඩේ ඉවර කරන්න. එතනින් එහාටත් ගේමම ඉල්ලනවා නම්, හතරවෙනි කාරණාව අනුගමනය කරන්න.
6. මර උගුල් වලට අහුවෙන්න එපා!
හැබැයි කොයි තරම් තාර්කිකව, පදනම් සහිතව උත්තර දුන්නත්, ඔය සෝෂල් මීඩියා කාපු එවුන් ට්‍රයි කරන්න පුළුවන් අපිව උගුල් වල පටලවන්න. එක්කෝ අපේ කූල් එක නැතිවෙන විදියට ඇටෑක් කරයි. එක්කෝ ෆේක් වලින් ඇවිත් අපිව අන්දන්න හදයි. එක්කෝ ත්‍රෙඩ් එකම අල කරන්න හදයි. එක්කෝ සෙට් බස්සලා අපිව බය කරන්න හදයි. ආන්න ඒවට අහුවෙන්න එපා. අදාළ කාරණාවන්ට විතරක්, වෙලාව අරගෙන උත්තර දෙන්න. අනික් හැම විකාරයක්ම නොසලකා හරින්න. සෙට් පිටින් බැස්සොත්, ඒත් පදනමකින් අහන අදාළ දේවලට විතරක් සෙට් එකටම උත්තර දෙන්න.
7. ඩැමේජ් කන්ට්‍රෝල්
හැබැයි අපි කියපු දෙයක මොකක් හරි වැරැද්දක් තිබිලා, ඒක අල්ලගෙන අපිට ගහන්නත් කට්ටිය බහින්න පුළුවන්. ඒ වගේ දේකදී කරන්න වෙන්නේ ඩැමේජ් කන්ට්‍රෝල් කරන එක. ඒකට හොඳම පුරුද්දක් තමයි, තමන්ට වැරැද්දක් වුනොත්, ඒක පෙන්නලා දුන්න සැනින් ඒක ඇත්තටම අපිට වුණු වැරැද්දක්ද කියලා හොයලා බලන එක. ඇත්‍තටම අපිට වුණු වැරැද්දක් නම්, දෙපාරක් නොහිතා ඒකට සමාව ඉල්ලල, ඒක පෙන්නලා දුන්න කෙනාට ස්තුති කරන එක. එතනිනුත් එහාට ඇටෑක් එකටම කට්ටිය එනවා නම්, තව තවත් කරුණු පැහැදිලි කරන්න යන්නෙ නැතුව, ගණන් නොගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නත් පුළුවන්. එහෙම නැතිනම් වැරදීම ගැන කණගාටුව ප්‍රකාශ කරලා තියෙනකොටත් ගේම ඉල්ලන එක කොයි තරම් කැතද කියලා කියන්නත් පුළුවන්!
හැබැයි ඉතින් පුරුද්දක් විදියටම සෝෂල් මීඩියා වල වැරදි කරුණු පෙන්නන හාදයින්ට නම් මේක අදාළ නෑ. ඒ අය ආයෙ පළවෙනි කරුණට ගිහින් කියෝලා එන්න!
8. කීප් ද කූල්!
මෙන්න මේක ඉතාම වැදගත්. කොයිම මොහොතක වුනත් තමන්ගේ කූල් එක නැති කර නොගෙන උත්තර දෙන්න ඕන. කිසිම මොහොතක වලියට යන, ගහගන්න එන්න කියන, සෙට් බස්සන්න හදන, කුණුහරුප කියන, අම්මමෝ මතක් කරන, කොටින්ම කරුණු වලින් පිට කයිකතන්දර කියන ලෙවල් එකට වැටෙන්න එපා. තමන්ගේ මිස්ටර් කූල් හෝ මිස් කූල් ස්ටේටස් එක තියාගන්න. විශේෂයෙන්ම ඔය අපිට එන ඇටෑක් වලදී නොසැලී මුහුණ දෙන පෞරුෂත්වයක් ඇතිකරගන්න ඒක වටිනවා.
Leave a Reply