මී කරදරෙන් නිවස ආරක්ෂා කරගන්න භාවිතා කරන ක්‍රම

නෑයෝ, වේයෝ, මීයෝ කියලා කියමනක් තියෙනවා. මීයෝ කියන්නේ එදා පටන්ම අපිට ඇණයක් වෙන සත්තු ජාතියක්. මීයන් විවිධ පරීක්ෂණ වලටත් ගන්න එක්තරා විදිහක වැදගත් සතෙක්. ඒත් වේගෙන් බෝවීමත්, හැම දේම හපාකෑමත් නිසා ගෙවල්වල ඉන්න එපාම කරපු සත්තු ලැයිස්තුවල මීයෝ හැමදාම ඉස්සරහින් ඉන්නවා. මීයෝ නැතිකරන ව්‍යාපෘති එක එක අයට එක එක ඒවා තියෙනවා. ඒවයින් සාර්ථක වෙච්චි ඒවා තියෙනවා. නැති ඒවත් තියෙනවා. ඉතින් අපි මේ මීයෝ අල්ලන ක්‍රම සහ විදි ගැන ටිකක් දැනගමු. 

 

1. පූසෙක් ගේමුද?

පූසා සහ මීයා කියන්නේ කාටූන් වලටත් ඇදී ගිය ආත්මීය සම්බන්ධතාවයක්. සාහිත්‍යයෙත් එන මීයෝ සහ පූසෝ අතර වලිය තාමත් තියෙනවා. පූසෝ හැම එකාම මීයෝ අල්ලන්නේ නැහැ. සමහර පූසෝ ජාති ඉන්නවා මීයෝ එක්ක සෙල්ලම් කරනවා. පෙළක් අය මේකට අපූරු වැඩක් කරනවා. මීයෝ අල්ලන බැළලියකගේ පැටවුන්ට නම් ටිකක් මීයෝ අල්ලන්න පුළුවන් කියලා හිතලා ඒ පැටවු අරං ගිහින් හදනවා. ඒත් මීයෝ අල්ලන්නේ නැති පූස් පැටවු ඉන්න පුළුවන්. තවත් අය මීයෝ අල්ලන පූසෙක් ළඟ පාත ගෙදරක ඉන්නවා නම් ඌව පොඩි වෙලාවකට රෙන්ට් එකට ඉල්ලන් ඇවිත් ගෙදරට දානවා. ඉතින් පූසෝ මගින් මීයෝ ඇල්ලීම පරණ වුනත් තාමත් තියෙන වැඩක්. 

 

2. මීයන්ට වස දීම 

වස දමා මරා දැමීම කියන්නේ පවක් කියලා අපිට දැනෙන දෙයක්. එතකොට කෑම කියලා මීයන්ට වස වෙන දේවල් තැන් තැන්වල තිබ්බාම ඒවා මීයෝ කනවා. සමහර කෑම ජාතිවලට මීයෝ මැරෙන්නේ එළියට ගිහින්. ඒත් මීයෝ මේ වස ජාති කාලා කොහේ හරි අස්සකට ගිහින් මැරුණොත් ඉන් පස්සේ ඒ මීයා අස් කරන එකත් මහ එපාකරපු ගේමක් වෙනවා. මීයෝ මැරුණාම, නරක් වුනාම අයින් කරන්න අමාරුයි. සමහරු මේකට ඩක්ට් සීල් හෝ පොලිස්ටයිරින් ලික්විඩ් පාවිච්චි කරනවා. ඉන් පස්සේ මීයගේ වටේ ආස්තරයක් හැදෙනවා. ඉන් පස්සේ හිමීට මීයා ගඳ නැතුව අයින් කරන්න පුළුවන්. මේ වස ජාති තැබීමේදී නිවසේ අනෙක් අයට දන්වන්න ඕනි. ඒ වගේම වස වර්ග දරුවන්ගෙන් පරෙස්සම් කරගන්නත් ඕනි. 

 

3. මී කතුරු තැබීම

කතුරු වලදී පොල් කෑල්ල හෝ වෙනයම් ආකර්ෂණීය දෙයක් කන්න එන මීයා සටාස් ගාල කතුරට අහුවෙලා ඔලුව කැපිලා යනවා. මීයා කතුරට වඩා ලොකුනම් කතුරත් ඇදගෙන මීයා දුවනවා. මේ ක්‍රමයේදී මීයා ටිකක් කැත විදියට මැරෙනවා. ඒ වගේම ටික වෙලාවක් යනවා මීයා මැරෙන්න. මේකත් අපිට පේන්නම පව් සිද්ද වෙන වැඩක්. ඒත් මීයෝ වැඩි ගෙවල්වල අය හාඩ්වෙයාර් කඩේකින් මේ මී කතුරු අරගෙන පාවිච්චි කරනවා. 

