අනුන්ගේ ගෙදරකට ගිහින් හරි විදිහට හැසිරෙන්නේ මෙහෙමයි!

ආරාධනාවක් ඇතු​ව හරි ආරාධනාවක් නැතුව හරි හදිසියේම හරි තවත් කෙනෙක්ගේ ගෙදරකට අපි ගොඩ වැදෙන අවස්ථා තියනවා. අපි එහෙම යන්නේ අපේ යාළුවෙක්ගේ ගෙදරකට වුණත්, නෑදෑයෙක්ගේ ගෙදරකට වුණත්, කලින් හමුවෙලා නැති අමුත්තෙක්ගේ ගෙදරකට වුණත්, ඒ හැම තැනකදිම අපි පිළිපැදිය යුතු සිරිත් විරිත් බොහොමයක් තියනවා. ඒවා හරිහැටි පිළිපදින එක ඒ උදවිය එක්ක අපේ අනාගත සම්බන්ධතාවලටත් යහපත් විදිහට බ​ලපාන්න පුළුවන්.

හොඳයි අපි එහෙනම් බලමු කොහොමද හොඳ සිරිත් විරිත් එක්ක, හොඳ අමුත්තෙක් හැටියට අනුන්ගේ ගෙදරකට යන්නේ සහ ගිහින් හැසිරෙන්නේ කියලා…

 

1. ආරාධනාවක් ලැබුනොත් අනිවාර්යයෙන් යන්න… නැතිනම් කලින් දන්වලා යන්​න

කෙනෙක් ඔයාට සාදයකට හරි කෑම වේලකට හරි ආරාධනා කළොත් අනිවාර්යයෙන් නියමිත දවසේ නියමිත වේලාවට ඒකට සහභාගි වෙන්න උත්සාහ කරන්න. හදිසියේවත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා හරි ඒකට සහභාගි වෙන්න බැරිනම් කරුණාකරලා ඒ ගැන ආරාධනා කරපු පාර්ශවයට කලින් දන්වන්න. ආරාධනාව පිළි අරගෙන සද්ද නැතුව නොගිහින් ඉන්න එක ඒ අයට කරන අගෞරවයක්.

ඒ වගේම තමයි අපි ගෙදරකට අනාරාධිතව හදිසියේ ගොඩ වදින්න යනවනම් ඊට කලින් ඒ ගෙදර උදවියව දුරකථන මාර්ගයෙන් හරි දැනුවත් කරලා යන එක තමයි හරි විදිහ. ඔයා මේ වේලාවේ එයාලව මුණ ගැහෙන්න ආවොත් ඒක ඒ අයට අපහසුවක්ද කියලා කලින් කෝල් එකක් හරි දීලා දැනගෙන යන්න. නැතුව හිතුමතේ ගිහින් ගෙදර දොරට තට්ටු කරන එක එතරම් හොඳ මදි. ඒ වගේම තමයි අනාරාධිතව යන ගමනකදී තව පිරිසක් එකතු කරගෙන යන එකත් හොඳ වැඩක් නෙමෙයි. පුළුවන් තරම් තමන් තනියෙන් යන්න බලන්න.

 

2. අත වන වන යන්න එපා!

සාදයක​ට වේවා, නිකන් ​ගොඩ වැදෙන වෙලාවක වේවා, අපි ගොඩවදින ගෙදර උදවියට සුළුවෙන් හරි තෑග්ගක් අරන් යන්න බලන්​න. ඒ තෑග්ග වටින එකක් නොවුණට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ අයට ගැළපෙන සහ ප්‍රයෝජනයක් තියන එකක් වෙන එක තමයි වැදගත්. වැරදි තෑගි උදාහරණෙකට දියවැඩියා, කොලෙස්ටරෝල් ව​ගේ ලෙඩ වලින් පෙළෙන වයසක උදවිය ඉන්න ගෙදරකට චොක්ලට් කේක් එකක් අරගෙන යන එක දක්වන්න පුළුවන්. ඒක කොච්චර වටිනා, රස කේක් එකක් වුණත් ඒ අයට ඒකෙන් වැඩි ප්‍රයෝජනයක් නැහැනේ. ඒ වගේම තමයි පුංචි ළමයි ඉන්න ගෙදරකට යද්දී ඒ අයගේ හිත සතුටු වෙන්න රසකැවිල්ලක්, පළතුරක් වගේ දෙයක්වත් අරන් යන්න බලන්න. ගෙදරට එන බව දන්වන්න කෝල් කරන වෙලාවෙදිත් ඕනනම් අහන්න පුළුවන් “මේ වෙලාවේ ගෙදරට අවශ්‍ය මොකුත් තියනවද? මම මගින් අරන් එන්නම්” කියලා…

 

3. වාත වෙන්න එපා!

ආරාධනාවකට අනුව ගෙදරකට ගොඩ වැදුනනම් තමන්​ට ඒ අයගේ සංග්‍රහ ආදිය සතුටින් භුක්ති විඳලා, නිදහසේ සතුටු වෙලා එන්න කිසි තහනමක් නැහැ. හැබැයි සීමාවල් පන්නන්නේ නැතිව ඒ ආගන්තුක සත්කාර භුක්ති විඳින්න. කෑම ගද්දී පිළිවෙලකට ගන්න, පමණ ඉක්මවලා මත්පැන් පානය කරලා තමන්වත්, තමන්ට ආරාධනා කරපු උදවියවත් ලැජ්ජාවට පත් වෙන විදිහට හැසිරෙන්න එපා. එදා රාත්‍රිය ඒ නිවසේ රැඳෙන්න ආරාධනා කළේ නැත්නම් නවතින්න ලෑස්ති වෙන්නත් එපා. 

ඒ වගේම තමයි අනාරාධිතව ගියොත් තමන් ඒ අයව හම්බුවෙන්න යන වැඩේ කරගෙන, ඒ හමුව ඉතාම කෙටි එකක් කරගෙන නැවත පෙරළා එක තමයි කරන්න ඕන. නැතුව පැය ගණන්, වරු ගණන් වාඩිවෙලා කයිවාරු ගහමින්, කාලෙ කමින්, දවල් කෑම හරි රෑ කෑම හරිත් ඒ ගෙදරින්ම අරගන්න යන එක නිවැසියන්ට කරදරයක් වෙන්න පුළුවන් අවස්ථා තියනවා. නමුත් ඒ අය සතුටින් ඔයාට කන්න බොන්න දෙයක් පිළිගැන්වුවොත් හරි කෑම වේලක් ගන්න ආරාධනා කළොත් හරි ඒක සතුටින් භාර ගන්​න. ඒකේ කිසි ගැටළුවක් නැහැ.

 

4. දරුවන්ව පාලනය කර තියාගන්න

අනුන්ගේ නිවසකට දරුවොත් එක්ක ගියොත් ඔයාට වෙනදාට වඩා වැඩි අවධානයක් දරුවන් කෙරෙහි දක්වන්න සිද්ධ වෙනවා. නැත්නම් ඒකෙන් නිවැසියන්ට වෙන්නේ කරදරයක් සහ හිරිහැරයක්. කුඩා දරුවන් එහේ මෙහේ දුවලා ගෙදර අපිළිවෙල කරන්න, අනිත් අයට බාධාවක් වෙන්න සහ සමහර විට ගෙදර බඩු මුට්ටුවලට හානි කරන්න වුණත් පුළුවන්. ඒ නිසා නිවසට ගිහින් හැසිරිය යුතු ආකාරය ගැන දරුවන්ට කලින් දන්වලා තියන්න. දඟ කරන්න ගත්තෝතින් ඔහේ දඟලන්න නොදී ඒ අයව පාලනය කරන්න. පුටුවල, බිත්තිවල ගෑවෙන චොක්ලට්, අයිස්ක්‍රීම් වගේ රසකැවිලි වර්ග අරගෙන දීලා ළමයින්ව ගෙවල්වලට අරගෙන යන්න එපා. දරුවන් නොදැනුවත්කම නිසා ඒවා ගෘහ භාණ්ඩවල, බිත්ති වල අතුල්ලන්න ඉඩ තියනවා. යන නිවසේදී දරුවන්ට යම් කෑමක් බීමක් පිළිගැන්වුවොත්, ඔවුන් ඒවා පරිස්සමට කන බොන බවට වග බලාගන්න.

 

5. අනවශ්‍ය කතන්දර කියන්න යන්න එපා!

සාදයකට ගියත්, අනාරාධිතව ගොඩ වැදුනත් ඒ ගෙදර ගැනත්, එහි නිවැසියන් ගැනත් අනවශ්‍ය කතන්දර, උපදෙස් දෙන්න නොයන එක වඩාත් හොඳයි. ගෙදර අරහෙම තිබුණනම් හොඳයි, මෙහෙමයි​නෙ හදන්න තිබ්බේ, මීට වඩා අරක හොඳයි වගේ උපදෙස් සහ ප්‍රකාශ ලබා දෙන එකෙන් පුළුවන් තරම් වැළකෙන්න. ඔබ බල්ලන් බළලුන් වගේ සුරතලුන්​ට අකමැති කෙනෙක් වුණත්, ඒ ගෙදර සුරතලේට හදන සත්තුන්ට පිළිකුලෙන් සලකන්න, දොස් පවරන්න එපා. මොකද සමහරවිට ​ඒ නිවැසියෝ පවුලේ දරුවන්ට වගේ ඒ සතුන්ට සලකන අය වෙන්න පුළුවන්. ඒ වගේම “තාම මගුලක් හරි ගියෙ නැද්ද, නිකන් ගෙදරට වෙලාද ඉන්නෙ, තාම ළමයි නැද්ද?” ව​ගේ අනවශ්‍ය පෞද්ගලික ප්‍රශ්න අහලා ​නිවැසියන්ව අපහසුතාවයට පත් කරන්නත් එපා.

 

6. උදවු කරන්න… නිවැසියන්ට ගරු කරන්​න

අපි සමහර විට ගෙදරකට යද්දී ඒ ගෙදර උදවිය යම් වැඩක නිරත වෙලා ඉන්න පුළුවන්. ඒ වෙලාවට ඒ මිනිස්සුන්ට කියලා තේ හදවාගෙන බීලා බකන් නිලන් ඉන්න උත්සාහ කරන්න එපා. තමනුත් උදවුවක් වෙන්නද කියලා අහන්න. කෑමක්, බීමක් පිළිගැන්නුවෝතින් කෝප්පය, පිඟාන ඔයාම ගිහින් හෝදලා පිළිවෙලට තියන්න උත්සාහ කරන්න. යන තැන හැඩි කරලා, ගෙදර අයට තව වැඩ වැඩි කරලා එන්න එපා. කොච්චර හිතවත් වුණත් අනුන්ගේ ගෙදරකදි තමන්ගේ වගේ හැසිරෙන්න යන්න එපා. ගෙට ගොඩවෙන තැන සෙරප්පු සපත්තු ගලවලා නිවැසියනුත් නිරුවත් දෙපයින් නම් ගෙදර ඉන්නේ, ඔයත් සෙරප්පු සපත්තු ගලවලා නිවසට ඇතුළු වෙන්න. පුටු මේස උඩ කකුල් තියන්, ටීවී ඔන් කරන් ඉන්න හදන්න එපා. අහන්නේ නැතිව දුම්වැටි දල්වගන්න, බුලත්විට කන්න යන්නත් හදන්න එපා අනුන්ගේ ගෙවල් ඇතුළේ.

 

7. අනවශ්‍ය දේවල් ඉල්ලන්න යන්නත් එපා!

ඔයා සමහර විට ගෙදරකට ගොඩ වදින්නේ මොකක් හරි උදවුවක්, භාණ්ඩයක් ඉල්ලගෙන වෙන්න පුළුවන්. එහෙම වෙලාවකදි නිවැසියෝ කැමැත්තෙන් දෙනවානම් ඒක ගන්න එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කපටිකමින් ඒ දේවල් ගන්න හදන්න එපා. නිවසට යන්න කලින් කෝල් කරලා තමන්ගේ අවශ්‍යතාවය කියන්න. එහෙම නැතුව “මම ඔය පැත්තට එන්නද? ඇවිල්ලම කියන්නම්කෝ මේ පොඩි වැඩක්” කියලා ගිහින්, ගෙදර උදවියගෙන් ණය මුදල්, බඩු භාණ්ඩ හෝ උපකාර ඉල්ලන එක හරි මදි. ඒ වෙනුවට “මට පොඩි සල්ලි අතමාරුවක් කරගන්න පුළුවන්ද? පුළුවන්නම් මම ඇවිත් ගන්න බැලුවේ” වගේ ඒ අයට අවශ්‍යතාවය දන්වලා යන නොයන එක තීරණය කරන්න. වෙන වැඩකට ගෙදරට ගොඩ වැදිලා ඉන්න ගමන් ගෙදර උදවියගෙ බඩු භාණ්ඩ ඉල්ලගෙන යන්න හදන එකත් එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඒ වගේම අපේ අය කරන තවත් වැරැද්දක් තමයි යන තැන වතු පාළු කරන එක. මිනිස්සු සල්ලි වියදම් කරලා, මහන්සි වෙලා හදලා නඩත්තු කරන වටිනා ගස්වැල් තමන්ගේ වගේ උදුරගෙන හරි බලෙන් ඉල්ලගෙන හරි එනවා. ඒ කටයුත්තත් බො​හොම පරිස්සමින්, නිවැසියන්ගේ කැමැත්තෙන් මිසක් බල කරලා කළ යුතු දෙයක් නෙමෙයි.

 

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉතින් නිවසකට ගිහින් පිටත් වෙලා එද්දී සද්ද නැතුව, හොරු වගේ එන්න එපා කියන එකයි. තමන් ආපසු යන බව ඒ අයට දන්වලා, සංග්‍රහ කළානම් හෝ උදවු කළානම් ඒකට ස්තූති කරලා යන එක තමයි වැදගත් ක්‍රමය වෙන්නෙ…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *