ලංකාවේ අපේ ප්‍රියතම ආහාරයක් තමයි බත් කියන්නේ. ආයේ ඉතින් අපේ ගොඩක් දෙනෙක්ට දවසකට එක වේලක් හරි බත් කෑවෙ නැත්නම් ඉතින් ජීවිතේ කිසි ලල් එකක් දැනෙන්නෙත් නැහැ. ලංකාවෙ හැමෝම වගේ බත් කෑවට, එක එක්කෙනා බත් කද්දි තියෙන රුචි අරුචිකම් සෑහෙන වෙනස්. අපි මේ කියන්නෙ ඒ විදිහෙ විශේෂිත බත් කෑමේ විලාසයන් තියන උදවිය කීපදෙනෙක් ගැන. මේ විදිහේ විශේෂ ස්ටයිල් වලට බත් කන තවත් කට්ටිය ගැන දන්නවනම් අපිට කමෙන්ට් එකකින් කියන්න.
1. ඇට හපන්නා
මේ විදිහෙ උදවියට ඔය සම්බා වගේ පුංචි ඇට තියන හාල් වලින් හදන බත් අල්ලන්නේ නැහැ. මෙයාලට ඕනෙ නාඩු වගේ ලොකු ඇට තියන හාල් වලින් තම්බපු බත් කන්න. එතකොට තමයි මේ අයගෙ බන්ඩි ගෙඩි උද්දාමයට පත් වෙන්නේ. මොකද මෙයාලට බත් ඇටේ හොඳට ලොකුවට හැපෙන්න ඕනෙ බත් කන එක ආතල් වෙන්න. මේකෙම අනිත් පැත්තේ උදවියත් ඉන්නවා ලොකු ඇට තියන බත් කන්න අකමැති. එයාලට ඒ බත් වර්ග කෑවොත් බඩ කොන්ක්‍රීට් කළා වගේ පුරෝලා දානවා.
2. බැදුමා
අපි කවුරුත් ආසයි බත්, එළවළු එක්ක හරි හරියට කර කර ගාල හැපෙන බැදුමක් කන්න. හැබැයි අපිව මේ කියන කැටගරියට දාන්න බැහැ. මොකද අපි හදිසි වෙලාවක බැදුමක් නැතිව බත් එකක් ගොඩ දැම්මත්, මේ බැදුම් පෙරේතයාට මොකක්ම හරි බැදුමක් නැතිව බත් කන්නම බැහැ. මස් කෑල්ලක්, මාළු කෑල්ලක්, සෝසේජස් එකක් හරි බැදල ඕනෙමයි, බැරිම නම් පපඩමක් හරි ඕන මේ උදවියට. වෙන එළවළු නැතත් බැදුම නම් ඕනෙමයි.
3. ලොකු කෑලී ඛන්නා
අපි කවුරුත් ඉතින් ලොකු මාළු, මස් කෑල්ලක් කන්න කැමතියි. මේ කියන්නේ ඒ ගැන නෙමෙයි. මේ තමයි ඇට හපන්නාගෙ එළවළු වර්ෂන් එක. දැන් අපි බත් එක්ක ව්‍යංජන හැටියට කන්න බීට්රූට්, කැරට්, වම්බටු වගේ එළවලු හදනවනෙ. මේ මනුස්සයට මේවයෙ එළවලු දාර සයිස් ලොකුවට කපන්න ඕනෙ බත් එක ආතල් එකේ කන්න නම්. ඒ කිවුවේ නිකන් ගිණි පෙට්ටි සයිස් එකට වගේ එළවලු කෑලි තියෙන්න ඕනෙ රහ දැනෙන්න.
4. හොදි වානා සහ හොදි බොනා
මේ කැටගරි දෙකක් වුණාට මේ අයව අපි එක අයිටම් එකකටම දැම්මා. ඒ තමයි හොදි ඇලජික් උදවිය සහ බත් එක සුප් එක කරගන්න තරම් හොදි නාවන උදවිය. හොදි ඇලජික් උදවියට නිකන් මස් මාළු හරි ඩ්‍රයි එළවලු එක්ක හරි තමයි බත් කන්න ඕනෙ. ඉස්සර අපි මාළු කටු හිර වුණාම බත් ගිලිනවා වගේ නිකන්ම බත් ගුලිය කන්නයි මෙයාල ආස. ඒකෙම අනිත් පැත්ත වෙන හොදි බොනාගෙ සීන් එක තමයි මෙයාට හොදි බේරි බේරි සුරුස් සුරුස් ගගා තමයි බත් කන්න ඕනෙ. බත් කාල ඉවරවෙලත් පිඟානේ ඉතුරුවෙන හොදි ටික පුළුවන්නම් බොයි මෙයා.
5. පරිප්පුවා
මෙන්න පුද්ගලයා. මෙයාලට බත් එක්ක හදන්නේ මොනවද කියන එක ගැන ලොකු චොයිස් එකක් නෑ. හැබැයි අවුල තමයි මෙයාලට බත් එක්ක මොනව හැදුවත් අනිවාර්යයෙන් පරිප්පුවක් නම් ඕනෙ. ගොඩක් වෙලාවට මේ කට්ටිය කැමති බතුයි, පරිප්පු හොදියි, චිකනුයි කන්න තමයි. තුන්සිය හැටපස් දවසේම වුණත් එකම රහට පරිප්පු කන්න පුළුවන් මේ උදවියගෙන් සමහරු කිරිබත් කන්නෙත් පරිප්පු දාගෙන.
6. බාගයක් අනන්නා
මේ කියන පුද්ගලයා බත් පිඟානක් කන්නේ ක්‍රම දෙකකට. සාමාන්‍ය විදිහට බත්, මාළු, එළවලු සහ බැදුම් බෙදාගෙන තමයි මෙයත් බත් කන්න පටන් ගන්නේ. හැබැයි බත් එකේ බාගයක් විතර මෙයා ටිකක් උදාසීනකමකින් තමයි කන්නේ. හොදි, මාළු, මස් පොඩ්ඩ පොඩ්ඩ දාගෙන් ෂේප් එකේ බත් එකෙන් බාගයක් විතර කනවා. අන්න ඊට පස්සෙ තමයි මෙයාගෙ බත් කෑමේ ආතල්ම අදියර උදාවෙන්නෙ. මොකද මෙයා ආසයි බත් එකේ අන්තිම බාගෙ අර යහමින් ඉතුරු වුණු හොදි, මාළු සහ බැදුම් එක්ක යහමින් එකපාර අනාගෙන කන්න. මේ ටික බස බස ගාල අනාගෙන ටික ටික ගුලි හදාගෙන කන ගමන් බත් එකේ අන්තිම ටික තමයි මෙයා ගොඩක් එන්ජෝයි කරන්නෙ.
7. කඩචෝරු කන්නා
මේ මනුස්සයට ගෙදර මොන විදිහේ හොදි මාළු තිබ්බත් කඩෙන් ගන්න එක්ස්ට්‍රා මොකක් හරි දෙයක් ඒකට ඇඩ් කරගැනීමේ ආසාවක් තියනවා. මේ විදිහෙ අමතරව එකතු කරගන්න කෑම අතර මාළු රෝල්ස්, බිත්තර රෝල්ස්, වඩේ, ක්‍රීම් ක්‍රැකර්, මුරුක්කු සහ මික්ස්චර්, රෝස් පාන්, බිත්තර රොටි වගේ කෑම ඉදිරියෙන්ම තියනවා.
හරි. අපි කිවුවේ අමුතු විදිහට බත් කන උදවිය 7 දෙනෙක් ගැන. මීට අමතරව විශේෂිත බත් කෑමේ පුරුදු ඔයාට හරි ඔයාගෙ අඳුරන අයට හරි තියනවනම් ඒ ගැන අපිට කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා!
Leave a Reply