 

4. මී කූඩු තැබීම

 

මැතකදි ජනප්‍රිය වුණු මී කූඩු තැබීමේදී මීයා අල්ලාගත්තට ඌව මරන්නෙ නැහැ. මීයා පණ පිටින් වුණත් අල්ලාගෙන කොහෙ හරි ගිහින් දාන්න පුළුවන්. සමහර වෙලාවට මේ අහුවෙලා ඉන්න මීයට පවු කියලා කන්න බොන්න දෙන්නත් කට්ටිය ක්‍රියා කරනවා. මේ මී කූඩුත් දැන් ළඟම ටවුමේ හාඩ්වෙයාර් කඩවල විකුණන්න තියෙනවා. එක එක වර්ගයේ මීයෝ ආස එක එක දේවලට. පිලිස්සූ පොල් කෑලි, හාල්මැස්සෝ, පීනට් බටර්, පාන් කෑලි , කුරක්කන් වගේ විවිධ පරාසයේ විවිධ දේවල් දාලා එක එක දේවල් වලට කැමති එක එක වර්ගයේ මීයෝ අල්ලාගන්න මේ මී කූඩු පාවිච්චි කරන්නට පුළුවන්. මේකෙදි මීයා අව්වේ හෝ සීතලේ තැබුවාම ඉබේම මීයා මැරෙනවා. මීයා මරන්ඩ ඕනි නම් එහෙම පනපිටින් ඕනි නම් හෙම ක්‍රම දෙකටම මීයෝ සම්බන්ධ ඇක්ෂන් ගන්න මී කුඩු හරහා පුළුවන්. 

 

5. මීයෝ ආස පරිසරය ඈත් කිරීම 

මීයෝ කියන්නනෙත් කෑම ජාති වලට කැමති ජාතියක් නේ. ඉතින් ගෙදරදි කන බොන කොට හැම තැනම තියාගෙන, කුඩු හල හල, කෑලි හල හල කනවා නම් එතනදි මීයෝ බෝවෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම කුස්සියෙ තියෙන කෑම බීම ජාති ෆ්‍රිජ් එකේ දාල නැත්තං හොඳට වහපු පෙට්ටිවල දාන්නට ඕනි. නිතර පිරිසිදුව තියෙන තැන්වලට මීයෝ එනවා අඩුයි. මීයන්ට ගම්මිරිස් කුඩු හෙම ටිකක් සැරයි. උන්ට ගම්මිරිස් කුඩු වලට කිවිසුම් යනවා. ඒත් ගම්මිරිස් කුඩු මීයන්ට එරෙහිව පාවිච්චි කරන්න අමාරු දෙයක්. 

 

6. මීයන් එන විදි ඇහිරීම 

නාගරික වටපිටාවක නම් කාණු හරහා ගුල් ඔස්සේ මීයෝ ඇදිලා එනවා. ගමේ ගෙයක් නම් වටේ තියෙන උස ගස් හරහා මීයෝ එනවා. පරණ ගෙවල් වල තියෙන ගුල් ආදිය මීයෝ බෝවෙන්න උන්ට වැදගත් වෙනවා. මීයෝ නිතර යන එන තැන් ඇහිරීමත් මීයන්ට හොඳ විසඳුමක්. මීයෝ කියන්නේ ඕනි පරිසරයකට ලේසියෙන් අනුවර්තනය වෙන්න පුළුවන් ජාතියක්. එහෙම වුණත් ගුල් ආදිය අහුරලා පිළිවෙලකට තියාගන්න පුළුවන් නම් මීයෝ බෝවෙන එකවත් ටිකක් සීමාකරගන්න පුළුවන්. 

 

7. මීයන්ගේ විලෝපිකයින්ට සුබ පරිසරයක් 

මේකනම් ගොවීන් මීයන් නැතිකරන්න පාවිච්චි කරන ක්‍රමයක්. ඒ කාලේ වෙල් වල හෙම උඩින් එන බස්සන්ට, විශාල විලෝපික කුරුල්ලන්ට ලගින්න පොල්පිති තියලා තිබුණා. ඉන් පස්සේ රෑට ඒවායේ ලගින බස්සන් සහ කුරුල්ලන් මීයන්ව ආහාරයට ගත්තා. ඒ වගේම නිවෙස් වලට පැමිණෙන ගැරඬින් ඒ කාලේ මීගුල් සොය සොයා ගිහින් මීයන්ගේ වාසස්ථාන නැති කළා. මීයෝ වැඩිවුණාය කියලා අපිට ගැරඬියෙක් ගෙදරට ගෙනත් දාගන්න බැහැ. ඒත් ගැරඬියා ගැරඬියෙක් බවට හඳුනාගෙන උගේ මිෂන් කම්ප්ලීට් කරගන්න ඌට ඉඩ ඇරලා අපිට පාඩුවේ ඉන්නත් පුළුවන්. 

 

මීයෝ කොහොම මොන ක්‍රමයට වඳ කළත් ටික කලකින් ආයේ මතුවෙන්න ඉඩකඩ බොහොම වැඩියි. ඒ නිසා ගෙවල්දොරවල්, වතු පිටි පිළිවෙලට තියාගන්න පුළුවන් නම්, මීයෝ නැතිකරගන්න වැඩේ ලේසි වෙනවා. කොහොම වුණත් අපි අකමැති වුණත් මීයෝ කියන්නෙත් මේ ලෝකේ ඉන්න බොහොම ඇක්ටිව් සත්තු ජාතියක්. ඉතින් මීයෝ නැතිකරගන්න එක වදයක් වෙලා තිබුණ ඔයාලට ඒ ගැන මොනාහරි කරන්න මොනා හරි අදහසක් මේ හරහා ලැබෙන්නට ඇති. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *