ඊජිප්තුව කියන්නේ පුරාණ ලෝකයේ සුවිශේෂී ශිෂ්ටාචාරයක කෙම්බිමක්. ලෝකයේ දිගම ගඟ වන නයිල් නදිය තමයි මේ ශිෂ්ටාචාරය සඳහා පණ නල පිම්බේ. ඇතැම් විද්වතුන් තර්ක කරන විදිහට ග්රීක ශිෂ්ටාචාරය පවා ගොඩනැගෙන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරය මගින් ලැබුණු ආභාෂය හේතුවෙන්. අහස සිඹින අති දැවැන්ත පිරමීඩ නයිල් නදියේ ශිෂ්ටාචාරය පිළිබඳව රහස් රැසක් සඟවාගෙන ඉන්නවා.
අපි අද ඔබත් එක්ක තොරතුරු බෙදා ගන්න යන්නේ මිසර දේශවාසීන්ගේ වන්දනාවට ලක් වුණු දෙවිවරු කිහිපදෙනෙක් පිළිබඳව. මේ ආටිකල් එක සඳහා ඔබෙන් ලැබෙන ප්රතිචාර උඩ මේ දෙවිවරු සම්බන්ධ රසවත් කථාන්තර වගේම මිසර ශිෂ්ටාචාරය පිළිබඳව ඔබ මෙතෙක් නොකියවපු තොරතුරු ඇතුළත් ආටිකල් සීරිස් එකක් ලියන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි වැඩි කතා නැතුව ඊජිප්තු දේව මණ්ඩලයේ ප්රධාන දෙවිවරු හත් දෙනා ගැන දැනගමු.
1. ආමුන්
ඊජිප්තු දේව මණ්ඩලයේ ප්රධානියා වුණේ ආමුන්. වෙනත් විදිහකින් කියනවා නම් ග්රීක දේව මණ්ඩලය තුළ සියුස්ට ලැබුණ තැන එහෙමත් නැත්නම් ඉන්දීය දේව මණ්ඩලය තුළ ඉන්ද්රට ලැබුණු තැන ලැබුණේ ආමුන් හටයි. ඇතැම් අවස්ථාවල ආමුන්ව තවත් ඊජිප්තු දෙවියෙක් සමග එක්ව නිරූපණය වෙනවා. ඔහු තමයි හිරු දෙවියා ලෙස සැලකෙන රා. මේ නිසාම පසු කලෙකදී ඊජිප්තුව තුළ ආමුන්රා ඇදහීම වඩාත් ජනප්රියත්වයට පත් වුණා. ඔහුගේ බිරිඳ වුණු මුට් දෙවඟන සහ ඔවුන් දෙදෙනාගේ දරුවා වූ කොහෙන්සු නම් චන්ද්ර දේව පුත්රයාව ත්රිමූර්තියක් ලෙස වැඳුම් පිඳුම් වලට ලක් වුණා.
2. අනුබිස්
අද දක්වා ම බොහෝ දෙනෙක් දන්නා ඊජිප්තු දෙවියා විදිහට අනුබිස්ව හඳුන්වන්න පුළුවන්. වෘකයෙකුගේ හිසක් සහිතව නිරූපණය වන මෙම දෙවියා පාතාල ලෝකයේ ද්වාර ආරක්ෂක දෙවියා ලෙස කටයුතු කරන බවයි ඊජිප්තු වැසියන් විශ්වාස කළේ. මරණයේ දෙවියා වූ ඔහු ඊජිප්තුව තුළ මළසිරුරු මමීකරණය කිරීමේදී වැදගත් භූමිකාවක් ඉෂ්ට කළා. ඇතැම් පර්යේෂකයන් සඳහන් කරන ආකාරයට වෘකයන්ට වැළලූ මළ සිරුරු හාරා ආහාරයට ගැනීමට ඇති හැකියාව නිසා අනුබිස්ව මේ ආකාරයෙන් වෘක හිසකින් නිරූපණය වූ බව කියවෙනවා.
3. හෝරේස්
ආකාශයට අධිපති දෙවියා ලෙස සැලකෙන හෝරේස් ඊජිප්තු වැසියන් ගේ සුවිශේෂී ගෞරවාදරයට පත්වූ දෙවියෙක්. ඊජිප්තු දේව කතා වලට අනුව ඔහු ඔසිරිස් සහ අයිසිස්ගේ පුත්රයායි. සිය පියාගේ මරණයේ පළිය ගැනීමට ඔසිරිස්ගේ සහෝදරයා වූ සෙත් සමඟ සිදුවූ යුද්ධයේදී ඔහුට එක් ඇසක් අහිමි වුණා. එහිදී අනෙක් දෙවිවරුන් එම ඇස අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී වැගිරෙන කඳුළුවලින් ඊජිප්තුවේ පළමු මිනිසුන් බිහි වූ බවයි විශ්වාස කෙරුණේ.
4. ඔසිරිස්
ජීවිතය, මරණින් මතු ජීවිතය මෙන්ම නයිල් නදිය පිටාර ගැලීම ගැනීම පිළිබඳව වගකිවයුතු දෙවියා ලෙස ඔසිරිස්ව සැලකුණා. සිය සහෝදරයා වන සෙත් විසින් මරණයට පත් කිරීමෙන් අනතුරුව ඔසිරිස්ගේ බිරිඳ වන අයිසිස් තම සැමියාව තාවකාලිකව පුනර්ජීවනයට පත් කොට ඔහු සමඟ එක් වී හෝරෙස්ව බිහි කරා. අවසානයේදී ඉහත සඳහන් කළ ආකාරයට හෝරෙස් විසින් සිය පියා මැරිමේ පළිය සෙත්ගෙන් ලබා ගත්තා. වර්තමාන පර්යේෂකයන් සඳහන් කරන ආකාරයට යේසුස්වහන්සේගේ උත්ථානය පිළිබඳ ප්රවාදයටත් ඔසිරිස් පිළිබඳ මේ සංකල්පය බලපා තිබෙනවා.
5. බැස්ට්
බැස්ට්, බැස්ටෙට් ලෙස හඳුන්වන මෙම දෙවඟන ආරක්ෂාව සහ පූසන්ට අධිපති දෙවඟන ලෙස වන්දනාමානයට ලක් වුණා. ඇය ගැන පැවසෙන කතා වලට අනුව රාගේ දියණිය වන ඇය, ඇයගේ පියා විසින් ඔහුගේ දරුණු ගණයේ ප්රතිමල්ලවයකු වන අපෙප් සමග සටන් කිරීමට යොදාගන්නවා. පූසෙකුගේ හිසක් සහිතව නිරූපණය වුණු ඇය නිසාම පූසන්ව ඊජිප්තුව තුළ අර්ධ දෙවිවරු ලෙස සැලකුණා. පාරාවෝවරු තමන්ගේ ආරක්ෂක දේවතාවිය ලෙස සැලකුවේද ඇයවයි.
6. සෙත්
කාන්තාරය, අකුණු ගැසීම, දුක් විඳීම, දුෂ්ඨ සැලසුම් ආදියේ පාලක දෙවියා ලෙස සෙත්ව ඊජිප්තුව තුළ අප්රසන්න අයුරින් වන්දනාමානයට ලක් වුණා. අප්රසන්න යැයි සඳහන් කළේ ඔවුහු දෙවියෙක් නිසා වන්දනාමාන කළත් ඉහත අප සඳහන් කළ හේතු නිසාම ඔහුව දුෂ්ඨයෙකු ලෙස ඊජිප්තු වාසීන් පිළිකුල් කළා. රතු වර්ණය ඔහුගේ වර්ණය ලෙස සැලකීම නිසා එම වර්ණය ඊජිප්තුව තුළ නපුර සංකේතවත් කරන වර්ණයක් බවට පත්වුණා.
7. රා
ආරම්භයේ දී අපි සඳහන් කළ ආකාරයටම මුල්කාලයේදී රා සැලකුණේ වෙනමම දෙවියෙකු ලෙසයි. ඒ කාලයේ දී ඔහු ඉරට සහ ලෝකයේ සියලු දෑම මැවීම පිළිබඳ දෙවියා ලෙස සැලකුණා. එම කතා ප්රවෘත්ති වලට අනුව පෘථිවිය නිර්මාණය කරන ලද්දේ ඔහු විසින් වන අතර සෑම දිනකම උදෑසන නැගෙනහිරදී ඔහු උපත ලබන අතර රාත්රියේදී බටහිර අන්තයේ දී ඔහු මිය යනවා. උදේ රෑ ඇතිවීමට හේතුව ලෙස ඊජිප්තු වාසීන් සලකන ලද්දේ ඔහුගේ උපත සහ මරණයයි.
එහෙම නම් ඉතින් ඔබේ අදහස් වලට කමෙන්ට් සෙක්ෂන් එකත්, ෂෙයාර් කිරීම් සඳහා ෂෙයාර් බටන් එකක් විවෘතයි.
Leave a Reply