ටික් ටොක් කියන්නේ අලුත් ෆේස්බුක් එක කියලා ගොඩක් අය හිතන තරමට මේ වෙනකොට ලෝකෙම ජනප්‍රිය වෙලා තියෙනවා කියන එක බොරුවක් නෙවෙයිනේ. අපිත් ටික් ටොක් ගැන කලින් කතා කරලා තියෙනවා. හැබැයි ඉතින් ටික් ටොක් කරන අයත් සූ ගාලා ඉන්නවා වගේම, ටික් ටොක් කරන උන්දැලව ගඟේ ඔබන්න හිතන ටික් ටොක් හේටර්ස්ලාත් සූ ගාලා ඉන්නවා. හැබැයි ටික් ටොක් හේටර්ස්ලගෙනුත් සමහරු හොරෙන් හොරෙන් ටික් ටොක් බලනවා කියලත් සමහරු කියනවා. 😀
කොහොම කොහොම හරි, ටික් ටොක් වලට බණින ගොඩක් අය පෙන්නන ටික් ටොක් වැරදි ගැන අපි කියලා තියෙනවා. උදාහරණයක් විදියට මිනිස්සු මේකට පිස්සුවෙන් වගේ ඇබ්බැහි වීම. හැබැයි ටික් ටොක් වල හොඳක් ඇත්තෙම නැද්ද? ආන්න ඒ ගැනත් ටිකක් කතා කරලා බලමුද?
1. ආතල් නේහ්?
මිනිස්සු සමාජ විරෝධී නොවෙන විදියකට, තමන්ට හෝ අනුන්ට හිරිහැරයක් නොවෙන විදියට තමන්ගේ ආතල් ගන්න එකේ කිසිම වැරැද්දක් නැහැනේ. ඉතින් ටික් ටොක් කියන්නෙත් අන්න ඒ විදියේ විනෝදාස්වාද මාධ්‍යයක්. එතකොට ඒකට ඇබ්බැහි වෙනවා නම්, ඒක වළක්වා ගන්න පුළුවන් තමන්ට හොඳ විනයක් තියාගැනීමෙන්. ඒ ඇරෙන්න වැඩ කරලා කරලා ස්ට්‍රෙස් වුණු වෙලාවක පොඩ්ඩක් ටික් ටොක් වීඩියෝස් ටිකක් බැලුවහම හිත සැහැල්ලු වෙනවා කියන එක බොරුවක් නෙවෙයිනේ. ඒක ටික් ටොක් වල තියෙන ප්ලස් පොයින්ට් එකක්!
2. අධ්‍යාපනික වීඩියෝසුත්!
ඔව්. ටික් ටොක් එකේ දැන් දැන් මිනිස්සුන්ට යම් කිසි දැනුමක් ලබාදෙන වීඩියෝස් එහෙමත් දකින්න පුළුවන්. උදාහරණයක් විදියට බියුටි කල්චර් කරන අක්කි කෙනෙක් ඇවිත් කියලා දෙන්න පුළුවන් කොහොමද කෝමාරිකා පාවිච්චි කරලා ගෙදරදීම ෆේස්වොෂ් එකක් හදාගන්නේ කියලා. එතකොට තව අයියා කෙනෙක් ඇවිත් කියලා දෙන්න පුළුවන් කාඩ් පැක් එකකින් කරන්න පුළුවන් මැජික් ට්‍රික් එකක්. තවත් නංගි කෙනෙක් ඇවිල්ලා ෆොටෝග්‍රැෆි වල ට්‍රික්ස් සහ ටිප්ස් කියලා දෙන්න පුළුවන්. මෙන්න මේ විදියේ අධ්‍යාපනික දේවලුත් ටික් ටොක් එකට ටිකෙන් ටික හරි ඇතුළත් වෙන එක වැදගත්. හැබැයි ඉතින් එකක්: ෆේස්බුක් එකේ වගේම ටික් ටොක් එකේ වුනත් අධ්‍යාපනික දේවල් කියලා බොරු විකාර කියලා දෙන අයත් සෙට් වෙන්න පුළුවන්. අන්න ඒවලින් බේරෙන්නත් දැනගන්න ඕන.
3. ප්‍රමෝෂන්ස්!
ඇත්තටම ප්‍රමෝෂන් කියලා අපි මේ අදහස් කරන්නේ ඔය බඩුභාණ්ඩ ප්‍රොමෝට් කරන එකම නෙවෙයි. එතනින් එහාට ගියහම තමන්ගේ තියෙන යූටියුබ් චැනල් එකක්, ඉන්ස්ටග්‍රෑම් චැනල් එකක්, ෆේස්බුක් පේජ් එකක් එහෙම වුණත් ටික්ටොක් වලින් ප්‍රොමෝට් කරගන්න බැරිද? උදාහරණයක් විදියට ගත්තොත්, යූටියුබර් කෙනෙක්ට පුළුවන් තමන්ගේ ඉස්සරහට එන වීඩියෝ එකක පොඩි ට්‍රේලරයක් ටික් ටොක් එකේ දාන්න. එතකොට වීඩියෝ එක ආවට පස්සේ මේකින් ඔෆ් පොඩි ක්ලිප් එකක් ටික් ටොක් එකේ දාන්න. ඕවනේ ප්‍රමෝෂන්.
4. යාලු මිත්‍ර කං
මෙන්න මේ කාරණාව නම් පුද්ගලානුබද්ධයි කියන්න පුළුවන්. හැබැයි ටික්ටොක් එකෙත් බොහොම අපූරු යාලුමිත්‍ර සන්ධවයන් ඇතිවෙන නැඹුරුවක් තියෙනවා. ඇත්තටම ගත්තොත් ඔය ෆේස්බුක් එකෙන් එහෙමත් යාලුකම් ඇතිවෙනවා. ෆේස්බුක් වගේ ප්ලැට්ෆෝම් එකක යාලුකම් ඇතිකරගන්න සාපේක්ෂව ලේසියි. ටික්ටොක් එකේ ගොඩක් වෙලාවට යාලුකම් ඇතිවෙන්නේ නිරන්තරයෙන් ටච් එකේ ඉඳීමෙන්, ඒ කියන්නේ කමෙන්ට්ස් වලින් එහෙම ටච් එකේ ඉඳීමෙන් සහ තමනුත් ටික් ටොක් වීඩියෝස් එහෙම කිරීම නිසා අවධානයට ලක්වීමෙන් තමයි. උදාහරණයක් විදියට, අපිට ටික් ටොක් එකේ කාටහරි ඩිරෙක්ට් මෙසේජ් කරන්න ඕන නම්, එයා අපිව ෆලෝ කළ යුතුයි. හැබැයි ඉතින් අපි මොකුත් වීඩියෝස් කරන්නේ නැති නම්, අපි කෙනෙක්ව ෆලෝ කළත්, ඒ කෙනා අපිව ෆලෝ කරන එකක් නැහැනේ.
හැබැයි මේ බාධක තිබුණත්, ටික් ටොක් එකේ යාලු මිත්‍ර කණ්ඩායම් හැදෙනවා දකින්න පුළුවන්. ඒකත් හොඳක්!
5. තමන්ගේ දක්ෂතා
මේක ගැන සමහරු එකඟ වුනත්, තවත් සමහරු එකඟ වෙන එකක් නෑ. දැන් හිතන්න, අපි දන්න කොයි තරම් අයට, එතකොට අපිට පවා පුළුවන්ද ඉස්සර ස්ටේජ් එකකට නැගලා සිංදුවක් කියන්න? එහෙම සභාවක් මැද්දේ වුනත් දෙයක් ඉදිරිපත් කරන්න ගට්ස් තිබුණේ කීයෙන් කී දෙනාටද? හැබැයි එහෙම වේදිකා භීතිකාව, ලැජ්ජාශීලීත්වය තියෙන අය වුනත් ටික්ටොක් එකේ වීඩියෝස් කරනවා.
ඒ වගේම ගොඩක් අය ඉන්නවා සැඟවුණු කුසලතාවයන් තියෙන. ඒ අය දන්නෙ නෑ තමන්ට එහෙම හැකියාවන් තියෙනවා කියලාවත්. හැබැයි ටික්ටොක් වගේ ප්ලැට්ෆෝම් එකකින් ඒ කුසලතාවයන් එළියට එන්න හොඳ චාන්ස් එකක් තියෙනවා. හරියට පාවිච්චි කරනවා නම්, ටික් ටොක් වාසියක් වෙන ප්‍රබල තැනක් ඒක.
6. අවස්ථාවන්
එහෙම සැඟවුණු කුසලතාවයන් එළිදැක්වෙන අයට අවස්ථාවන් එහෙමත් ටික්ටොක් වෙතින්ම විවෘත වෙනවා. උදාහරණයක් විදියට, ටික්ටොක් එකේ ඉන්ෆ්ලුවන්සර්ලා වුණු අයට, ඒ කියන්නේ හොඳ ෆෑන් බේස් එකක් තියෙන අයට ඔය බ්‍රෑන්ඩ් නියෝජනය කරන්න, බ්‍රෑන්ඩ් හඳුන්වා දෙන්න එහෙම අවස්ථා ලැබෙනවා. සමහර අයට ටීවී ෂෝ වල පෙනී ඉන්න, රඟපාන්න එහෙමත් අවස්ථාවන් ලැබෙනවා. ඇත්තටම දැන් කාලේ මාකටින් වලදීත් සමාජ මාධ්‍ය වලට ලොකු අවධානයක් ලැබෙන නිසා, ටික් ටොක් වගේ ඇප් වල ජනප්‍රිය අයටත් හොඳ අවස්ථාවන් ලැබෙනවා කොන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදියට ප්‍රොෆෙෂනල් නමක් හදාගන්නත්, ඒ නම බ්‍රෑන්ඩ් කරන්නත්.
7. ෆෑන් බේස්
උඩින් කියපු කාරණාවටම එකතු වෙන දෙයක්නේ තමන්ගේ කියලා ෆෑන් බේස් එකක් තියෙන එක. ඇත්තටම එහෙම ෆෑන් බේස් එකක් හැදෙන්න නම් නිකම්ම මෝඩ චූන් දැම්මා කියලා බැහැ කියලා තමයි ගොඩක් දෙනා කියන්නේ. ඊට වඩා කොලිටි දෙයක් ඉදිරිපත් කරන්න ඕන. අඩු තරමින් මෝඩ චූන් එකක් වුනත් ආකර්ෂණීය විදියට ඉදිරිපත් කරන්න ඕන. ආන්න එතකොට තමන්ට හොඳ ෆෑන් බේස් එකක් ක්‍රමයෙන් නිර්මාණය වෙයි. ෆෑන් බේස් එකක් ඉන්නවා කියන්නේ තමන් ජනප්‍රියයි කියන එකනේ. ඉතින් එහෙම ජනප්‍රිය වෙන්න ක්‍රමයක් හැදෙන එක ටික් ටොක් එකේ වාසියක් නෙවෙයිද?
Leave a Reply