ටිබෙට් රටේ බෞද්ධ උරුමය සොයා යමු

අද වෙනකොට බටහිර රටවල ථෙරවාදී බුද්ධාගමටත් වඩා වේගයෙන් ප්‍රචලිත වෙන්නේ ටිබෙට් බුද්ධාගම. ඒකට හේතු ගණනාවක් පවතිනවා. මහජන චීනය විසින් ටිබෙට් රට ආක්‍රමණය කිරීමත් එක්ක ටිබෙට් රටේ ආධ්‍යාත්මික නායකයා වුණ දලයි ලාමාතුමා ඉන්දියාව වෙත පලා ආවා. එතැන් පටන් උන්වහන්සේ ඉන්දියාවේ ධර්මශාලා නගරයේ වාසය කරමින් ටිබෙට් සංස්කෘතිය සහ සම්ප්‍රදායන් ආරක්ෂා කරගන්න විශාල උත්සාහයක් දක්වනවා.

මේ නිසාම උන්වහන්සේ වෙත බටහිර රටවල් තම මිත්‍රත්වයේ දෑත දිගුකළා. ඒ සම්බන්ධතාවය ආරම්භයේ දී දේශපාලනික සම්බන්ධතාවයක්. කොමියුනිස්ට් චීනයට එරෙහිව උන් වහන්සේව භාවිතා කරන්න මේ බටහිර රටවල් උත්සාහ කළා. මධ්‍යස්ථව බැලුවොත් ඔවුන්ගේ උත්සාහය යම් තාක් දුරකට සාර්ථක වුණා කිව්වොත් වැරැද්දක් නැහැ කියලා අපි හිතනවා. හැබැයි බටහිර රටවල් සහ උන්වහන්සේ අතර තිබුණ මේ සම්බන්ධතාවය නිසා එම රටවල් බලාපොරොත්තු නොවුණු දෙයකුත් සිදුවුණා. ඒ තමයි උන්වහන්සේගේ දේශනා නිසා පැහැදුණු දහස් ගණනක් බටහිර ධනවතුන් සහ බුද්ධිමතුන් ටිබෙට් බුද්ධාගම අධ්‍යයනය කරන්න පෙළඹීම. ඒ වගේම ටිබෙට් රටෙන් පළා ගිය සරණාගතයින් ලක්ෂ ගණනක් අද වෙනකොට ලෝකයේ විවිධ රටවල විසිරිලා ඉන්නවා. නමුත් ඔවුන් මොන රටක වාසය කළත් තමන්ගේ ආගම සහ සංස්කෘතිය ආරක්ෂා කරගන්න උපරිම කැප වෙනවා. අපි මේ ආටිකල් එක තුළින් උත්සාහ කරන්නේ ටිබෙට් බුද්ධාගම පිළිබඳව සරල අවබෝධයක් ඔබට ලබා දෙන්න.

 

1. ටිබෙට් බුද්ධාගම කියන්නේ වජ්‍රයානය ද?

ටිබෙට් බුද්ධාගම මහායාන සම්ප්‍රදායට අයිති වීම නිසා බොහෝ දෙනෙක් ඒ ගැන වැරදි මතිමතාන්තරවල ඉන්නවා. උදාහරණයක් විදිහට අනුරාධපුර යුගයේ මහා විහාරයට තර්ජනයක්ව පැවතුණු වජ්‍රයාන බුද්ධාගම ටිබෙට් ජාතිකයන් අදහනවා කියන මතයක් අපේ රටේ ඇතැම් බෞද්ධයන්ගේ වගේම බටහිර රටවල් තුළත් පවතිනවා. නමුත් ඒක වැරදියි. ටිබෙට් බුද්ධාගම ප්‍රභවය වෙන්නේ උතුරු ඉන්දියාවේ පැවැති මහායාන සම්ප්‍රදායන් කීපයක එකතුවකින්. මුස්ලිම් ආක්‍රමණ නිසා එවකට පැවති බෞද්ධ සරසවිවල සහ විහාරවල වාසය කරපු උගතුන් උතුරු ඉන්දියාව අත්හැරලා චීනය වෙත පළා යන්නට උත්සාහ කළා. නමුත් බොහෝ දෙනෙක් ගමනාගමනයේ පැවැති දුෂ්කරතා නිසා නැවතුනේ ටිබෙටය තුළ. ඔවුන්ගේ විවිධ ඉගැන්වීම්වලින් තමයි ටිබෙට් බුද්ධාගම ඇතිවුණේ 

 

2. ටිබෙටය වෙත බුද්ධාගම ආපු හැටි 

අතීතයේ දී ටිබෙටය තුළ පැවතුණේ රාජාණ්ඩුවක්. එහි රජ කරපු රජවරු චීනයේ සහ උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ පාලනය කළා. උගතුන්ට බෙහෙවින් ප්‍රිය කර ටිබෙට් රජවරු බෞද්ධ භික්ෂූන් වහන්සේ තමන්ගේ රාජසභා වෙත කැඳවනු ලැබුවා. පද්මසම්භව එසේ පැමිණි සුප්‍රකට බෞද්ධ පඬිවරයෙක්. ඉන් පසුව අපි කලින් සඳහන් කළා වගේම විවිධ කාලවලදී ටිබෙටය, චීන සහ මොන්ගෝලියානු අධිරාජ්‍යය වල කොටස් බවට පත් වනවා. මේ කාලය තුලදී ටිබෙටයේ රජ පදවිය භික්ෂූන් වහන්සේ නමකට පැවරුණා. උන්වහන්සේව හැඳින්වීමට දලයි ලාමා යන පදය භාවිතා වෙන්නට පටන් ගත්තා.

 

3. ටිබෙට් බුද්ධාගමේ සංකල්ප කීපයක් 

ටිබෙට්  බුද්ධාගම තුළ බුද්ධත්වය ලබා ගැනීම සඳහා ත්‍රිකාය සංකල්පය කෙරෙහි වැඩි වැදගත්කමක් ලබා දෙනවා. ඒ වගේම වෛරෝචන, අමෝඝසිද්ධි, අමිතාභ, රත්න සම්භව, අක්ෂෝභය යන පංච තථාගතයන් වන්දනාමාන කිරීමක් සිදුවෙනවා. නමුත් ඔවුන් පිළිගන්නා ආකාරය අනුව බුද්ධත්වය ලබා ගැනීමටත් වඩා සත්වයන්ට බුද්ධත්වය ලබා ගැනීම සඳහා බෝධිසත්වයන් ලෙස උදව් කිරීම ප්‍රධාන වෙනවා.

අපි ආරම්භයේදී සඳහන් කළා වගේම මේ ආටිකල් එක තුලින් අපි ඔබට ලබා දෙන්නේ ටිබෙට් බුද්ධාගම පිළිබඳව සරල අවබෝධයක් පමණයි. මේ නිසා ඉහත අප සඳහන් කළ සංකල්ප ලුහුඬින් පැවසීමේදී යම් යම් සීමාකම් ඇතිවෙන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුමයි.

 

4. මූල ග්‍රන්ථ 

ටිබෙට් බුද්ධාගම තුළ මූල ග්‍රන්ථ වර්ග දෙවර්ගයක් පවතිනවා. ඇතැම් අය මේ සඳහා ටිබෙට් ත්‍රිපිටකය යන වචනය භාවිතා කළත්, එය එතරම් සුදුසු වචනයක් නොවන බව අපේ හැඟීමයි. (ඊට වඩා වෙනස් අදහසක් ඔබට පවතී නම් ඒ පිළිබඳව කමෙන්ට් එකකින් අපිව දැනුවත් කරන්නත් ඔබ අමතක කරන්න එපා ). ප්‍රධාන වශයෙන්  සූත්‍ර සහ තන්ත්‍ර ඇතුළත් වන කොටස කන්ග්‍යුර් ලෙසත් ශාස්ත්‍ර සහ අටුවා ඇතුළත් වන කොටස තෙන්ග්‍යුර් ලෙසත් හඳුන්වනු ලබනවා. මීට අමතරව ඇතැම් ටිබෙට් භික්ෂු පරම්පරා සතුව වෙනත් මූල ග්‍රන්ථ ද පවතිනවා.

