වර්තමාන ලෝකයේ වැඩිම පැහැරගත් කලා නිර්මාණ වලින් පරිපූර්ණ කෞතුකාගාරය තමයි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය. සියවස් ගණනාවක් පුරා හිරු නොබසිනා අධිරාජ්‍යය විදිහට ලෝකයේ විවිධ ප්‍රදේශ වල රටවල් යටත් කරගත්ත ඉංග්‍රීසීන්, ඒ රටවල ධනය වගේම කලා නිර්මාණත් නිර්ලජ්ජිත විදිහට කොල්ල කෑවා. අද වෙනකොට ඒ ඇතැම් කලා නිර්මාණ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීමටත් හේතු වෙලා තියෙනවා.
අපි හැමෝම දන්න විදියට සුප්‍රකට තාරා දෙවඟනගේ පිළිමය ලංකාවෙන් පැහැරගෙන ගිය අගනා වස්තුවක්. Lifie අපේ අද සටහන බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුළ තියෙන වෙනත් රටවලින් පැහැරගත්ත අපූරු කලා නිර්මාණ කීපයක් පිළිබඳව. හැබැයි අපි මේ ලිපියෙන් කිසිසේත්ම ඒ කලා නිර්මාණ නැවතත් ඒ සියලුම රටවලට භාරදිය යුතුයැයි කියන්නේ නැහැ. මොකද ඇතැම් රටවලට වඩා බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුළ දී මේ කෞතුක වස්තු සඳහා ආරක්ෂාව ලැබෙන නිසා. ලංකාව ගැන කියන්න තියෙන්නෙත් ඒ කතාවම තමයි
1. රොසෙටා පාෂාණය
නැපොලියන් බොනපාට් රණශූරයෙක් වුණත් නොම්මර එකේ කලා නිර්මාණ කොල්ලකරුවෙක්. ඔහු තමන්ගේ හමුදාවල කලා නිර්මාණ පිළිබඳ විශේෂඥයන් රැගෙන ගියා. ඔහු නායකත්වය දීපු ඊජිප්තු ආක්‍රමණයේදී ඔහුගේ හමුදාවේ හිටපු සෙබළෙක් විශිෂ්ට සොයා ගැනීමක් කරනවා. ඒ තමයි රොසෙටා පාෂාණය. එය පුවරු ලිපියක්. මේ පුවරු ලිපිය තුළ ඊජිප්තුවේ රජකළ පස්වන ටොලමි රජු කළ නියෝගයක් පුරාණ ඊජිප්තු රූපාක්ෂර, පසුකාලීන ඊජිප්තු අක්ෂර සහ ග්‍රීක භාෂාවෙන් සඳහන් වුණා. මේ හරහා එතෙක් කල් කියැවීමට නොහැකිව තිබු පුරාණ ඊජිප්තු රූපාක්ෂර කියවීමේ හැකියාව භාෂා විශේෂඥයන්ට ලැබුණා.
කෙසේ වෙතත් ඊජිප්තුවේ දී ප්‍රංශ හමුදාව පරාජය කළ බ්‍රිතාන්‍ය හමුදාව විසින් රොසෙටා පාෂාණය තමන්ගේ භාරයට ගෙන එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ලබා දුන්නා.
2. එල්ජින් කිරිගරුඬ
පුරාණයේ යුරෝපා ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස සැලකුණු ග්‍රීසියේ ඇතැන්ස් නුවර පාතේනියන් ගොඩනැඟිල්ල විසිතුරු කළ මෙම කිරිගරුඬ පුවරු අමානුෂික අයුරින් ඉවත් කරමින් එල්ජින් සාමිවරයා විසින් බ්‍රිතාන්‍යය වෙත රැගෙන ගියා. ඒ වන විටත් ග්‍රීසිය ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ යටත් විජිතයක් වීමත් එල්ජින් සාමිවරයා එම අධිරාජ්‍ය සඳහා පත් කළ බ්‍රිතාන්‍ය තානාපතිවරයා වීමත් නිසා මෙම කලා කොල්ලය සිදු කිරීම පහසු කාර්යයක් වුණා. කෙසේ වෙතත් ග්‍රීක කලා නිර්මාණවලට ප්‍රිය කළ උගත් බ්‍රිතාන්‍යයන්ගේ විරෝධය එල්ජින් සාමි වරයාට එරෙහිව එල්ල වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින් මෙම කිරිගරුඬ පුවරු බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ලබා දුන්නා. අද දක්වාම ග්‍රීසිය විසින් වරින් වර මෙමක් කිරිගරුඬ පුවරු තම රටට ලැබිය යුතු බව කියතත් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය එම ඉල්ලීම් වලට කන් දෙන්නේ නැහැ.
3. තහනම් නගරයෙන් කොල්ලකෑ වස්තුව
1860 දී බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රාජ්‍ය වල සන්ධානයක් චීනයේ අගනුවර වන බීජිං වෙත පහර දුන්නා. එහිදී ඔවුන් විසින් චීනයේ ප්‍රධාන ලෙස මාළිගය වන තහනම් නගරය නිර්දය ලෙස කොල්ලකා ගිනි තබනු ලැබුවා. ඒ සඳහා දායක වූ ඇතැම් නිලධාරීන් පවා එවැනි විශිෂ්ට ගණයේ මාළිගාවක් ගිනි තැබීම ගැන සිය පසුතැවීම පසුකලෙක දී ප්‍රකාශ කළා. එකී කොල්ලකෑමෙන් පසුව බ්‍රිතාන්‍ය වෙත රැගෙන ගිය කලා නිර්මාණ 23,000 කට අධික ප්‍රමාණයක් අදටත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුළ පවතිනවා. මෙම කලා නිර්මාණ නැවතත් තම රටට ලබාදෙන ලෙස කරනු ලබන ඉල්ලීම බ්‍රිතාන්‍ය ප්‍රතික්ෂේප කරන්නේ ඒවා ලෝක උරුම බව පවසමින්.
4. බෙනින්හි පිත්තල නිර්මාණ
වර්තමාන නයිජීරියාව කේන්ද්‍ර කරගනිමින් අතීතයේ දී අප්‍රිකාව තුළ බෙනින් අධිරාජ්‍යය පැවතුණා. බෙනින් සිටි ලෙස හැඳින්වූ එම අධිරාජ්‍යයේ අගනුවර තුළ සියවස් ගණනාවක් පුරා සංවර්ධනය වුණු පරිපාලන ක්‍රමයක් ස්ථාපිතව තිබුනත් බ්‍රිතාන්‍යන්ට අනුව එය හුදෙක් ගෝත්‍රික ශිෂ්ටාචාරයක් පමණක්ම වුණා. 1897 දී බලාපොරොත්තු නොවූ මොහොතක මෙම නගරය වෙත ප්‍රහාරයක් එල්ල කළ බ්‍රිතාන්‍ය හමුදාව එම නගරයේ රජ මාළිගාව ඇතුළු ප්‍රභූවරුන්ගේ නිවාස කොල්ල කනු ලැබුවා. එහිදී එම නිවාස වල පූජනීය වස්තූන් ලෙස සැලකුණු පිත්තල සහ ඇත් දළ වලින් සකස් කරන ලද ප්‍රතිමා සහ කැටයම් කරන ලද පුවරු රාශියක් ඔවුන් විසින් බ්‍රිතාන්‍යය වෙත ගෙන ගියා. ඉන් කොටසක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයටත් ඉතිරි කොටස යුරෝපා රටවල වෙනත් කෞතුකාගාරවලටත් විකුණා දමනු ලැබුවා.
5. ග්වේගල් පළිහ
අපි සාමාන්‍යයෙන් ඉගෙනගන්න කතාව තමයි ඔස්ට්‍රේලියාව හොයාගත්තේ කපිතාන් ජේම්ස් කුක් කියලා. ඒ අපිට හුරු පුරුදු වෙලා තියන බටහිර අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයක්. ඔස්ට්‍රේලියාව හොයාගන්න කවදාවත් නැති වෙලා තිබ්බේ නැහැ. ජේම්ස් කුක් කරේ යුරෝපා ජාතීන්ට මේ රට කොල්ල කා ගන්නා අවස්ථාව සලසලා දීපු එක විතරයි. ඒ ගැන කතා කරන්න ගියොත් මාතෘකාවෙන් පිට යනවා. ආපහු මාතෘකාවට ආවොත් එහෙනම් ජේම්ස් කුක් පළවෙනි වතාවට ඕස්ට්‍රේලියාවට ගොඩ බැහැපු අවස්ථාවේදී ඔස්ට්‍රේලියාවේ ආදිවාසීන් හෙල්ල සහ පළිහ භාවිතා කරමින් ඔහුට ප්‍රතිරෝධයක් එල්ල කරා. කුක් මේකට උත්තර දුන්නෙ වෙඩි උණ්ඩයෙන්. ඒ අවස්ථාවේදී ඔහු විසින් තුවාල ලැබූ ආදිවාසියෙක් සතුවූ හෙල්ල සහ පළිහ තමන් භාරයට ගත්තා. අද වෙනකොට මේ පළිහ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුළ නිර්ලජ්ජිත විදිහට ප්‍රදර්ශනය වෙනවා.
6. මොආයි ප්‍රතිමාව
පාස්කු දූපත ලොව පුරා ප්‍රසිද්ධියට පත් වෙන්නේ එහි නිර්මාණය කරල තියෙන ප්‍රතිමා නිසා.මේ ප්‍රතිමා අතරින් සුවිශේෂී ප්‍රතිමාවක් අද වෙනකොට බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුළ දී දකින්න ලැබෙනවා. 1869දී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවක සෙබළුන් පිරිසක් විසින් මෙම ප්‍රතිමාව හාරා ඉවත් කර තම නෞකාව වෙත ගෙන එනවා. අනතුරුව බ්‍රිතාන්‍යයට ගෙන ඒමෙන් පසුව එය වික්ටෝරියා රැජිනට ත්‍යාගයක් ලෙස ලබා දෙනවා. එහිදී ඇය එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ලබා දීමට තීරණය කරනවා.
7. හරිහර ප්‍රතිමාව
විෂ්ණු සහ ශිව යන දෙවිවරුන් දෙදෙනාම නිරූපණය වන පරිදි නිමවා ඇති මෙම ප්‍රතිමාව කජුරාහෝ ප්‍රදේශයෙහි වන්දනාමානයට ලක් වුණ පූජා වස්තුවක් ලෙස සැලකෙනවා. ඉන්දීය සාහිත්‍යය සහ කලාවන් පිළිබඳව උනන්දුවක් දැක්වූ සෙබලෙකු විසින් මෙම ප්‍රතිමාව ඇතුළු පූජා වස්තූන් රාශියක් සිය පෞද්ගලික එකතුව වෙත ලබාගෙන තිබෙනවා. ඔහුගේ මරණයෙන් අනතුරුව අද වන විට මෙම සුප්‍රකට ප්‍රතිමාව ඇතුළු තවත් හින්දු ප්‍රතිමා රාශියක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට උරුමව තිබෙනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා!
Leave a Reply