වර්තමානයේ දී බොහෝ බටහිර රටවල භාෂා වලට ද මෙම ග්‍රන්ථ පරිවර්තනය වී තිබෙනවා. මේ බොහොමයක් ග්‍රන්ථ උතුරු ඉන්දියාවේ වාසය කළ පඬිවරුන්ගේ සංස්කෘත ග්‍රන්ථවල ටිබෙට් පරිවර්තනයි. මේ නිසාම ඉන්දියාවෙන් පවා සොයාගත නොහැකි වූ බොහෝ ග්‍රන්ථ ටිබෙට් භාෂාවෙන් සුරැකිව තිබී, නැවතත් පරිශීලනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

 

5. ටිබෙට් බුද්ධාගමේ ප්‍රධාන කුළුණු 

ටිබෙට් රටේ බුද්ධාගම ප්‍රධාන සම්ප්‍රදායන් පහක එකතුවක. දලයි ලාමාතුමා Gelug ලෙස හැඳින්වෙන එක සම්ප්‍රදායක ප්‍රධානියා වන අතර Nyinngma, Kagyu, Sakya සහ Jonang යන සම්ප්‍රදායන් හතරක් ද එරට තුළ පවතිනවා. මෙහි සම්ප්‍රදායන් වලට අයත් භික්ෂූන් වහන්සේලා හඳුනාගැනීමේ ප්‍රධානම ලක්ෂණය වන්නේ උන් වහන්සේලා භාවිතා කරන ශීර්ෂාවරණයේ පාටයි. වඩාත් බලවත් Gelug සම්ප්‍රදායේ ලාමාවරුන් කහපැහැති ශීර්ෂාවරණ භාවිතා කරනවා. අනෙකුත් සම්ප්‍රදායන් වල ලාමාවරු රතු පැහැති ශීර්ෂාවරණ භාවිතා කරන අතර ඒවාවල සුළු සුළු වෙනස්කම් පවතිනවා.

 

6. ටිබෙට් රට විහාරාරාම 

ටිබෙට් රටේ විහාරාරාම වර්ග හතරක් තියෙනවා. පළමුවන වර්ගය වන්නේ කුඩා වර්ගයේ විහාරයක ලාමාවරයෙකු වැඩ වාසය කරන අතර වරින් වර පැමිණෙන දායකවරු උන්වහන්සේට අවශ්‍ය උපස්ථාන සහ අවශ්‍ය දෑ ලබා දීම. දෙවැනි වර්ගය වන්නේ ගොදුරු ගමක් ආශ්‍රිතව පවතින කුඩා විහාර. එහි වසන ලාමාවරයා සහ ගම අතර සමීප සබඳතාවක් පවතිනවා. තෙවන වර්ගයේ විහාරාරාම ලාමාවරුන් සියගණනකට නවාතැන් පහසුකම් ලබාදෙන අතර ඒ සඳහා සුවිශාල නින්දගම් පවතිනවා. මේ නිසා දායකයන්ගේ මැදිහත්වීමකින් තොරව විහාරයේ නඩත්තු කටයුතු ගෙන යාම පහසු වෙනවා. හතරවෙනි වර්ගයේ විහාරාරාම විශාල වපසරියක විහිද යන අතර භික්ෂූන් වහන්සේලා දහස්ගණනක් එම විහාරාරාම සංකීර්ණය තුළ වැඩ වාසය කරනවා.

 

7. ටිබෙට් භික්ෂුණීන් වහන්සේලා 

භික්ෂූන් වහන්සේලාට සාපේක්ෂව ටිබෙට් භික්ෂුණීන් වහන්සේලාගේ ප්‍රමාණය අතිශයින් කුඩා අගයක් ගන්නවා. ඊට හේතු ගණනාවක් පවතිනවා. ප්‍රධාන වශයෙන්ම ටිබෙට් රට තුළ පැවැති අඩු ජනගහණ ඝනත්වය නිසා කාන්තාවන් මහණ කිරීම අනුබල දීමක් සිදු වුණේ නැහැ. එසේම ලංකාවේ මෙන්ම ටිබෙට් රටේ ද භික්ෂුණීන් වහන්සේලාට හිමි වන්නේ දස සිල් මාතාවන්ගේ තත්ත්වයක්. නමුත් බටහිර බලපෑම නිසා මේ තත්ත්වය කෙමෙන් කෙමෙන් වෙනස් වෙමින් පවතිනවා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. මේ ආටිකල් එකට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ ටිබෙට් බුද්ධාගම ගැන වගේම දලයි ලාමාතුමා ගැනත් ඉදිරියේදී ආටිකල් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *